තෝත මලේ නතුවෙ කතු
වන බමලෝ ඔහොම ඉතු…
අත්තම්මා ගායනා කළාය. සමන්ත අත්පුඩි ගැසුවේය. දෙදෙනාම එකට සිනා සුණෝය. අත්පුඩි ගැසුවෝය. ගායනා කළෝ ය.
කිහිල්ලේ සිරකර ගෙන සිටි ස්කූටරය සමන්තගේ අතට බුරුල් කළ අත්තම්මා සමන්තගේ හිස අත ගෑවාය.
‘ආං එහෙනං පලයං. හැබැයි හෙමින් රත්තරං,’ ඇය සමන්තගේ හිස සිම්බාය. ‘ඉන්නෝනැ පාලම පේන මානෙ. මට හෙම බෑ දුවෑදින්න. හන්දි ඇදුම් කනව.’ ඇය සමන්තට අවවාද කළාය.
‘හාං,’ එක පයක් පොළවේ ගසා ගැම්ම ගත් සමන්ත ස්කූරය උඩ නැග, අතින් පැන ගත් ටික් බෝලය වගේ පදින්නට පටන් ගත්තේය. ‘තෝත මලේ නතුවෙ කතු …’ ඔහුගේ ගායනය ඇසී නෑසී ගියේය.
‘ළමයෝ,’ අත්තම්මා කෑ ගැසුවාය. ‘යනවා හෙම නෙවෙයි පාලම පහු කරලා,’ ඇය බලා සිටියාය. පොත් බෑගය අනෙක් කිහිල්ලට මාරු කර එක අතකින් චීත්තයේ නෙරිය අල්ලාගෙන හයිහයියෙන් පියවර මැන්නාය. ‘මගෙ දණිස් රිද්දුමයි දිව්වනේ. හෙමින් පලයාන්.’
‘හ් හාං.’ සමන්ත කියනවා මෙන් ඇසුණේය.
කිව්වාක් මෙන් සමන්ත පාලම ළඟ නතරවී සිටියේය.
‘අත්තම්මේ-’
‘ඇයි දරුවෝ.’ අත්තම්මා හති දාන්නට වූවාය. ‘හෙමින් පලයං. ඉස්කූටර ඒවයෙ නැග්ග කියල මට පුළුවනෑ උඹත් එක්ක ඔට්ටු වෙන්න.’
නැවතීගත් සමන්ත පාලමට එහා වක්කලම දෙස බලා සිටියේය.
‘මොක්කු ද අත්තම්මේ මේ,’
‘උන් පාත්තයෝ.’
‘මෙතන?’
‘ඔව්. උඹට උඹෙ ගෙදර තියනවා වගේ උන්ටත් උන්ගෙ ගෙදර තියනවා.’
‘රංචු?’
‘එහෙනං. උඹයි අක්කයි ඉන්නවා වගෙ උන් ඉන්නෙත් රංචු. රංචු. අක්කලා මල්ලිලා.’
‘අම්මලයි තාත්ලයි අයියලයි අක්කලයි නංගිලයි මල්ලිලයි.’
‘ආං හරි.’
‘එතකොට අම්ම කවුද?’
‘අර ඉන්නෙ. අර පැටව් තුන්දෙනා ළඟ.’
‘කොනේම කෙනා ළඟ ඉන්නෙ තාත්තා. අර රැවුල තියෙන්නෙ.’
‘ආන් හරි. උඹත් පැහිලා තියන තරං.’ අත්තම්මා සිනාසුණාය. ‘හොටෙයි බෙල්ලයි කළු තාත්තලගෙ. උන් ඉන්නෙ පවුල් පවුල්. ආං තව පවුලක්. අර ඉන්නෙ අම්මා. ආං එතන එහා පැත්තෙ තාත්තා. ළමයි ටික මැද්දෑවෙ රොක්වෙලා.’
‘පවුල් ගොඩාක්. අම්මලා තාත්තලා. ළමයි.’
‘ආං හරි. දැන් හෙමිං යං. සීනුව ගහයි. ඉස්කෝලෙ පටන් ගනියි.’
‘යං.’ සමන්ත නැවත ස්කූටරයට නැග්ගේය. ආපසු හැරී බැලුවේය. ‘පොත් ටික මං ගන්නං. අත්තම්මට මාන්සි නං?’
‘නෑ රත්තරනේ,’ අත්තම්මා හති දැම්මාය. ‘හෙමින් පැටියෝ. හැබැයි පනිනවා හෙම නෙවෙයි තාර පාර මං එනකල්.’
‘හරි.’
තෝත මලේ නතුවෙ කතු
වන බමලෝ ඔහොම ඉතු…
දෙදෙනාම එකට ගායනා කළෝය. එකට සිනා සුණෝය.
හීන් අව් රැල්ල පිට්ටනිය හරහා වැටුණේය. ඇහැ පේන මානයේ කොළපාට පිසගෙන එන සුළං පාර සීතලට ඇඟ මත වැදුණේය. සීතල කාලයේ පිට්ටනි බවුන්ඩරයේ ඔලිව් පැලවල ඉදුණු කහ-කොළ සමනළ පිහාටු වගේ සුළගේ පාවී ගියේය. ඉද හිට වක්කලමේ පොඩි සද්දයක් මතු වී රැළි-රැළි රවුම් කණ්ඩි දෙකේ හැපී අතුරුදහන් වුණේය.
පාර ගියේ වක්කලමේ කංඩිය දිගේය. ටික දුරක් ගිය සමන්ත වක්කලම අයිනට වෙන්න නැවත බලා සිටියේය.
අත්තම්මා සමීප වූවාය. ‘යමං පුතේ. සුනංගු වෙන්න බෑ.’
‘අත්තම්මේ.’
‘ඇයි දරුවෝ?’
මේං මෙතනත් පාත්තයින් පවුලක්.’
‘හැබෑව. දැං යං.’
‘අත්තම්මේ.’
‘ඇයි ඒ ගමන?’
‘කෝ අත්තම්මේ තාත්තා?’
‘තාත්තා. උඹලෑ?’
‘නෑ. අර පාත්ත පැටවුන්ගෙ?’
‘හැබෑට. නෑ නේන්නං. අම්ම විතරයි. අම්මයි ළමයි තුන්දෙනයි.’
‘එතකොට තාත්තා?’
‘වටේ පිටේ ඔය කොහේ හරි ඇති.’
සමන්ත ස්කූටරය අත්තම්මා අතට දුන්නේය. වක්කලම උඩාරුවට වෙන්නට බලා සිටියේය. නැවත පහළ මානයට ඇස් ඇද්දුවේය.
‘කෝ තාත්තා නෑ අත්තම්මේ.’
‘නැතිවෙලා වෙන්න ඇති.’
‘එතකොට අත්තම්මේ වෙන තාත්තා කෙනෙක් එන්නෙ නැද්ද?’
‘නෑ දරුවෝ. පාත්ත අම්මලා තාත්තා නැති වුණෝතිං ජීවිතේම එහෙම්මයි කියනවා නෙව.’
සමන්ත ස්කූටරය අතට ගත්තේය.
‘එතකොට…?’
‘ඉතිං?’
‘අපේ අම්මා?’
නැවතත් සීතල සුළඟ හැමුවේය. ඔලිව් කොළ පියෑඹුවේය. අත්තම්මා උත්තර දුන්නේ නැත.
‘ඇයි අත්තම්මේ එතකොට අපේ අම්මා…’
‘යමං යමං. මං දන්නවා දැන් සීනුව ගහනවා ඕං. යමං.’
‘අත්තම්මේ..’
‘යමං දරුවෝ. ඕන්නම නං ඩීංගිත්තක් වෙන්න හයියෙන් පලයං. හැබැයි පාර එහෙම පනිනවා නෙවෙයි. මූල එනව නෙවෙයි ඉගිලෙනව දව්වනේ.’
‘හාං…’
තෝත මලේ නතුවෙ කතු
වන බමලෝ ඔහොම ඉතු…
කේ.ඒ. බී.කරුණාරත්න, හැමිල්ටන්