සංස්කෘත භාෂාව ඉන්දු-ආර්ය භාෂා පවුලේ පැරණිතම භාෂාවලින් එකක් ලෙස සැලකෙනවා. එපමණක් නොවේ භාෂාවේ සංකීර්ණ හා නිරවද්‍ය ව්‍යාකරණ පද්ධතිය නිසා එය ලෝකයේ වඩාත්ම සුපිරිසිඳු භාෂාවක් ලෙස ද සැලකෙනවා. සෑම සංස්කෘත වචනයකටම ගැඹුරු හා සුන්දර අර්ථයක් මෙන්ම මනරම් උච්චාරණයක් ද තියනවා. එබැවින් එය ඉගෙනීමටත් ප්‍රකාශ කිරීමටත් කාව්‍යමය ලෙස ගායනා කිරීමත් අතිශයින්ම ප්‍රියජනකයි. ආහ්ලාදජනකයි.
මේ දිනවල මා විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරනු ලබන අළුත් චිත්‍රපටයේ තේමා ගීතයටත් සංස්කෘත සහ සිංහල වචන භාවිත කළොත් මැනවයි මා සිතුවා. වර්තමානයේ ප්‍රේක්ෂකයන්ට මෙහි ඇතැම් වචන එතරම් හුරුපුරුදු නොවූවත් නූතන වාද්‍ය භාණ්ඩ හා මිශ්‍ර කරන ලද සංගීතය මෙම භාෂා දෙක අතර පාලමක් මෙන් ක්‍රියා කරන බව චිත්‍රපටය නරඹන දවසක ඔබට දැනේවි. ස්වතන්ත්‍ර මධුර තාල කිහිපයක්ම සුසංයෝග කරමින් මෙය නිර්මාණය කර ඇත්තේ අද යුගයේ ලංකාවේ සිටින විශිෂ්ටතම සංගීතඥයකු වන මෙල්රෝයි ධර්මරත්නයන් විසින්. ඔහු සතු බහුවිධ (බටහිර හා දේශීය) සංගීත ආර අපේ සිනමාව හදුනා ගත්තේ නෑ. කෘත්‍රිම බුද්ධියට කළ නොහැකි සංගීත නිමැවුම් නිර්මාණශීලී මිනිස් මනසට කළ හැකි බවට මට පසක් වූ එක් අවස්ථාවක් මෙයයි.
චිත්‍රපටයේ තේමා ගීතයෙහි ආකෘතිය හා පද රචනය කරන ලද්දේ මා විසින්.
බාල කාලෙ ඔබමැ ගැයූ මධුර ගීත කල්පනා –
කෝ ‘අච්චියෙ’ හංගා සිටි මියුරු පැරණි ගී තැටී.
කවුද ලීවෙ ඔබ වටකර සරණ සුමුදු ගී පැදී.
තියේද තව යටගියාවෙ ශ්ලෝක ගී තැටී. – අප මනසේ මැවුනු ගී තැටී.
ඒ සුලලිත පැරණි ගී තැටී.
දිලි දිලි දිලිසේ – ළාහිරු ආකාසේ.
පුරා හඳ පායනා රාත්‍රියේ මනරම්.
සඳ වත සාවුන්, තරු මිතුරන් කැළ.
පෙම් රඟ මඬලේ – නෙක ගැයුම් හා
රැඟුම්.
කුරවි හඬින් නද දෙන ස්වර මී අම පැණි බී.
වසන්තිය ඇවිත් ඔබ මොබ පැන පැන යන්නී.
සතර අතින් සවන් පුරා වාදන අසිරිය ඇසී.
ගී නද බිඳු දෙව් විමනෙන් පෘථීවි තලා විනිවිදියි.
ඒදූරා’තීතේ ගිරි හෙල් කළඹා
භාරත සමතුන් අනිකුන් පසුබා.
පියඹා අවුදින් – හිමි හා බැඳිලා.
වස්දඩු වීණාවේ තත් ඔප කළ.
ශබ්දාඖෂධී – වාග්’ලංකාරිණී//
විලාසිනි ඔබයි, පහන් ටැඹ ඔබ.
සප්තස් ස්වරයේ සයුරු ඉමේ.
වහන්තරා ගී නිබඳ ගැයෙන්නේ කියන්න ඇයිදැයි සෝබනේ.
ලබුත් තිත්ත කාලේ.
හීන පිබිද ලූ ගී හද බැන්දූ
මධුරභාෂිණිය සිංහළේ –
කියන්න පින්බර වරා මලේ ඔබෙ,
සුවඳ කිම නෑර නොලා පැතිරුනේ.
පෙර’පර යා නොම පෙරදා නෑ මේ මොර සූරන ජංජාලේ –
අනන්ත’වකාශේ//
එතුදු වුවත් දොඩමළු වූ සුන්දරතම හැඟුම් පෙලේ,
පිරී ඉතිරී ඉහිර යන්නෙ, කලින් නොකී රහස් වගේ.
ගයන්න ඒකල ආලප්, කා සමගද පුරුදු වුණේ –
ඒ ගී නද ගැයු දෙවිඳුන්, නිවනෙද ස්වර්ගයෙද ඇත්තේ?
එනමුදු—වෛරාග්‍යය ශතකෙට
දැන් යන්කෝ ආච්චියේ!
නෑ ඇත්තට කියන්නකො අනේ,
මල් පිබිදෙන කෙටි කතන්දරේ —
රැව් පිළි රැව් දෙන කතන්දරේ —
ඔයැ සඳ රැජිණිගෙ කතන්දරේ//
මනෝ වීරසේකර – ඕක්ලන්ඩ්







