සත්ව විෂය අචින්ත ලෙස (චින්තනයට හසු නොවන තරම් ), අනන්ත වූ කාලයක් පුරා පැවතෙමින් එන දෙයක් නිසා ඒක ගැන දීර්ඝ ලෙස සෙවීමෙන් ඵලක් නැති බවත් එය අපහසු බවත් බුදුන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කර ඇත. ඒ වෙනුවට කළ යුත්තේ විඤ්ඤාණ හේතුවෙන් සාදාගන්නා මේ සත්ව තත්වයෙන් මිදී එනිසා හදාගන්නා දුකෙන් මිදීමේ පටිපදාවක් ඔස්සේ නිබ්බාණ තත්වයක් හෙවත් සත්ව තත්වයට උපකාරී බැමිවලින් නිදහස්වීම සාක්ෂාත් කරගත යුතු බවයි.
පළමුවෙන්ම මේ කියන සත්ව තත්වය දිගටම පවත්වාගෙන යන ආකාරය අවිජ්ජාමූල පටිච්චසමුප්පාදයෙන් ගෞතම ලොව්තුරා බුදුන්වහන්සේ මිනිසුන්ට පෙන්වා දුන්සේක. එහි කියවෙන ජීවිත කාලය පුරාවටම සමුදය උපදවා ගැනීම හෙවත් පුන පුනා බව සාදාගන්නා ආකරය පෙන්වාදුනි. පුනබ්බව කියන්නේ ඒකයි. (අද පුනර්භවය කියලා ගිය භවය, මේ භවය මතු භවය කියලා පොත්වල සඳහන් ලෙසට ඒ කියවෙන්නේ බව නොව ජාති ගැනයි. )
ඔය නිසා බුදුදහමේ පුනබ්බව යන්න ජාති සමග පටලවා ගෙන මිනිසුන් වැරදියට තේරුම් ගෙන ඇත. බව යනු බීජවල මූලික අවස්ථාවට කියන තවත් අර්ථ දැක්වීමකි. ‘බව පච්චයා ජාති’ ලෙසට එම බීජ නිසාම තමා ඊට අනුකූලවන ජාතියක් හටගන්නේ.
සත්වයා එදිනෙදා ජීවිතයේ සය දොරෙන්ම (ඇස, කණ, දිව, නාසය, ක්‍රියාකාරී-ශරීරය, සහ මන ) ලබාගන්නා විවිධාකාර වූ ආරම්මණ (නැතහොත් ඇවිත් මන රමණය කරමින් බිහිවන්න හිත රුප්පනය කරන අවුලුවන සතර මහාභූත හෙවත් රූප) වලට කැමැත්තෙන්ම ලෝබයෙන්, ද්වේශයෙන් සහ මෝහයෙන් වෙලී බැදීමෙන් හෙවත් පටිච්චවීමෙන්ම පමණක්, එතන උපදින චිත්තය හිත රුප්පනයවී අවුලුවන චිත්තයකි. ආරම්මණවලට එසේ ලෝබ, ද්වේශ, මෝහයෙන් පටිච්ච නොවුණොත් එතනදී උපදින චිත්තය හිත අවුලුවන සිතක් නොවේ.
මෙසේ ඇවිලීමක්, වේගයක්, වේමත්තතාවයක් ලෙස ආරම්මණවලට පටිච්ච වී නැතිනම් ඒවාට කැමැත්තෙන් බැඳී වෙලී හටගන්නා චිත්තයට ඒ ආරම්මණවලින් ලැබෙන පණිවුඩය අපට යථාවාදී තථාකාරී ලෙස ග්‍රහණය නොවේ. එය ග්‍රහණය කරගන්නේම මායාකාරී විකෘති වූ දැනුමක් හෙවත් විකෘති කරගත් ඤාණයකින්ය. එම දැනුමත් සමගම චිත්තය හෙවත් සිත ඇවිලී වේගයක්, වේමත්තතාවයක් සිතේ උපදවාගනී. එම චිත්තයට තමා විඤ්ඤාණ චිත්තය කියන්නේ.
අද මිනිසුන් හිතන් ඉන්නේ ජීවත්වන සෑම පුද්ගලයෙක්ගේම විඤ්ඤාණයක් ඇතැයි යන වැරදි අදහසක් දරාගෙනයි. නමුත් අරහතුන් ලබන ආරම්මණවලින් විඤ්ඤාණ උපදවාගන්නේ නැත. එමනිසා විඤ්ඤාණය යනු විකෘති විෂම වූ ප්‍රකෘතිය නොදකින ඤාණයක් හෙවත් දැනුමකි. අරහතුන් ලබන සෑම අරමුණක්ම ප්‍රකෘති ඤාණයකින්ම දකී. එය ප්‍රකෘති ඤාණ හෙවත් ‘පඤ්ඤා’ යනුවෙන් මාගධී බසෙන් කියවේ.
වර්තමානයේ ඉන්නා සම්මත ආගම පිළිගන්නා බොහෝ අය මේ විඤ්ඤාණය කුමක්දැයි වටහාගෙන නැත. එතනින්ම බුදුදහමේ පදනම බිඳ දමාගෙන ඇත. චඡක්ක සූත්‍රයෙන් වෙනත් ආකාරයකට විග්‍රහ වන පටිච්චසමුප්පාදය ආරම්භ වන්නේම, අරමුණුවලට පටිච්චවී ඔය විඤ්ඤාණය උපදවාගන්න හැටි පෙන්වමිනුයි.
සය ද්වාරවල ඇස සම්බන්ධව ගත්තොත් එය කියවෙන්නේ මෙසේයි. ‘චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං,’ ලෙසටයි. එසේ අරමුණට පටිච්චවුනොත් පමණක් නැතිනම් ලෝබයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳුනොත් පමණක් එතන විඤ්ඤාණයක් සමග වේගයක්, වේමත්තතාවයක් උපදවාගනී. අප කවුරුත් දන්නා ‘අවිජ්ජා පච්චයා සංකාරා’ යන්න චඡක්ක සූත්‍රයේ කියා තිබෙන්නේ ‘චක්ඛුංච පටිච්ච රූපේච’ යන ඉහත කී ආකාරයටයි.
නිබ්බාණගාමී බුදුදහමේ අවිජ්ජා නිරෝධ නිද්දේශයේ එම පැවැත්මට අවශ්‍ය විඤ්ඤාණ ශක්තිය නූපදවන හැටි මෙසේ විස්තර කෙරේ. ‘චක්ඛුංච න’පටිච්ච රූපේ අනුප්පාදෝ අපවත්තං.’
එයින් කියවෙන්නේ රූපයට සිතින් පටිච්ච නොවුණොත් එතන උත්පාදයක් ඇතිවන්නේ හෝ පැවැත්මකට උපකාරී දෙයක් වන්නේ නැති බවයි. එසේ ලෝබයෙන් හෝ ද්වේශයෙන් මෝහයේ එකතුවෙන් පටිච්ච නොවුණොත් එතන උපදින්නේ පඤ්ඤා සිතක් හෝ අව්‍යාකත සිතකි. එම සිත්වලින් බව හෙවත් පැවැත්ම ගෙනයන බීජ හැදෙන්නේ නැත.
චතු අරිය සච්ච නොදකින පුද්ගලයා (පෘතග්ජනයා ) නැතිනම් ජාතවන්න, ජාතියක් හටගන්න උදව්වට එන බව වෙන්කර නොදන්නා පුද්ගලයා (නැතිනම් අවිජ්ජාව ඇති පුද්ගලයා ), ඇස, කණ, දිව, නාසය, මන සහ මුළු ශරීරයෙන්ම ලබන අරමුණුවලට පටිච්ච වෙනවා කියන්නේ ඒවාට කැමැත්තෙන්ම වෙලී බැඳී සංකාර හෙවත් ලෝබ, ද්වේශ, මෝහ සිත් හෙවත් විඤ්ඤාණ සිත්වලින් ක්‍රියාකිරීමයි.
විඤ්ඤාණ උපදිනතාක්කල් සංකාර කෙරේ. සංකාර කෙරෙන තක්ක්කල් නැවත නැවත් චිත්ත විකෘති විෂම තත්වයට පත්වෙමින් එම චිත්ත විඤ්ඤාණ බවට පත්කෙරෙනු ලබයි. ඒ අනුව පටිච්චසමුප්පාද චක්‍රය ක්‍රියාත්මක වෙමින් පුන පුනා බව හදමින් ඉදිරියට උපත්වලට හේතුවන බීජ සාදා චිත්ත සංතානයේ එක් රැස්කරගනිමින් සංසාර චක්‍රය පවත්වාගෙන යනු ලබයි.
පූර්ණලෙසටම බැමිවලින් මිදී නිබ්බාණ තත්වයට පත්වූ අරහතුන් ජීවත්ව සිටිනතාක්කල් නැවත කිසිදිනක, ලබන අරමුණුවලට පටිච්චවෙමින් ක්‍රියාකරන්නෙ හෙවත් සංකාර කරන්නේ නැත. ඒ නිසා අරමුණු ඔස්සේ ඔස්සේ උපදින චිත්තයන් මායාකාරී විෂම චිත්තයන් හෙවත් විඤ්ඤාණ චිත්ත බවට පත්කරගන්නේ නැත. එම පුද්ගලයින් තුළ අව්‍යාකත සිත් සහ ක්‍රියා සිත් (පඤ්ඤා තත්වය පමණක්) ඉදිරියට ජීවත් වන තාක්කල් ඉපැදෙමින් ජීවත්වේ.
සියල්ල එක් වාක්‍යකට ලඝු කර කිව්වොත් ‘විඤ්ඤාණ යනු කෙලෙස් වලින් කිලුටු වූ වේගයක් සහ වේමත්තතාවයක් සහිත චිත්ත වන අතර පිරිසුදු වූ චිත්ත පඤ්ඤා නම්වේ. ඊට අමතරව අප තුළ අව්‍යාකත චිත්තද බොහෝ හට ගනී. ඒවා ලෝභ ද්වේශ මෝහ යන කෙලෙස් තුනෙන් පිරිසිදු හෝ අපිරිසිදු වීමක් සිදු නොවූ චිත්තවේ. ඒවා නිබ්බානය පිණිස බාධාවක් නොවන අතර උපකාරී ද නොදැනට විඤ්ඤාණය උපදවාගන්නා හැටි විස්තර කළා ප්‍රමාණවත් යයි හිතමි.
නිමල් වන්නිගම – ඕක්ලන්ඩ්







