fbpx
18.2 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ටයිටැනික් සංචාරය – 02 කොටස | විජිත බණ්ඩාර හේරත් | එක්සත් රාජධානිය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

~~ ටයිටැනික් ගිය වරායෙන්ම ගිය දින නවයක නෞකා ගමන ~~

” ලන්ඩනයේ සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත් වූ නෞකාව ගැඹුරු උතුර මුහුදට  (North Sea)අවතීරණ වෙමින්. අතිශයින් ශීතල කාලගුණයක් නමුත් නෞකාවම උණුසුම් කර ඇත. බිහිසුණු ජලකඳ මැඩගෙන දැවැන්ත නෞකාව ඉහළ වේගයක. එංගලන්තය කෙමෙන් ඈත් වෙනු පෙනේ. “

අද එතැන් සිට…

අපි දහවල්  එක  වෙන විට දහවැනි තට්ටුවේ භෝජනාගාරයට යාමට විදුලි සෝපාන වෙත ළඟා වුණා. බොහෝ අමුත්තන් සැහැල්ලු ඇඳුමින් සැරසී සිටියා.  

එය සුවිසල් ශාලාවක්. ඒ බුෆේ එකත් ඒ වගේමයි. විශාල වීදුරු තුළින් දර්ශනය නිල්වන් මහා සාගරයයි. කෑම සුවඳ හැමතැනම. ගෑරුප්පු හැඳි සෙමෙන් ගැටෙන හඬ. දිවා ආහාර සංගීතය. ලොව සියළුම වර්ගයේ කෑම වර්ග එහි තිබුණා. ඕනෑම බීමක් වේලට අසීමාන්තිකව සැපයුණා. සියලු සේවකයන් ඉතා විනීත හා ගෞරව පුරස්කරයි. අප හොඳ ආහාර වේලකින් සප්පායම් වුණා. නෞකාවේ වේගය සැහෙන්න වැඩි වී තිබු නමුත් නෞකාවේ එතරම් ගැස්සිමක් නැත. සුවිශාලත්වය නිසා වෙන්න ඕනි.  

දිවා ආහාරයෙන් පසු අපි නැවත අපේ කාමරයට පැමිණියා. අද උදේ පාන්දර සිට සක්‍රියව සිටි අපට විවේක ගැනීමට හොඳ වෙලාව. යාන්තම් නැලවෙන නෞකාවේ අපි හතරදෙනා සුව නින්දකට වැටුණා.

*** *** ***

පැය දෙකකින් අප නැගිටුනේ ඉතාම ප්‍රසන්නව, මහන්සි ගතිය සම්පුර්නෙන් පහව. ජනෙල් තිර විවෘත කළාම සැන්දෑ හිරු එළිය සුවිසල් කාමරයම එළිය කළා. ඇඟපත සෝදාගත් විට හරිම ප්‍රසන්න බවක් දැනුනේ. වේලාව හැන්දෑවේ හතර වගේ. මහා සාගරයේ ඝෝෂාකාරී බව යන්තම් ඇසෙයි. ඇතුලත නම් සුමුදු සංගීත රාවය විතරයි. ශීත ඇඳුම් ඇඳගත් අපි බැල්කනියට ගියේ සාගර දර්ශනයන් විඳීමට. බොහෝ බැල්කනිවලට අප වගේම කට්ටිය ඇවිත් සිටියා. ගොඩබිමක් නොපෙනේ. නෞකාවේ විශාල බව තවමත් හිතාගත නොහැක. බැල්කනියේ සුවපහසු අසුන්වල අපි කෝපි පානය කරමින් සැහෙන වෙලාවක් ගත කළා. ප්‍රසන්න හැන්දෑවක්.

නෞකාවේ සෑම කාමර කිහිපයකටම එක සේවකයෙක් (Butler) වෙයි. අපේ butler වුණේ කෙවින්. තරුණ පිලිපීන ජාතිකයෙක්. ඔහු අපිට පළමු දිනයේ සිටම බොහෝ සමීප වුණි. කෙවින් අපිට කෙතරම් සමීප වූවා ද කිවහොත්, කුසුම් හා මා සාප්පු සවාරි යනවිට දරුවන් දෙදෙනා කාමරයේ තබා ගියේ ඔහු සමඟ.

පැයක් වගේ පමණ අපි බැල්කනියේ ඉන්නට ඇත. ජලවාෂ්ප නිසා ඔක්කොගෙම නහය බරවෙමින් තිබුණා. ඒ නිසා අපි ඔක්කොම කාමරය ඇතුළට පැමිණයා. ඇතුල කිසිම සද්දබද්දයක් නැත. තව ටිකකින් පිටත්වීමේ නිල සම්භාෂණය නියමිතයි, නෞකාවේ ඉදිරිපස සුවිසල් විවෘත ලොබියේ. එතැන තට්ටු ගණනාවක සිට ඇතුල් බැල්කනිවල සිටිනවා වගේ නැරඹිය හැක. අපි ඔක්කොම ඉක්මනින් පූර්ණ උත්සව ඇඳුම් හැඳ උත්සව ශාලාව වෙත පිටත් වුණේ හවස 6.30 ට වගේ. උත්සව භූමියට විනාඩි 15 කින් පමණ අපි ළඟා වුණා. සියලු මහල් විවෘත වෙනවා එම ස්ථානයට.  

බිම් මහල සම්පුර්ණයෙන් පිරි තිබුණා. නමුත් පළමු මහලේ සිටද සමීප දසුනක් අපට ලැබී තිබුණා. ජලකඳ වෙත එල්ල වුණු ෆ්ලෑෂ් ලයිට්වලින් මේ වේගය හොඳින් තේරෙයි. එතැන වයින් වීදුරු සිය ගණනක් එක පිට එක තබා තිබුණා. ඉතාම උසින් අලංකාර දියමන්ති එබ්බවූ වැනි දැවැන්ත සීලින් ලාම්පු එක් කළේ අමුතුම උත්කර්ශවත් බවක්. ඒ වෙනකොට එතන සියලු මහල්වල සිට අඩුම ගන්නේ දෙදාහක්වත් මේ දර්ශනය නරඹමින් හිටියා. 

මෙවන් අවස්ථාවල උඩම තිබෙන තනි වීදුරුවට ෂම්පෙන් බෝතලයක් වක්කරමින් සියලු වීදුරු පිරියන සේ බෝතල් සිය ගණනක් වැක්කිරිම උත්සවාන්විත යුරෝපිය ක්‍රමයක්. එතන උද්යෝගිමත්ව සජීවී සංගීත කණ්ඩායමක් වාදනය කරමින් සිටියා. මේ ඉන්නේ නෞකාවක බව පෙනෙන්නේ අර වීදුරුවලින් එළිය බැලුවොත් පමණි. නැති නම් නෞකාව තරුපන්ති හෝටලයක්. 

හරියටම  හතට කපිතාන්වරයා සම්පුර්ණ නාවුක උත්සව ඇඳුමින් සැරසී එතනට පැමිණියේය. ඉතාම ප්‍රසන්න ප්‍රතාපවත් බ්‍රිතාන්‍ය ජාතික පුද්ගලයෙක් ඔහු. වයස හතලිස් ගණන්වල අග වගේ, නාවුක සම්ප්‍රදායන් අනුව රැවුල වවා තිබුණා. සිනාමුසු ඔහු මයික්‍රෆෝනය ගෙන සුභ සන්ධ්‍යාවක්වේවා කියන විට පැතිරුණු අත්පොලසන් නාදය ඔහු හිස නමා ගෞරවයෙන් පිළිගත්තා. ඔහු තමයි අපි 3500ක, 1300ක සේවක මණ්ඩලයේ හා කාමර 1800ක දැවැන්ත නෞකාවේ අණදෙන නිලධාරියා. ඔහු තමන්ගේ නෞකාවට සියලු අමුත්තන් සාදරෙන් පිළිගන්න බව නිවේදනය කළා. පරණ නාවුක විහිළු කතා කිහිපයක්ද කිව්වේ සියලුදෙනා මහ හඬින් සිනාගන්වමින්. එකක් නම්, මධුසමය ගතකරමින් සිටි යුවලක් රාත්‍රියේ බැල්කනියේ ආලිංගනයකදී මනමාලයා මුහුදට ඇදවැටුණු මුත් බේරාගත් නාවුකයා  අද නිවාඩු ගොස් ඇති බැවින් ප්‍රවේසම් වෙන ලෙසයි. සියලු දෙනාගේ තදින් සිනා.

ඉන්පසු ඔහු කාර්ය මණ්ඩලය හඳුන්වා දුන්නා. ඔවුන් සියලුදෙනා සම්පුර්ණ උත්සව නිල ඇඳුමින් පැමිණ  අප වෙත හිසනමා ආචාර කළේ අපේ අත්පොලසන් නාදය මධ්‍යයේ. මද වෙලාවකින් කපිතාන්වරයා කිව්වේ තමන්  ආපසු නියමු කුටියට යාමට අවශ්‍ය බවත් හේතුව වන්නේ හෙට උදෑසන නෞකාව බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර වරායට සේන්දු වී  නොතිබුණොත්  මට ඔබලාගෙන් හෙට උදේ බැනුම් අහන්න බැහැ කියමින් සියලුදෙනා නැවත සිනාගන්වමින්. 

පිටත්ව යාමට පෙර සුපුරුදු පරිදී ‘ටෝහ්’ ගා මූඩිය විවෘත කර ෂම්පෙන් බෝතලයක් තමන් වඩාගත් ළඟ සිටි කුඩා දරුවෙක් අතට ලබා දී ඉහළම වයින් වීදුරුවට වක් කරන ලෙස කිව්වේය. කුඩා දරුවා එසේ කරන විට දහසක් කැමරා බල්බ පත්තු වුණා. සියලු දෙනාගෙ අත්පොලසන් නාදය මැද පෞරුෂාත්මක කපිතාන්වරයා  ආචාර කරමින් පිටත්ව ගියේ දැවැන්ත වාදක මඬුල්ල සිය වේගරිද්ම සංගීතය වඩාත් තීව්‍ර කරමින් සිටියදී. බොහෝ ඡායාරූප ගැනුණා මේ වෙලාවේ. හරිම උත්කර්ශවත් පැයක පමණ කාලයක්. 

දරුවන්ට බඩගිනි නිසා අපි රෙස්ටෝරන්ට් එකට ළඟා වූයේ උත්සව ඇඳුම් පිටින්මයි. එයට අපි ළඟා වෙන විට සැරසිලි සියල්ල වෙනස් වී තිබුණා. ආසනවල වර්ණයන් පමණක් නොව සම්පුර්ණයෙන් වෙනත් කාර්ය මණ්ඩලයක් සිටියේ. ඔවුන් ද ඉතාම සංග්‍රාහශීලියි, විනීතයි.  සංගීතයත් වෙනස්. නෞකාවෙන් යම් flash ලයිට් කිහිපයක මුහුදේ ජල මට්ටමට සමාන්තරව දැල් වී තිබුණේ ජල පහර කපා ගෙන ඉදිරියට ඇදෙන නෞකාවේ වේගය පසක් කරමින්. අඩි 100ක් ඔබ්බෙන් කෑලි කපන අඳුර. මහා සාගරය මැද තනිව අපි.  

ඉක්මන් ආහාර වේලක් ගත් අපි විනාඩි 45කින් පමණ අපේ කාමරයට පැමිණියා. දරුවන් ඇඳුම් මාරුකර රූපවාහිනිය බලන්නට ගත්තා. මා මදක් බැල්කනියට ගියේ කොහොමද මුහුදේ තත්ත්වේ බලන්න. මා සමඟ පුතත් එන්නට දැඟලුවත් මා එය වැළක්වූයේ දැඩි සුළං පොඩි ළමයෙක් සුළගේ පාකරන්නත් සමත් නිසාවෙන්. දැඩි සුළං නිසාවෙන් මා ආපසු පැමිණ වයින් වීදුරුවක් තොලගාමින් ඊමේල් හා ලංකාවේ පුවත් බලමින් සිටිය දී ආයෙත් නිදිමත ආවා. රාත්‍රී අඳුර නිසා ජනෙල් තිර  වැසීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි සියලු දෙනා නැවත සෙමෙන් නින්දට පිවිසියා. වේගයෙන් ඉදිරියට යාත්‍රා කරන, යන්තම් සෙලවෙන සුවිසල් නෞකාවේ අපිට හොඳින් නින්ද ගියා.

මට පාන්දර 3තුනට වගේ ඇහැරුනේ ඇයි කියලා මං දන්නැහැ. අනෙක් සියලුදෙනා නිදි. නිශ්ශබ්ද කාමරයේ සිට මහ රෑ සාගරය කොහොමද කියලා බලන්න මට භයානක ආසාවක් ඇති වුණානේ. මම ශබ්ද නොනගා සෙමෙන් ඇවිද ගොස් බැල්කනියේ විශාල වීදුරු දොර ළඟට ගොස් ජනේලයෙන් එලිරය බැලුවා. ලොකු කෑලි කපන අඳුරේ කළු පැහැති මහා ප්‍රචණ්ඩ සාගරය!

මේ අපි යන්නේ අපි ජීවත් වන බටහිර යුරෝපයටත් උතුරින් පිහිටි ස්කෑන්ඩිනේවියානු රටවලටයි. ඒවා තවත් ශීතලයි. මම දැඩි ශීතලට ඔරොත්තු දෙන ජර්කින් එකක් හැඳ බැල්කනියේ දොර සෙමින් හැරියේ බැල්කනියට යන්න. එක්වරම ආ ඝෝෂාකාරී දැඩි ශීත සුළං කාමරයේ උණුසුමත් මදක් අඩු කරන්න ඇති.

දැඩි සුළඟ හා ශීතල. බිහිසුණු රළ පහර. මම ඒ මහා සාගරය දෙස බලා සිටියා. පසුගිය අවුරුදු සියය ඇතුළත මේ සාගරය නාවිකයන් කී දාහක් ගිල ගන්නට ඇද්ද? ටයිටැනික් ඇතුළු කොපමණ නෞකා සමූහයක් මේ සාගර පතුලේ ඇත්ද. දැඩි සුළඟ. මම නොවැටී සිටීමට අසල කණුව හොඳින් අල්ලා ගත්තා. මට මතක් වුණේම ටයිටනික් ඛේදවාචකය.

මම නෞකාවේ අනෙක් පෙදෙස්වල කාමරවල ලයිට් නිවා තිබුණා. මම මේ මුහුදේ ගුප්ත ප්‍රචණ්ඩත්වය දෙස මදක් බලා සිටියා. මෙතරම් බිහිසුණු රළ පහර අතර මෙතරම් ස්ථාවරව මේ දැවැන්ත නෞකාව ගමන් කරන්නේ කොහොමද යන්න මට සිතාගත නොහැක. මම සෙමෙන් වීදුරු දොර හැර ශබ්ද නොනගන සේ වසා නැවත කාමරයට පැමිණ වීදුරු දොර වසා දැමුවා. කාමරයේ ඇතුලේ ඒ මහා ඝෝෂාව නැත. මම සෙමින් සයනයේ දිග හැරුණා. නින්ද ගිය වෙලාව මතක නැත. 

*** *** ***

ඇහැරෙන විට ජනෙල් තිර අතරින් අපි දැක්කේ නිල්වන් මහා සාගරය වෙනුවට බොහෝ ගොඩනැගිලි සහිත ගොඩබිමක්. අප සුවසේ බෙල්ජියමේ බ්‍රසල්ස් වරායට සේන්දු වී ඇත. අපි උදේ ආහාරයෙන් පසු ඓතිහාසික බ්‍රසල්ස් අගනුවර පැය තුනක සංචාරයක් සඳහා බස්වලට නැගිය යුතුය..  

ඔබේ අදහස් – vijitha.writings@gmail.com

By Vijitha Bandara Herath – UK

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.