දුප්පත්කම පිටුදැකීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් එළිදක්වන ලද තිරසර සංවර්ධන ඉලක්ක අතර ප්‍රමුඛ වූ ඉලක්කයක්. මෙම ඉලක්කය 2030 වනවිට සාක්ෂාත්කර ගැනීමේ අරමුණෙන් දැනට ජාත්‍යන්තර, ජාතික හා ප්‍රදේශීය යන සෑම මට්ටමකින්ම විවිධ වැඩපිලිවෙලවල් සාකච්ඡා වෙමින් හා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කෙසේ වුවත් දුප්පත්කම පිටුදැකීම සදහා ආධ්‍යාත්මිකත්වය වැදගත් සාධකයක් ද යන්න පිළිබදව තවමත් පුළුල් කතාබහක් ගෙඩනැගී නැහැ. දුප්පත්කම සහ ආධ්‍යාත්මික දියුණුව යනු එකිනෙකට නොගැළපෙන පරස්පර විරෝධී වූ සංසිද්ධීන් දෙකක් වශයෙන් බොහෝ දෙනෙක් බොහෝ විට දකිනවා. ‘කුස ගින්නෙන් පෙලෙන කෙනෙක් කොහොමද ආධ්‍යාත්මිකව දියුණු වෙන්නේ? ‘ආධ්‍යාත්මික දියුණුව ගැන බන කියන්න කලින් ආර්ථිකය දියුණු කරලා දුප්පතාගෙ බඩගින්න නිවන්න ඕන,’ වැනි තර්ක බොහෝවිට මතුකරනවා. දුප්පත්කම පිටුදැකීම සදහා ආධ්‍යාත්මිකත්වයේ ප්‍රායෝගික වැදගත්කම පර්යේෂණ මත පදනම් වූ විද්‍යාත්මක සාක්ෂි ඇසුරින් පැහැදිලි කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි.
මෙම වසරේ මුලදී අමරිකා එක්සත් ජනපදයේ බටහිර ජෝර්ජියනු විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබද මහාචර්යවරයෙකු වූ ඩැනියෙල් හෙල්මිනියක් (Danial Helminiak) ඉදිරිපත් කරන ලද ආධ්‍යාමිකත්වය පිළිබද න්‍යායට අනුව (A Comprehensive Theory of Spirituality) මනුෂ්‍යයෙක්
1. ශරීරය
2. මානසිකය (Psyche)
3. ආධ්‍යාත්මය (Consciousness)
යන සංරචකයන් තුනෙන් සමන්විත වෙනවා. ඔහුට අනුව, මානසිකය සහ ආධ්‍යාත්මය යන දෙකම සිතෙහි (Mind) සංරචකයන් දෙකක්. මතක, ආවේග, මනෝ රූප හා ආශාවන් වැනි සිතෙහි අන්තර්ගත සියලුම දේවල එකතුව මානසිකය වන අතර සිතෙහි ඉතිරිය, එතම් බාහිර හේතූන් ගෙන් හටගත් කිසිවකින් “අපවිත්‍ර” නොවූ, සිතෙහි ‘මූලික පිරිසිදු’ තත්ත්වය ආධ්‍යාත්ම යයි. මනුෂ්‍යයින් වශයෙන් අපට උරුමව ඇති සියලුම මනුෂ්‍ය ගුණ එහි ගැබ්වෙලා තියනවා. ඒවා ආධ්‍යාත්මික ගුණ වශයෙන් අපි හදුන්වනවා. මෙම න්‍යායට අනුව ශරීරය, මානසිකය සහ ආධ්‍යාත්මය යන සංරචක තුනම පුද්ගලයෙක් තුළ අනුකලනය වී තිබේ නම් තමයි ඒ පුද්ගලයා පූර්ණ මනුස්සයෙක් වෙන්නෙ. එවැනි පූර්ණත්වයට පත් පුද්ගලයෙකුගේ සිතිවිලි සහ හැසිරීම තුළින් සැබෑ මනුෂ්‍යත්වය විද්‍යමාන වෙනවා. මේ නිසා මෙම මනෝවිද්‍යා අධ්‍යාත්මය හදුන්වනවා Human Spirit වශයෙන්. නමුත් අපි වැඩිදෙනා තුළට ආධ්‍යාත්මය ඒ කියන්නෙ Human Spirit අනුකලනය වෙලා නැහැ. ඒ කියන්නෙ අපි වැඩිදෙනා ආධ්‍යාත්මයට සංවේදී නැහැ. ඒ නිසා අපි වැඩිදෙනා පූර්ණ මනුෂ්‍යයන් නොවේ. පූර්සන මනුෂ්‍යත්වය ඒ කියන්නේ සැබෑ මනුස්සකම අප තුළින් විද්‍යමාන වෙන්නෙ නැහැ. මීට හේතුව වශයෙන් මොහු පෙන්වා දෙන්නෙ අපි ආධ්‍යාත්මයට සංවේදී නොවීමයි. අපි කවුරුත් වගේ අපේ ළමාවියේ දී දැනට වඩා ආධ්‍යාත්මයට සංවේදීව ඉන්න ඇති. ඒ නිසා මනුස්සකම දැනට වඩා අප තුළ තියෙන්න ඇති. නමුත් අපි වැඩිහිටියන් වන විට ඒ සංවේදී බව නැතිවෙලා. නැවතත් ආධ්‍යාත්මයට සංවේදී වීම මගින් පුද්ගගලයා තුළට එය අනුකලනය කිරීමෙන් පූර්ණ මනුෂ්‍යයෙක් බවට පත්වීම අධ්‍යාත්මික දියුණුව වශයෙන් හදුන්වනවා. සෑම ප්‍රධාන ආගමකම නිර්මාතෘවරු මේ සදහා විවිධ ක්‍රමවේද ඉදිරිපත් කරලා තියනවා. ඒ හැරෙන විට ආගමික නොවන නවීන විද්‍යාව මත පදනම් වූ ක්‍රමවේද ද රාශියක් පවතිනවා විශේෂයෙන්ම බටහිර රටවල.
දුප්පත්කම සහ ඒ හා බැදුන ආදායම් විෂමතාවය හා සමාජ අසමතුලිත බව පුද්ගලයා තුළින් මනුෂ්‍යත්වය ගිලිහී යාමේ, ඒ කියන්නෙ ආධ්‍යාත්මික අපරිණත භාවයේ විපාකයක් ලෙස හදුනා ගන්න පුළුවන්. දුප්පත්කම සහ ආධ්‍යාත්මිකත්වය පිළිබදව පර්යේෂණ පවත්වන ඇතැම් විද්වතුන් හදුනාගෙන තියනවා ආදායම සහ ආධ්‍යාත්මික දියුණුව අනුව කණ්ඩායම් හතරක පුද්ගලයින්.
1. ආධ්‍යාත්මික මෙන්ම ලෞකික සම්පත්වලින් ද ධනවත්,
2. ආධ්‍යාත්මිකව දුප්පත් නමුත් ලෞකික සම්පත්වලින් ධනවත්
3. ආධ්‍යාත්මිකව ධනවත් නමුත් ලෞකික සම්පත් වලින් දුප්පත්
4. ආධ්‍යාත්මිකව මෙන්ම ලෞකික සම්පත්වලින් ද දුප්පත්.
මෙම කණ්ඩායම් හතර අතරෙන් ආධ්‍යාත්මිකව නොදියුණු දුප්පත් හා පොහොසත් කණ්ඩායම් දෙකම දුප්පත්කම පිටුදැකීම පිණිස ගනු ලබන සැම ක්‍රියාමාර්ගයකදීම බාධාකාරී ලෙස බලපාන බව පෙන්වාදී තිබෙනවා.
ආධ්‍යාත්මිකව දුප්පත් නමුත් ලෞකික සම්පත්වලින් ධනවත් කණ්ඩායම ආතමාර්ථකාමී වූ කෘර ලෙස අනුකම්පා විරහිතව දුප්පතුන් සූරාකෑමෙනුත් දුප්පතුන්ට අවස්ථාවක් නෙලැබෙන පරිදි වස්තුව සහ ධනය ඉපයීමේ අවස්ථා තමා සන්තකයට ගැනීමෙනුත් සහ තම බලය යොදා දුප්පතුන්ට දුප්පත්කමෙන් ගොඩ ඒමට බාධා කිරීමෙනුත් තම ප්‍රදේශය තුළ දුප්පත්කම නොකඩවා පැවතීමට දායක වෙනවා. ඒ වගේම ප්‍රදේශයෙන් දුප්පත්කම තුරන් කිරීම සදහා යෝජනා කරන හා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතීන් සදහා මොවුන්ගෙන් සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට හැකි හැමවිටම එවැනි ව්‍යාපෘතීන්ට බාධා කරනවා. ලෞකිකව මෙන්ම ආධ්‍යාත්මිකව ද දුප්පත් කණ්ඩායමට දුප්පත්කමෙන් ගොඩඑන්න අමාරුයි. ආධ්‍යාත්මිකව නොදියුණු පුද්ගලයා ආධ්‍යාත්මයට වඩා ඔහුගේ/ඇයගේ කෙලෙස්බර මානසිකයට සංවේදීයි. එවන් පුද්ගලයින්ගේ හැසිරීම මෙහෙයවන්නේ එම මානසිකයෙන්. ඔවුන් ස්වභාවයෙන්ම ආත්මර්තකාමී, ව්‍යාජ, කම්මැලි, එක අරමුණක් හෝ ඉලක්කයක් කරා නොකඩවා උත්සාහවන්තව ක්‍රියා කරන්න බැහැ. එක අතකින් ඔවුන්ගේ කම්මැලිකම, දුප්පත්කමෙන් ගොඩ ඒම සදහා දැඩි අධිෂ්ඨාන පූර්වකව ක්‍රියා කිරීමට අකමැත්ත, ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට තිබිය යුතු ස්වයං විශ්වාසය, ආත්ම ශක්තිය සහ අවදානම් දැරීමේ කැමැත්ත නැති වීම මෙන්ම ඇතැම් අවස්ථාවල සුරාවට සහ සූදුවට ඇබ්බැහි වීම නිසා ප්‍රාග්ධනය සදහා ඉතුරු කිරීමට නොහැකිවීමත් නිසා ව්‍යාපාරයක යෙදීමෙන් දුප්පත්කමෙන් ගොඩ ඒම අපහසු වන අතරම අවංක නොවීම, බොරුකීම, අනුන්ට වංචා කිරීම, සොරකම් කිරීම හා දුරාචාරයෙහි යෙදීම ආදිය පිළිබදව ලබා ඇති අපකීර්තිය නිසා වෙනත් ආයතනයක වැටුප් ලබන රැකියාවක් සොයාගැනීමත් අපහසු වෙනවා. එමෙන්ම මෙම කණ්ඩායමට අයත් දුප්පතුන් රජයෙන් හෝ වෙනත් විවිධ ආයතනවලින් දෙනු ලබන මූල්‍යමය ආධාර බොහෝවිට අවභාවිතා කරන බවත් ඒ නිසා එවැනි ආධාර මගින් අධ්‍යාත්මිකව සහ ලෞකිකව යන දෙකෙන්ම දුප්පත් කණ්ඩායමේ දුප්පත්කම පිටුදැකීම අපහසු වෙනවා.
අනෙක් අතට ආධ්‍යාත්මික සහ ලෞකික යන දෙපැත්තෙන්ම ධනවත් කණ්ඩායම රටකට ආශිර්වාදයක්. ඔවුන් කෙලෙස්බර මානසිකයට වඩා අධ්‍යාත්මයට සංවේදීයි. ඒ නිසා ඔවුන් කම්මැලි නැහැ. උද්යෝගිමත් සහ අධිෂ්ඨානශීලියි. ඔවුන් විශාල කැපකිරීම් කරමින්, මහන්සියෙන් සාධාරණව ධනය උපයනවා පමණක් නොවේ තම දුප්පත් අසල්වැසියන්ට දුප්පත්කමෙන් ගොඩ ඒම සදහා උදව් කරනවා. ප්‍රදේශයේ රැකියා විරහිත දුප්පත් අයට රැකියා සැපයෙන පරිදි නව ව්‍යාපාර සදහා ආයෝජනය කරනවා. ප්‍රදේශයේ දුප්පත්කම තුරන් කිරීම සදහා දියත් කරන ව්‍යාපෘතිවලට උදව් කරනවා. ලෞකිකව දුප්පත් නමුත් ආධ්‍යාත්මිකව පොහොසත් කණ්ඩායම සදාකාලිකවම දුප්පත්ව ඉන්නේ නැහැ. ඔවුන් කෙලෙස්බර මානසිකයට වඩා ආධ්‍යාත්මයට සංවේදී නිසා ඔවුන් චරිතවලින් ආධ්‍යාත්මික ගුණ විද්‍යමාන වෙනවා. සාධාරණව ධනය ඉපැයිය හැකි හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගෙන කැප කිරීම් කොට මහන්සි වී වැඩ කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා. සුරාව, සූදුව හෝ වෙනත් දුරාචාරවල නොයෙදෙන බැවින් ඔවුන්ට ටික ටික හෝ මුදල් ඉතිරි කර ගන්නත් පුළුවන් කුඩා ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට. ඒ වගේම ඔවුන් දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් විවිධ ව්‍යාපෘති වලින් ලැබෙන මූල්‍ය ආධාර අවභාවිතා කරන්නේ නැහැ. මුදල් ඉපයීම සදහා දෛනික සේවයක් හෝ කිසිවෙකුට ලබාදීමට අවස්ථාවක් ලැබුන විට එම සේවය ඉතා හොදින්ම ලබා දෙනවා. ඒ කාර්යය මහන්සි වී අවංකව, තමාට කළහැකි උපරිමයෙන්ම කරනවා. ඔවුන් තුළ හොර, බොරු, වංචා නැහැ. ඔවුන් පිළිබදව ගොඩනැගෙන යහපත් ප්‍රතිරූපය නිසා රැකියා අවස්ථා තිබෙන විට ඒවා ඔවුන්ට ලබාදීමට ඒ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පසුබට වෙන්නෙ නැහැ. මේ නිසා මෙම කණ්ඩායමේ අය දුප්පතුන් ලෙස ඉපදුනත් තම ජීවිත කාලය තුළ දී ඔවුන්ට දුප්පත් කමෙන් ගොඩ එන්න පුළුවන් වෙනවා.
මේ නිසා දුප්පත්කම දුරලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවල දී මෙම කණ්ඩායම් හතර හඳුනාගෙන ඒ ඒ කණ්ඩායම් සඳහා සුවිශේෂ වූ උපායමාර්ගය අනුගමනය කළ යුතු වෙනවා. ආධ්‍යාත්මික සහ ලෞකික යන දෙයාංශයෙන්ම ධනවත් කණ්ඩායම සහ අධ්‍යාත්මිකව ධනවත් නමුත් ලෞකිකව දුප්පත් කණ්ඩායම් දෙක අතර සහයෝගය ගොඩනැගීම සඳහා කටයුතු කිරීම හොඳ උපාය මාර්ගයක් වෙන්න පුළුවන්. ඒ වගේම දැනට කරන ආකාරයට ආධ්‍යාත්මිකව නොදියුණු දුප්පත් කණ්ඩායමට මුදලින් ආධාර කිරීම ඔවුන් දුප්පත්කමෙන් ගොඩ දැමීම සඳහා වූ සාර්ථක උපාය මාර්ගයක් වෙන්නේ නැහැ. ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ගයක් ගත යුතු වෙනවා. අධ්‍යාපනයට ආධ්‍යාත්මිකත්වය ඇතුල් කිරීම දිගුකාලීන ප්‍රතිඵල ලැබිය හැකි උපාය මාර්ගයක් වෙන්න පුළුවන්.
By Dr. Rohana Ulluvishewa – Palmerston North