…ශ්‍රී ලංකාවට ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනයට මුහුණ දීමට චීනය ප්‍රමුඛ කරගත් ආසියානු රටවල දේශපාලන පෙළගැස්ම හා එක්ව කටයුතු කිරීමට සිදු වෙයි. මෑතකදි ඇති කරගත් එකඟතා ගිවිසුම් මත ඉන්දියාව හා එකමුතුව කටයුතු කිරීමට සිදුවෙයි. ඒ අතර චීනය හා ඉන්දියාව සමග ඇති කලාපීය බල තරගය මැද නිර්පාක්ෂිකව සිටීමට සිදුවෙයි.
තවමත් ලොවපුරා පුවත් මැවෙන්නේ එක්සත් ජනපදයෙනි. ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගන්නා ස්ථාවරත්වය ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි දේශපාලන හා ආර්ථික තීරණ නිසාය. මැදපෙරදිග සම්බන්ධයෙන් ධවල මන්දිරය උනන්දු වන්නේ ගාසා තීරයේ සිදුවන මනුෂ්‍ය ඝාතන නැවැත්වීමට හෝ කලාපීය සම්බන්ධතාවල යහපැවැත්මට නොව අමෙරිකානු බලය පැතිරවිමට බව ඇතැම් අය කියති. සෞදි අරාබිය සමග පැවැති සම්බන්ධතාවයෙන් ඩොලර් ට්‍රිලියන දෙකක ආයෝජන ආරම්භයක් අමෙරිකානු ජනාධිපතිවරයා බලාපොරොත්තු වීය. ‘වෙනත් කිසි දාක නැති තරමට මුදලුත් රැකියාත් අපේ රටට ලැබේවි,’ යි ඔහු උද්දාමයට පත්ව කිවූ බව බී. බී. සි. වාර්තා කළේය. යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඔහුගේ තීරණය ‘තමන්ට කුමක් ලැබේවිද,’ යි යන්න මත නිර්ණය වනු ඇති බව ද පැවසේ. දැනට කල් දමා ඇති තීරුබදු ගැටළුව ද විසඳෙන්නේ ඒ ආකාරයෙන්ම වියහැක.

මේ අතර, හදිසියේම යුරෝපීය සංගමයට නැවත 25% ක තීරුබදු පැනවීමක් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් කරනු ලැබ ඇත. කැනඩාව හා දකුණූ අමෙරිකාව සමග කෙරුණ සංවාද හා මෑතක දී දකුණූ අප්‍රිකා ජනාධිපති සිරිල් රම්පෝසා සමග කළ සාකච්ඡාවේ දී පවා ට්‍රම්ප් ඉස්මතු කර ඇත්තේ ‘අමෙරිකානුවන් ශ්‍රේෂ්ඨය’ යන මේ පුද්ගලාභිමානයමය.

ආසියානු රටවලින් අමෙරිකාවට යවන්නේ වැඩිමනත්ව පාරිභෝජන භාණ්ඩය. එහෙත් යුරෝපීය සංගමයේ රටවලින් යැවෙන්නේ අමෙරිකාව තුළ කෙරෙන නිෂ්පාදනවලට අවශ්‍ය කාර්මික භාණ්ඩය. එම භාණ්ඩ මත තීරු බදු පැනවීමෙන් ප්‍රථිඵලය වන්නේ අමෙරිකාව තුළ භාණ්ඩවල මිල අධික වීමය. කම්හල් ලාභය අඩු වීමය. ආයෝජන හා රැකියා අවස්ථා හීන වීමය. ඒ අතර යුරෝපය අඩු තීරු බදු සහිත වෙළඳ ගිවිසුම් ඇති කර ගෙන වෙනත් ගැනුම්කරුවන් කරා යොමුවනු ඇත. ‘සාර්ව ආර්ථික ප්‍රතිඵල ගැන ට්‍රම්ප් පරිපාලනය සැලකිල්ලක් නොදක්වන බවත් සාකච්ඡා කිරීම ඉතා දුෂ්කර බවත්,’ සභාපති ඩෑන් අන්තෝනි පවසයි.
දැනට අධිකරණය මගින් අත්හිටුවා ඇති හාවඩ් සරසවියට විදෙස් සිසුන් බදවා නොගත යුතුය.’ යන විධායක නියෝගය ද මෙවැනිම ප්‍රතිඵල දෙන්නක් බව විචාරකයෝ පෙන්වා දෙති. අනෙකුත් සරසවිවල ක්‍රියාකාරිත්වය ගැනද මේ නිසා අවධානමකට ලක්ව ඇත. රටට ලැබෙන විශාල ආදායමක් මග හැරෙනවා පමණක් නොව, දක්ෂතාවලින් නිපුණ විදේශ සිසුන් නොමැති වුවහොත් ක්‍රීඩා වැනි බොහෝ ක්ෂේත්‍රයන්වලින් අමෙරිකානු සරසවි ගන්නා මූලිකත්වය අහිමිවනු ඇත. ඒ අතර අනෙකුත් තරගකාරී යුරෝපීයානු සරසවි මෙය අවස්ථාවක් කරගනු ඇත.

‘ට්‍රම්ප් ලෝකයේ සෑම දෙයක්ම අවුල් කරන්නෙකි, ප්‍රශ්නය එය කොතෙක් දුරටද යන්නය යැයි,’ බොහෝ විචාරකයන් පවසන්නනේ මේ නිසාය.
නවසීලන්ත රිසව් බැංකුව තම 2025 මැයි ‘Financial Stability Report’ නම් වාර්තාවෙන් පෙන්නා දෙන්නේ ලෝක ආර්ථිකයේ අවිනිශ්චිත භාවය මත පසුගිය සය මාසයක කාලයේ රටෙහි මූල්‍ය ස්ථාවරත්වයේ අවධානම වර්ධනය වූ බවය. අමෙරිකාව හා අනෙකුත් රටවල් සමග ඇති වාණිජ සම්බන්ධතා ගැටුමට ලක් වූ බවය. තීරුබදු ගැටළුව නිසා අනෙකුත් වාණිජ පාර්ශවකරුවන්ගේ ඉල්ලුම අඩුවිය හැකි බවය. ඇතැම් නවසීලන්ත නිෂ්පාදනයනට වෙනත් වෙළඳපලවල් සොයාගත නොහැකි බවය. මෙසේ දේශීය ආර්ථික ක්‍රියාවලිය පසුබෑමකට ලක්ව ඇත. අභ්‍යන්තර වෙළඳපල දුර්වල වී ඇත. භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම අඩු වී ඇත. ශ්‍රම වෙළඳපල අයහපත් තත්තවයකට පත්ව ඇත. නවසීලන්ත රිසව් බැංකුව ඉහත කී වාර්තාවෙන් තවත් මෙවැනි සෘණාත්මක වර්ධනයන් රාශියක්ම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ලෝක දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයන්හි වන මෙවැනි කැළඹීම්වලට වෙනදාටත් වඩා තදින් ගොදුරු වෙමින් සිටියි.
එක අතකට ශ්‍රී ලංකාවට ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනයට මුහුණ දීමට චීනය ප්‍රමුඛ කරගත් ආසියානු රටවල දේශපාලන පෙළගැස්ම හා එක්ව කටයුතු කිරීමට සිදු වෙයි. මෑතකදි ඇති කරගත් එකඟතා ගිවිසුම් මත ඉන්දියාව හා එකමුතුව කටයුතු කිරීමට සිදුවෙයි. ඒ අතර චීනය හා ඉන්දියාව සමග ඇති කලාපීය බල තරගය මැද නිර්පාක්ෂිකව සිටීමට සිදුවෙයි. ඉන්දු-පකිස්ථාන ගැටුමේදී උභතෝකෝටික තත්ත්වයකට මැදිව කටයුතු කිරීමට සිදුවෙයි .
මේ ගැටුම් මැද මාලදිවයින එරටෙහි වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියත් අලුතින් පටන් ගත්තේය. ඉන්දියාව අදානි සමාගමේ ද සහභාගිත්වයෙන් කේරළයේ නව අධිතාක්ෂණ පහසුකම් සහිත ’Vizhinjam Port’ සංවර්ධන ව්‍යාපෘතිය මෙහෙයුම් සඳහා විවෘත කළේය. මෙම ප්‍රවණතාවයන් කොළඹ වරායේ ව්‍යාපාරික කටයුතුවලට තදබල තර්ජනයක්වනු ඇත. විශාල බලාපොරොත්තු ඇතිව කලාපයේ වාණිජ, මූල්‍ය හා සන්නිවේදන කේන්ද්‍රයක් බවට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් ආරම්භ කළ පෝට් සිටියේ ශක්‍යතාවය ගැනද විශාල අවධානමක් හටගනු ඇත.

අමෙරිකානු-ශ්‍රී ලංකා තීරුබදු ප්‍රශ්නය මෙතෙක් විසඳී නැත. ඒ අතර දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ විදේශ ආයෝජනවල පසුබෑමක් විද්‍යමානවන්නට පටන්ගෙන ඇත. නෙක්ස්ට් ඇඟලුම් කම්හලේ කටුනායක ශාඛාව වසා දැමීමට තිරණය කර ඇත. මෙය දැමිම 2022 බ්‍රැන්ඩික්ස් සමාගම වසා දැමීම හා සමානය. සමාගම මතුපිටින් කවරක් ප්‍රකාශ කළ ද සේවක සංගම්වල ක්‍රියාකාරිත්වය මේ තීරණයට තදින්ම හේතු වූ බව අභ්‍යන්තර මාර්ග පවසයි. අදානි සමාගම ආයෝජනවලින් ඉවත් වූවා පමණක් නොව ශ්‍රී ලංකාව හා තරඟ කරන කේරළ Vizhinjam ව්‍යාපෘතියට හවුල් වීය. ව්‍යවසායක ආයෝජනයන් අධෛර්යමත් කරවන පරිසරයක් රට තුළ ගොඩනැගෙමින් ඇතය යන මතය ටිකින් ටික බිහිවෙමින් පවතී.

මෙසේ ලංකාව මුහුණ පා ඇත්තතේ වෙන කවර දාකටවත් වඩා කලාපයේ ඇති ප්‍රවණතාවයන්ට අවාසි සහගතව ගොදුරුවීමේ අවධානමකි. මෙහි පීඩනය මගින් රටෙහි ආදායම අඩුවීම, ණය ගැති භාවය අසීරු තත්වයකට පත් වීම, ජන ජීවිතය අඩාල වීම වැනි ප්‍රතිඵල ජනනය කරනු ඇත. රටක සිදුවන මෙවැනි සෘණාත්මක වර්ධනයන් අවසන දේශපාලන ගැටළු ද ඉතිහාසයේ මතුකර ඇත.
ශ්‍රී ලංකන්ස්






