fbpx
11.3 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ස්වාභාවික අවශ්‍යතා, කෘතීම අවශ්‍යතා සහ සැනසුම් සුවය | ආචාර්ය රෝහන උල්ලුවිස්හේවා | පාම්ස්ටන්නෝත්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අපි හැම කෙනෙක්ම ජීවිතයේ හැම මොහොතකම සොයන කිසිවක් වේ නම් එය සැනසුම් සුවය යයි කීවොත් එය නිවැරිදි යයි බෙහෝ දෙනෙක් පිළිගනීවි. සැනසුම් සුවය විදීම සදහා අපේ කායික හා මානසික සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වා ගන්න ඕන. ඒ සදහා අප විසින් තෘප්තිමත් කළ යුතු අවශ්‍යතාවයන්  සමූහයක් තියනවා. ඒවා අතර කෑම, බීම, ඇදුම්, නිවාස, ආරක්ෂාව හා වෛද්‍ය ‍ය පහසුකම් වැනි ද්‍රව්‍යමය අවශ්‍යතා මෙන්ම ආදරය, කරුණාව, දයාව, සාමය, සැනසීම සහ සතුට වැනි ද්‍රව්‍යමය නොවන මානසික හෝ ආධ්‍යාත්මික අවශ්‍යතාවයන් ද වැදගත් වෙනවා. මෙම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම අවශ්‍ය යයි අපේ ශාරීරික සහ මානසික වර්ධනය සදහා. ඒ කියන්නේ මෙම අවශ්‍යතා එකක් හෝ කිහිපයක් හරියාකාර සම්පූර්ණ  වෙන්නෙ නැතිනම් පුද්ගලයාගේ වර්ධනය හරියාකාරව සිදුවන්නෙ නැහැ. ඒ නිසා මේ අවශ්‍යතාවයන් සමූහය ස්වාභාවික වූ මනුෂ්‍ය අවශ්‍යතාවයන් වශයෙන් හදුන්වන්න පුළුවන්.

ස්වාභාවික නොවූ අපේ සිත විසින් නිර්මාණය කරන ලද කෘතීම වූ අවශ්‍යතා සමූහයක් සම්පූර්ණ කිරීමටත් අපි හැමදෙනෙක්ම හැම විටම උත්සාහ කරනවා. මේවා බොහෝ විට පුද්ගලයාගේ පරිණත නොවූ සිත විසින් තම සම්බන්ධතා ජාලය තුළ තමන් අන්‍යයන් හා සැසදීමෙන් නිර්මාණය කරගන්නා සාපේක්ෂ වූ අවශ්‍යතාවයන්. අන්‍යයන් තුළ තමා පිළිබදව  හොද,උසස්,පොහොසත්,වැදගන්,බලවත්,දැන උගත්,චරිතවත් හා වංශවත් ආදී වශයෙන් ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමටත් ගොඩනගා ගන්නා ලද ප්‍රතිරූපය නඩත්තු කිරීමටත් ඇති අවශ්‍යතාවය මීට හොද උදාහරණයක්. ඒ වගේම
නිරපේක්ෂ වූ කෘතීම අවශ්‍යතාවයන් ද තියනවා. උදාහරනහ වශයෙන්, අන්‍යයන් සමග සංසන්දනය නොකළත් තම සංසිදවිය නෙහැකි අශාවන් අවශ්‍යතාවයන් ගේ ස්වරූපයෙන් මතුවීම දක්වන්න පුළුවන්. බොහෝ ආශාවන් තෘප්තිමත් කොට අවසන් කරන්න බැරි නිසා. බඩගින්න ස්වාභාවික අවශ්‍යතාවයක්. එය තෘප්තිමත් කිරීම ජීවත් වීම සදහා අත්‍යවශ්‍යයි. එය තෘප්තිමත් කළ විට අවසන් වෙනවා. ඒ කියන්නෙ බඩගින්න නිවෙනවා. නමුත් කෑදරකමට එහෙම සීමාවක් නැහැ. ඒ වගේම ධනය, බලය, සමාජ තත්ත්වය, නම්බුව හා කීර්තිය වැනි දේවලට යමෙකු තුළ ඇති වන කෑදරකමටත් සීමාවක් නැහැ.

මෙම කෘතීම අවශ්‍යතාවයන්  සහ ස්වාභාවික අවශ්‍යතාවය අතර මේ ආකාරයේ මූලික වෙනස්කම් කිහිපයක් තියෙනවා.

(1) ස්වාභාවික අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමෙන් ශාරීරික හා මානසික වර්ධනයට ඍජු හා පැහැදිලි දායකත්වයක් ලැබෙනවා. නමුත් කෘතීම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමෙන් පුද්ගලයාගේ වර්ධනයට කිසිම ආකාරයක ඍජු දායකත්වයක් ලැබෙන්නෙ නැහැ. ඒ වෙනුවට  අයහපත් බලපෑම් තියෙනවා.

(2) ස්වාභාවික අවශ්‍යතාවයන් තෘප්තිමත් කොට අවසන් කරන්න පුළුවන්. එගෙත් කෘතීම අවශ්‍යනාවයන්  මනසින් හදා ගත්ත බොරු අවශ්‍යතාවයන් නිසා තෘප්තිමත් කොට අවසන් කරන්න බැහැ. තෘප්තිමත් කරන්න කරන්න මනස තව තවත් කෘතීම අවශ්‍යතා  අලුතෙන් නිර්මාණය කරනවා. එවිට    අපි කවුරුත් නිරන්තරයෙන්ම සොයන සැනසම් සුවය අපෙන් ඈත් වෙනවා.

මේ ආකාරයෙන් ස්වාභාවික හෝ කෘතීම හෝ මොනයම් හෝ අවශ්‍යතාවයක් තෘප්තිමත් නොවූ විට සැනසම් සුවය අපෙන් ඈත් වෙනවා. ස්වාභාවික අවශ්‍යතා තෘප්තිමන් කරන්න තරම් වත්කමක් නැති ආර්ථික තත්ත්වයට අපි කියනවා දරිද්‍රතාවය එහෙම නැත්නම් දුප්පත්කම කියලා. ඒ තත්ත්වය යටතේ කෙනෙකුට සැනසුම් සුවය නැතිවෙන්න පුළුවන්. එහෙම වුණාම ඒකට හේතුව පැහැදිලියි. එවිට ඒ සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන්. නමුත් අපි බොහෝ දෙනෙකුට සැනසුම් සුවය නැතිවෙලා තියෙන්නෙ අපේ ස්වාභාවික අවශ්‍යතා තෘප්තිමත් කරගන්න බැරිකමක් නිසාම නෙවේ. අපේ හිත විසින් නිර්මාණය කරගෙන තියන කවදාවත් තෘප්තිමත් කරලා ඉවර කරන්න බැරි කෘතීම අවශ්‍යතා තෘප්තිමත් කරගන්න බැරි වීම නිසා.

උදාහරණ වශයෙන් කෙනෙකුගේ හිත නිර්මාණය කරනවා කෘතීම අවශ්‍යතාවයක් තමා සමාජයේ අන්  අයට වඩා පොහොසත් යයි පෙන්වීම සදහා. එහෙම නැත්නම් තමන් අන් අයට වඩා උගත්, ගුණවත් හෝ ධාර්මික කෙනෙක් ලෙස ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම සදහා. එතැන් සිට එක් පුද්ගලයාට මෙම අස්වාභාවික වූ කෘතීම අවශ්‍යතාවය තෘප්තිමත් කිරීම සදහා මහන්සි වෙන්න සිදුවෙනවා. තමාට නැති පොහොසත් කමක් පෙන්වීම සදහා අනවශ්‍ය ලෙස මහන්සි වෙන්න සිදුවෙනවා. බැංකුවලට විශාල වශයෙන් ණය වෙන්න සිදුවෙනවා. එතකොට එතෙක් තිබුණ  සැනසුම් සුවය නැතිවෙනවා. ඒ වගේම තමා තුළ ඇත්තටම නැති එහෙත් සමාජයෙන් ගෞරවය හා පිළිගැනීම ලැබීම සදහා අවශ්‍ය ගතිගුණ හා හැසිරීම් මවා පාන්න සිදුවෙනවා. ඇත්තටම තමා නොවන චරිතයක් සමාජය ඉදිරියේ රගපාන්න සිදුවෙනවා. මේ ආකාරයේ රගපෑමිවලින් අපේ සැබෑ නිදහස සීමා වෙනවා. සමාජයට පෙන්වීම සදහා නිර්මාණය කර ගන්නා ලද ප්‍රතිරූපය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම සදහා නොනවතින සටනක යෙදී ඉන්න සිදුවෙනවා.

මේ සියල්ලේම විපාකයක් වශයෙන්  අපි නිරන්තරයෙන් සොයන සැනසීම අපට නැතිවෙනවා. අපි විදවනවා. දුකට පත්වෙනවා. තෘප්තිමත් කොට අවසන් කළ නොහැකි, ඒ වගේම තෘප්තිමත් කිරීමෙන් කිසිදු අර්ථාන්විත දිගුකාලීන ප්‍රයෝජනයක් නැති, කෘතීම අවශ්‍යතා තෘප්තිමත් කිරීම සදහා අපි අපේ සැනසීම කැප කරනවා. ඒ නිසා අපි විදවනවා. ඇයි අපි එහෙම කරන්නේ? ආහාර, බේත්හේත් සහ නිවාස වැනි ස්වාභාවික අවශ්‍යතා තෘප්තිමත් කළ නොහැකි වීම නිසා අපි විදවන විට  ඒ දුක අපට කෙලින්ම දැනෙනවා. ඒ වගේම ඒ දුකට හේතුවත් පැහැදිලිව පේනවා එය බාහිරව පවතින්නක් නිසා. ඒ නිසා ඒ දුකෙන් මිදීම සදහා කුමක් කළ යුතු ද යන්න පිළිබදව අවුලක් නැහැ. නමුත් කෘතීම අවශ්‍යතා අපේ මනස විසින් නිර්මාණය කරන ලද බැවින් ඒ මගින් ඇති වන දුකට හේතුව තියෙන්නෙ බාහිරව නොව ඇතුලාන්තයේ. නමුත් අපේම ඇතුලාන්තය දෙස විමසිල්ලෙන් බලන්න පුරුදුවෙලා නැහැ. අපි පුරුදුවෙලා ඉන්නෙ බාහිර ලෝකයේ සිදුවන දේ සොයන්න පමණයි.

ඒ නිසා තමාගේම මනස කෘතීම අවශ්‍යතා නිර්මාණය කිරීමම දුකට හේතුව බව අපට වැටහෙන්නෙ නැහැ. ඒ වෙනුවට වෙනත් බාහිර දේවල් හේතු හැටියට දකිනවා. උදාහරණ වශයෙන්  කෙනෙක් තමා විසින් ගොඩනගා ගන්නා ලද ව්‍යාජ ප්‍රතිරූපය බිදවැටීමේ අවදානමකට ලක්වී ඉන් තමා බියට හා දුකට පත් වූ විට, තම මනස විසින් එවැනි ව්‍යාජ ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන තිබීමම එම දුකට හේතුව ලෙස හදුනාගෙන එය ඉවත්කොට එම දුකෙන් මිදීම වෙනුවට තම ව්‍යාජ ප්‍රතිරූපය අවදානමට ලක්කරන පුද්ගලයා තම දුකට හේතුව ලෙස හදුනාගෙන එම පුද්ගලයා සමග ආරවුලක් ඇති කර ගැනීමෙන් ඒ දුක තවත් වැඩිකර ගැනීම දක්වන්න පුළුවන්. ඒ වගේම යම්කිසි මතවාදයකට හෝ දේශපාලන පක්ෂයට දැඩි කැමැත්තක් ඇති වූ විට හා එය තමාගේ කරගත් විට එය ආරක්ෂා කිරීම තම කෘතීම අවශ්‍යතාවයක් බවට පත්වෙනවා. එවිට එම මතවාදයට හෝ දේශපාලන පක්ෂයට ප්‍රතිවාදීන්ගෙන් පහර එල්ල වන විට එය තමාට පහර වැදීමක් වගේ දැනෙනවා. එවිට සැනසීම නැති වී දුක ඇතිවෙනවා. එහෙත් දුකට හේතුව තම මනස විසින්ම නිර්මාණය කරගන්නා ලද බැදීමත් ඒ නිසා ඇති වූ කෘතීම අවශ්‍යතාවයක් බව තම ඇතුලාන්තය ගවේෂණය කිරීමෙන් තේරුම්ගෙන එම හේතුව ඉවත්කොට දුක අවසන් කිරීම වෙනුවට අපි බොහෝවිට කරන්නේ එම දුකට හේතුව ප්‍රතිවාදීන් ලෙසට වැරදියට හිතාගෙන  ඔවුන් සමග ආරවුල් ඇති කර ගැනීමෙන් තවදුරටත් දුකට පත්වීමයි.

එසේනම් අපි සොයන සැනසුම් සුවය නොකඩවා විඳීම්ට නම් අප කළ යුතු දෙය දැන් පැහැදිලියි. අප කළ යුත්තේ තම ඇතුලාන්තය දෙස  විමසිලිමත්ව බලා සිටීමෙන් තම සිත විසින් කෘතිම අවශ්‍යතාවයන්  නිර්මාණය කරන ආකාරයත් ඒවා තෘප්තිමත් කිරීමට යාම නිසා අපි විඳවන වන ආකාරයත් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීමයි. එවිට අපි නොදැනුවත්වම කෘතිම  අවශ්‍යතා නිපදවීමත් ඒවා තෘප්තිමත් කිරීමට දරන උත්සාහයක් ටිකෙන් ටික අඩු වෙනවා.

By Dr Rohana Ulluvishewa – Palmerston North

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.