fbpx
15.6 C
New Zealand
Monday, May 23, 2022
spot_img

මානසික හා චිත්තවේග යහපැවැත්ම | Discussion

Must read

ශ්‍රීLankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

~ සංක්‍රමණික සමාජයක මාපිය දූදරු අවබෝධය ගැන එක දෘෂ්ඨිකෝණයකින් ~

නවසීලන්තයේ ශ්‍රි LankaNZ ප්‍රජා පුවත්පත මානසික හා චිත්තවේග යහපැවැත්ම යන මාතෘකාව අද  යුගයේ අවශ්‍යතාවයක් ලෙස සලකා පරම්පරා දෙකක සහභාගිත්වයෙන් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ මෙම සාකච්ඡා මාලාව ආරම්භ කළේය.

සංක්‍රමණිකයා සහ සංක්‍රමණික රට යන විෂය යටතේ සංක්‍රමණිකයාගේ දෙවැනි පරම්පරාවට හා සංක්‍රමණික රටට ඔවුන්ගේ පැමිණීම බලපාන ආකාරය සලකා බැලීමට මුල්ම සාකච්ඡාව වෙන් කෙරේ. පළමු පරම්පරාව නියෝජනය කරමින් ෂෙහානි ද සිල්වා මහත්මිය මෙල්බර්න් සිට ද දෙවැනි පරම්පරාව නියෝජනය කරමින් නිමේශා තිසේරා මෙනෙවිය නවසීලන්තයේ සිට ද සහභාගි වන අතර ශ්‍රි LankaNZ පුවත්පත වෙනුවෙන් අපි ඔවුන් ස්තුති පූර්වකව පිළිගනිමින් සාකච්ඡාව ගෙන යන මෙන් ආරාධනා කරනවා.

 

නිමේශා :- මා ගැන මුලින්ම හඳුන්වලා දෙනවා නම් මම මානසික සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ දැනුම බෙදෙන කෙනෙක් ලෙසට කටයුතු කරන ගමන්ම අධ්‍යාපන, පුද්ගල හා ප්‍රජා මූලික මානසික සෞඛ්‍ය ව්‍යාපෘතිවල උපදේශන කටයුතුවල ද යෙදෙනවා. ෂෙහානි ඔබ?

ෂෙහානි :- මම මානසික සෞඛ්‍යය අධ්‍යාපන හා සේවා සංවර්ධන උපදේශිකාවක් විදිහට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ  මෙල්බර්න්හි අන්තර් සංස්කෘතික මානසික සෞඛ්‍ය ආයතනයේ දැනට සේවය කරනවා. මනෝවිද්‍යාව සහ ප්‍රජා සංවර්ධනය පිළිබඳව වසර 25ක පමණ පළපුරුද්දක් මට තියෙනවා. මම නවසීලන්තයේ සරණාගතයන් සඳහා දියත් කළ ප්‍රජා කටයුතුවල උපදේශිකාවක් විදියටත් කාලෙකට ඉස්සර වැඩ කළා. ඒ වගේම මම දියණියන් දෙදෙනෙකුගේ මවක්. එයින් එක් දියණියක් විශේෂ අවශ්‍යතාවයන් ඇති කෙනෙක්.

නිමේශා :-  මේ කතාබහ අපගේ අත්දැකීම්වලම කොටසක් සහ ඒ පිළිබඳ අවංකවම කතාබහ යෙදීමක්. සමහර විට මේ සාකච්ඡාව අසන්නාට ඉතා සංවේදී වෙන්න පුළුවන්. මානසික චිත්තවේගී පීඩාවකට සහාය ලබා ගැනීමට කැමති අයට පහත ලින්ක් එක ප්‍රයෝජනවත් වේවි.

 https://www.mentalhealth.org.nz/get-help/in-crisis/helplines/ 

 

අපි අදහස් කරනවා මේ සාකච්ඡා මාලාව ආරම්භ කරන්න සංක්‍රමණිකයන් හැටියට මේ නව රටේ ජීවිතය හමුවේ තමන්ගේ සාමාජීය හා සංස්කෘතික අනුගතවීම සොයා බැලීමට. මේ හඳුනා ගැනීමේ දී අප අපේ පළමු පරම්පරාවේ සංක්‍රමණිකයන් සහ දෙවැනි පරම්පරාවේ සංක්‍රමණිකයන්ට වෙන වෙනම මුහුණ පාන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. නිමේශා ඔබගේ වයසේ සහ මගේ දියණියගේ වයසේ පරම්පරාවට මේක ඉතා වැදගත් වෙයි. මෙහි දී පළමු පරම්පරාව හැටියට හඳුන්වන්නේ ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණිකයන් හැටියට නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වලට ස්ථීර පදිංචියට ආ පිරිස. මේ ගැන බොහොමයක් පර්යේෂණ සහ විවිධ කාරණා ලියැවී තියෙනවා. විශේෂයෙන්ම රට රටවල්වල ස්ථිර පදිංචියට මේ  සංක්‍රමණ සිදු වීමත් සමඟ ඒ පර්යේෂණවල වැඩි වීමක් දක්නට තියෙනවා. තවමත් මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කරනවා. ඒ වගේම අප සියලු දෙනාටම මේ නව අත්දැකීම් විවිධාකාරයෙන් ලැබෙන අතර අප ඒ සඳහා ප්‍රතිචාර දක්වන්නේ ද වෙනස්ම විදිහට. ඉතින් අද සාකච්ඡාව කරන්නේ මේ ගමනේ දී අපගේ මේ අත්දැකීම්වලට මුහුණ දීමේ ක්‍රමවේදය දෙවැනි පරම්පරාවට බලපාන ආකාරය සහ දෙවෙනි පරම්පරාව මෙයට දක්වන අදහසයි. 

ෂෙහානි :- මම දැනගන්න කැමතියි මේ දවස්වල නිමේශා කරන්නේ මොනවගේ කාර්යයක් ද කියලා.

නිමේශා :- මම මේ දවස්වල දකුණු ආසියානු පවුල් සහ තරුණ කණ්ඩායම් කිහිපයක් එක්ක ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ගැන සොයා බලමින් කාලය ගත කරනවා. එම පවුල්වල දරුවන් පමණක් නොව වැඩිහිටියන්ටත්  තරුණ පරම්පරාවටත් විවිධ මානසික ගැටලු බලපාන ආකාරය වෙනුවෙන් වැඩ කරගෙන යනවා. ආසියාතිකයන්ට ම ආවේණික වූ ජීවන රටාවක් තියෙන  නිසා දරුවෝ සහ දෙමව්පියෝ කියලා බටහිර සමාජයේ වගේ අපිට වෙන්කරලා අඳුනගන්න බැහැ. ඊට අමතරව අන්තර්ජාල පාඨමාලාවක් කරනවා. මානසික සෞඛ්‍ය පිළිබඳ විස්තරාත්මක වැඩසටහන් ඇති යූ ටියුබ් නාලිකාවක් ඉදිරි කාලයේ දී ආරම්භ කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.  මීට අමතරව ආසියාතික තරුණ තරුණියන් වෙනුවෙන් සහාය ලබාදීමට  කණ්ඩායමක් ද ගොඩනැගීමට උත්සාහ කරනවා.

ෂෙහානි :- මානසික සෞඛ්‍යය නගාසිටුවීම පිළිබඳ කතා කළ යුතු මොහොතක ඔබ වගේ තරුණ පරපුර ඒ සඳහා දායකත්වය සැපයීම ඇත්තටම සතුටට කරුණක්. ඔවුන්ගේ  අත්දැකීම බෙදා ගැනීමට ඔබ ඉදිරියට  පැමිණීම අගය කළ යුතුමයි. නිමේෂා ඔබ සඳහන් කළ ඉදිරියේ දී කරන්නට යන අධ්‍යාපන වැඩසටහන මොනවගේ ප්‍රජාවකට උපකාරී  වෙනවද?

නිමේශා :- දකුණු ආසියානු ප්‍රජාවට ප්‍රයෝජනවත් වෙයි. මේ යූ ටියුබ් නාලිකාවට අමතරව මානසික ප්‍රජා සංවර්ධනය පිළිබඳ මම කරපු සම්මන්ත්‍රණ මේ පිළිබඳ හදාරන්නට කැමති කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි.

ෂෙහානි :- මේ සාකච්ඡාව දෙවැනි පරම්පරාවට ඉතා වැදගත් වන අතර ඔබ ඊට කදිම උදාහරණයක්. මට මතකයි අපේ සාකච්ඡාවල දී ඔබ නවසීලන්තයේ හැදී වැඩීම ගැන ඉතා ලස්සන මතකයන් තියෙනවා කියලා. ඒ වගේම ඔබ   මුහුණ දුන් අපහසුතාවයන් ගැනත් කිව්වා. ඉතින් මේ පිළිබඳව බොහෝ විට අපි කතාබහ වෙනවා අඩු නිසා ඔබගේ කතාව  අද කතා කරමුද?

නිමේෂා :- නවසීලන්තයට පැමිණි දෙවැනි පරම්පරාවේ කෙනෙක් හැටියට මාගේ පසුබිම අනිත් අය දැන ගැනීම ඉතාමත්ම වැදගත්. නර්තනය, ගායනය, පියානෝ වාදනය හා  උපකාරී පන්තිවලට පවා මම ගියා. අපිට ආවේණික සිංහල කෑමවල රස මම දන්නවා. මම ඒ වගේ කොටස්කාරයෙක් වී හමාරයි. දැන් ඒවා රසවත් මතකයන් වුණත් ඒ කාලේ මෙහෙට හුරු වෙන්න අමාරු වුණා. එකම රටාවකට  මගේ ජීවිතේ බාර ගැනීමට පුළුවන් වුණේ නෑ. පාසලේ දී ඒක මට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වුණ. ඒකට ප්‍රධාන දෙයක් වූණේ අපි කරපු සමහර දේවල් ගැන එයාලට කියන්න අවශ්‍ය දැනුම හෝ වචන මගේ ළඟ තිබුණෙ නැහැ. වෙලාවකට වැරදි වැටහීම් වගේම හදුනා ගැනීමේ දී සිදුවූ අතපසුවීම් නිසා මට බියෙන් ජීවත් වීමට පවා සිදු වුණා. බොහෝ වෙලාවට සංස්කෘතීන් දෙකකට හුරු වීමේ දී එක සංස්කෘතියක ආරක්ෂිත සහ හරියි කියන දේ අනිත් සංස්කෘතිය තුළ වෙනමම අත්දැකීමක් තියෙන බව පෙනුනා. මේ හරි වැරදි පිළිබඳව තියෙන මතවාදයන් නිසා අපි අපි ගැනම අවිශ්වාස කරනවා.

මේ වගේ පසුබිමක අලුත් ජීවන රටාවකට හුරු වන විට සමහර වෙලාවට මානසිකව මම  වැටුණු අවස්ථා ද නැතුවාම නොවේ.  මට  තේරුණ විදිහට ඒ වගේ තත්ත්වයන්ට කුඩා කාලේ ඉඳලම මූණ දුන්නම වෙනත් ආකාරයක අත්දැකීම් රටාවකට නිරායාශයෙන්ම අපිව යොමු කරවනවා. අද මට මේ ගැන කතා   කරන්න ලැබුණු එකත් සතුටු යි.

ෂෙහානි :-  එහෙනම් ඔයා මේ අවුරුදු කිහිපයේ  මුහුණ දීපු සංස්කෘතිකමය වෙනස්කම් මොනවද?  යෞවනයන් කතා කරන හරි මූණ දෙන ගොඩක් පොදු ප්‍රශ්න කිහිපයක් ගැන අපි කතා කරමු.

නිමේශා :- ඔයා පැහැදිලි කළා වගේ රටක සංස්කෘතිය කොහොමත් හොඳ නරක විදියට වෙන් කරන්න බැහැ. තියෙන්නේ එකිනෙකට ආවේනික වූ වෙනස්කම් විතරයි. උදාහරණයක් විදියට පන්ති කාමරය හා ගෙදර යන දෙක ගත්තහම පන්ති කාමරයේ දී අපි අත් උස්සනවා මොනව හරි දෙයක් කියන්න කැමතිනම්. ඒත් මේ රටේ ඒක ගොඩක් වෙනස්. ඉක්මනින්ම කලහාකාරී විදිහට ගුරුවරයාට උත්තර  දෙන්න උත්සහ කරනවා. මේ විදියට අපි ගෙදරදි කෑගැහුවොත් දෙමව්පියෝ එකට කැමති නැහැ. ඒ වෙනස අපිට ඒක එක්තරා අභියෝගයක්. බාගදා ඒ වගේ ඉදිපත් වි කෑ ගහලා කතා කළේ නැත්නම් එවැනි දරුවන් පාසල් පද්ධතිය තුළ කතා නොකරන, ඉදිරියට එන්නේ නැති, සහභාගීත්වය අඩු  කෙනෙක් විදිහට හංවඩු ගැහෙනවා. මේ තත්ත්වය ඒ දරුවාගේ අනාගතයට විවිධ අන්දමින් බලපාන්න පුළුවන්. ඉදිරියේ දී රැකියා කරන ස්ථානයේ දී වුණත් මේ පසුබෑම බලපාන්න පුළුවන්.

මීට අමතරව  බහුලව අපි මුහුණ දෙන ප්‍රශ්නයක් තමා  අප ජීවත් වන සමාජ රටාව සහ අපගේ සුදු යහළුවන්ගේ පවුල්වල ජීවන රටාව අතර තියෙන වෙනස. මෙහේ පාසල් ජීවිතේ තියෙන සුලබ දෙයක් තමා ඉස්කෝලේ ඇරුණම කන්න මොනාහරි අරගෙන පාරවල්වල එහෙ මෙහෙ  ඇවිදින එක. ඒ වුණාට අපි පුරුදු වෙලා ඉන්නේ  ඉස්කෝලේ ඇරුණු ගමන්ම ගෙදර යන්න. සුදු යාලුවෝ එයාල එක්ක ඇවිදින්න යන්න කතාකලාම අපි අපහසුතාවයට පත්වෙනවා. ඉඳලා  හිටලා හරි යාළුවෝ එක්ක එළියට ගියත් ඉක්මනින්ම ගෙදර යන්න ඕන එකයි දෙමව්පියෝ බනී ද කියන එකයි මතක් උනාම සුදු යාළුවෝ ලබන විනෝදය අපිට ලබාගන්න බෑ. මේ වගේ දේවල් මග හරින නිසා පහුවදා ඉස්කෝලෙ  ගිහාම යාලුවෝ එක්ක අපිට කතා කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා එයාලගේ කතාවලට අපිට සම්බන්ධ වෙන්න බෑ. ඉතින් අපිට සමහර දේවල් මේ විදිහට මගහැරෙන නිසා   අපි එයාලගෙන් වෙනස් විදියට හැම වෙලාවෙම පෙනෙනවා. පාසැල් ජීවිතය කියන්නේ මේ වගේ ලස්සන මතකයන්ගේ එකතුවක්. මේ අත්දැකීම් අපිට මග හැරෙනවා කියන්නේ ඒ ලස්සන මතකයක් අපට නැති වෙනවා.

ෂෙහානි :- ඔයාගේ කතාව හරිම රසවත්. මොකද මටත් ඔයාගේ වයසෙම දුවෙක් ඉන්න නිසා.  ඔයා කියන සමහර දේවල් දුව මාත් එක්ක කතා කරනවා. විශේෂයෙන්ම Sleepover කියන කතාව පිළිබඳව නිතර නිතර කතා කරනවා. නමුත් මගේ තීරණය තාම වෙනස් වෙලා නෑ. ඇත්තටම මේ වෙනස්කම් කොතරම් අභියෝගාත්මක ද කිව්වොත් මේ සංස්කෘතික වෙනස්කම් තුළින් අපි අපේ දරුවන්ට උරුම කරන දේ ඉදිරියට ගෙන යාම ඉතාම අසීරුයි කියලා මට හිතෙනවා. මේවා එකිනෙකට වෙනස් වූ අන්ත දෙකක්.

නිමේශා :- ඒක ඇත්ත. මේ වෙලාවේ යහපත් ජීවිතයක් හොයාගෙන පවුල, සංස්කෘතිය, යාළුවන් අතහැර මේ රටට  සංක්‍රමණය වීම ඔබ මවක් ලෙස දකින්නේ කොහොමද කියලා මම දැනගන්න කැමතියි.

ෂෙහානි :- මට හිතෙන්නේ සමහර අභියෝග තවමත් තියෙනවා. ඒවා  තාමත් තේරුම් ගන්න උත්සහ කරනවා. සමහර දේවල්වලට උත්තර හොයාගන්න බැහැ. ඒවා මම අභියෝගයක් විදියට දකිනවා. මගේ දෙමවුපියන් හා පවුල් අතහැර මේ අවුරුදු තිහක ජීවන රටාව තුළ මගේ සහෝදරියත්, සුන්දර මතකයන්, අපි එකට එකතු වී කරපු දේවල් හැම දෙයක්ම දාලා  මෙහෙට ආවා.  මෙහේ කරන සාමූහික වැඩවලට මම සහභාගි වුණත් ඒ අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස්. මම මේ කියන්නේ හොඳ හෝ නරක නෙමෙයි .වැඩ කරන  ආයතනවලත් මේ වෙනස තියෙනවා. මගේ අවුරුදු විසිපහක තිහක අත්දැකීම්වලින් හොඳටම තේරෙනවා මම තාමත් ඉගෙන ගනිමින් ඉන්නවා කියලා. මගේ පළමු අවුරුදු 10 ඇතුලේ මම ලංකාවේ අයත් එක්ක කරට කර වැඩ කරලා තියෙනවා. සමහර වෙලාවට එකම භාෂාව කතා කරන, අපි වගේ දකින පිරිස ඇසුරු කිරීමට මම බොහොම කැමතියි. මම නවසීලන්තයේ නොසිටියත් අදටත් සමහර බැඳීම් ඒ විදිහටම පවත්වාගෙන යනවා. ඒවා   ඉතාම ස්ථිර බැඳීම්. සමහර විට අපි ගොඩක් දේවල් කැප කරලා ඉවරයි. නමුත් අදටත් සමහර දේවල්  හා ඒ බැඳීම් අපි තවමත් තදින්ම  වැළඳ ගෙන ඉන්නවා. ඒත් අපිට හා දරුවන්ට වඩා යහපත් දෙයක් කිරීමේ සිතුවිල්ල පෙරදැරි කරගෙන මම ගොඩක් දේවල් අත්හැරලා තියෙනවා. අපි අපේ පවුලේ අය අතහැරලා මෙහෙ ආවෙ  දරුවන්ට ඉතා හොඳ අනාගතයක් හදලා දෙන්න. මේක ගොඩක් සංක්‍රමණිකයන්ට පොදු  දෙයක් වෙන්න පුළුවන්.

නිමේෂා :- තරුණ තරුණියන්ට මෙවැනි අභියෝග ජය ගැනීමට දෙමාපියන් ලෙස ඔවුන්ගේ කාර්යය කෙසේද යන්න ඔබට පැහැදිලි  කළ හැකිද?

ෂෙහානි :- සමහර අවස්ථාවල දී දෙමාපියන්ට යථාර්ථය දරාගන්න බැරි වෙන්න පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් දකින්න නොහැකි වෙන්නත් පුළුවන්. නමුත් මේ පිළිබඳව ඉතාමත් විවෘත මනසකින් බැලුවොත් මෙයට උත්තරයක්  හොයා ගන්න පුළුවන්. මෙහේ හැදී වැඩෙන දරුවෙක් ලෙස ඔවුන්ගේ බය යන හැඟීම නිදන්ගත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම සංක්‍රමණික දරුවන්ට එළියේ වටපිටාව වටහා ගැනීමට සහ ඒ තුළ හරියාකාරව ජීවත්වීමට  ඉගැන්වීම දෙමාපියන්ගේ යුතුකමක් විදියට මම දකිනවා. සෑම අවස්ථාවකම දරුවන්ට හිතෙන්න පුළුවන් අපි කරන දේ හරි ද  වැරදි ද කියලා. ඒ වගේ අවස්ථාවල දී දෙමාපියන්ට දරුවන් සමග  ආදරණීය කතාබහක යෙදෙන පුළුවන් නම් එය ඉතා වැදගත් දෙයක් ලෙස මා දකිනවා.

නිමේෂා :- දරුවන්ට මඟ පෙන්වීම අත්‍යවශ්‍යම දෙයක්. ඒ වගේම දරුවන්ට තමන්ගේ හැඟීම්, අදහස් කියන්න අවස්ථාවක් ගෙදරදීම ලැබෙනව නම් ඒක ගොඩක් හොඳ දෙයක්. ශ්‍රී ලාංකාවේ සමාජය තුළ ඒ වගේ දේවල් දකින්න තියෙන්නෙ අඩුවෙන්. අපි දරුවන්ගේ හැඟීම් ගැන ගැඹුරින් කතා කරන්නේ නෑ. ඒක ශෝචනීය තත්ත්වයක්. අපි හිතනවට වඩා දකිනවට වඩා ළමා මනස හැඟීම් එක්ක සටන් කරන අවස්ථා ඇති කියලා මට හිතෙනවා. වැදගත්ම දේ තමයි ඒ හැඟීම් හඳුනා ගැනීම හා තම හැඟීම් නිදහසේ කතා කිරීමට අවස්ථාවක් ලබා දීම. ඒ වගේම ඒ පිළිබඳව හදාරන්න පුළුවන්. මගේ දැනීමේ හැටියට අපි මානසික සෞඛ්‍ය පිළිබඳව ඉතා අඩුවෙන් කතා කරන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි “Emotional Intelligence Parenting” courses, “Emotional Well Being” වගේ මාතෘකා තෝරා ගෙන ඒවා හදාරන්න උත්සාහ කරන්න කියලා.

ෂෙහානි :- අපි හැමෝටම මේවා අඩු වැඩි වශයෙන් බලපානවා. පළමු පරම්පරාවේ  කෙනෙක් හැටියට මම මගේ කාර්ය භාර්ය හා මම අයිති කොතැනට ද යන්න තවමත් සොයමින් ඉන්නවා. නිමේශා ඔබේ අනන්‍යතාවය ගැන ඔබ දකින්නේ කොහොමද? ඔයා ශ්‍රී ලාංකිකයෙක් ද නැත්නම් Sri Lankan Kiwi ද ? මම මේකට පුංචි උදාහරණයකුත් කියන්නම් කෝ. මගේ දුව  ඉස්කෝලේ දි චිත්‍රයක් ඇඳලා ඒක පාට කරන්න දුව යාලුවගෙන් ඉල්ලලා තියනවා  skin  colour පාට පැන්සලක්. යාළුවා දීලා තියෙන්නේ දුඹුරුපාට පැන්සලක්. දුව යාලුවා දුන්න පාට පන්සලට කැමැත්තක් දක්වලා නැහැ.දුව skin colour කියන්නේ රෝස පාටට. මේක  මම ලබපු අත්දැකීමක්. ඉතින් මම ඔයාගෙන් දැනගන්න කැමතියි දරුවෝ මේ වගේ සංස්කෘතික ගැටලු එක්ක  පොරබදිනවාද? මේකෙ තියෙන ඇත්ත මොකක්ද කියලා.

නිමේෂා :- මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බා. මම හැදුනේ වැඩුනේත්  ඒ වගේ පරිසරයක. නමුත් අද මම ශ්‍රී ලංකන් කිවි කෙනෙක් විදියට හඳුන්වා දෙනවාට කැමැති.  ඒ වගේම මගේ අනන්‍යතාවය තියාගෙන මගේ යාළුවන් එක්ක සම්බන්ධකම් යාළුකම් පවත්වාගෙන යනවා. ඒ නිසා මට මා ගැනම ආඩම්බරයි. මේක කියවන කෙනෙක්ට මම කියන්න කැමතියි ඔබ ඔබ විදියට තමන්ව පවත්වාගෙන යන්න. ඔබට සංස්කෘතීන් දෙකක් උරුම වෙලා තියෙනවා. ඔබ රටවල් දෙකටම අයති. ඉතින් ඔබ ඔබ ගැනම ආඩම්බර වෙන්න. ඔබේ අනන්‍යතාවය, අභිමානය රැගෙන ඉදිරියට යන්න. ඒ තුළින්  ඔබට ද සාමාන්‍ය පුද්ගලයකු විදිහට සමාජයේ ජීවත් වෙන්න පුළුවන්.

ෂෙහානි :- මට අහන්නත් සතුටුයි. ඔබ අද ඉන්න තැන  ඔබටම ආඩම්බර විය හැකි තත්ත්වයකට තමා අභිමානය රඳවා ගැනීම පිළිබඳව.

නිමේශා :- තරුණය පරම්පරාවට සහාය දැක්වීමට ඔබ දෙමාපියන්ට යෝජනා කරන්නේ මොකක්ද?

ෂෙහානි :- ඔයා  කිව්ව හැමදේකටම මටත් එකග වෙන්න පුළුවන්. දරුවන්ට  සුරක්ෂිත  වටපිටාවක් සලසා දීම හා ඒ සඳහා සහාය දීම යන කාරණාවේ දී උදව් කිරීම, ආවේගශීලී නොවීම, සෘණාත්මක නොවීම, ඒවට ප්‍රතිචාර දැක්වීමේදී කර්කශ නොවීම, යමක් වැරදි ලෙස දකී නම් ඊට බැන වැදීම හෝ අපහසුතාවයට පත්වන ආකාරයට ප්‍රතිචාර නොදැක්වීම මාත්   තදින්ම විශ්වාස කරනවා. ඒ වගේම සුබවාදී ආකල්ප ඇතිව  ඉදිරියට යා යුතුයි. අපි සියලු දෙනා අතින්ම වැරදි සිද්ධ වෙනවා. දරුවොත් ඒ වගේ. එයාලගෙන් ඉගෙනගනිමින් අත්දැකීම් ලබා ගනිමින් යන ගමනේදී ඊට ප්‍රතිචාර දැක්වීමේ දී දෙමාපියන් කල්පනාකාරී විය යුතුමයි. අකමැත්තෙන් වුණත් ඇත්තට මුහුණ දීමට ධෛර්යය දීම හා දඬුවම් නොකර ඇත්ත ඇති සැටියෙන් දැකීමට දරුවන්ට හුරු කිරීම දෙමාපියන්ගේ වගකීමක්. “මොනදේ වුණත් ඔබ ඇත්ත කිව යුතුයි” යන ආකල්පය හිත් තුළට කාවැද්දීම අසතුටුදායක අවසානයක් ද නොවි යුතුයි. මේ කාරණය තරුණ පරපුරත් එක්ක වැඩ කිරීමේ දී ඉතාමත් අත්‍යවශ්‍ය හා යහපත් කටයුත්තක් විදියට මම දකිනවා. එය හැම අතින්ම විශ්වාසය මත ගොඩනැගෙන සම්බන්ධතාවයක් විය යුතුමයි.

අවසාන වශයෙන් මම කියන්න කැමතියි  කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන දේ කියන්න ඉඩහරින්න. දෙමාපියන්ට  දරුවන් ගැන  වගකීම තියෙනවා. එය  ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු දෙයක්. ඒ වගේම වැඩිහිටියකු ලෙස අප තුළ යම් ආකාරයක සංයමයක් ඇති කර ගැනීම ඉතාම වැදගත්. අනිත් අතට වැඩිහිටියන් ලෙස දෙමව්පියන් ද එක්තරා ආකාරයක පීඩනයකට ලක්වෙන්න පුළුවන්. එය සැඟවී තිබෙන්න පුළුවන්. ඒ පිළිබඳව කතා කරන තැන් අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වය තේරුම් ගන්න ඕන.

නිමේශා :- ඔව්. ඒක ඒ තරම් ලේසි දෙයක් නෙමේ. ඔයා කිව්වා වගේ දකුණු ආසියානු පසුබිමක  ඉන්න අය මානසික සෞඛ්‍යය ගැන කතා කිරීමට උනන්දුවක්  නෑ. මේකට හේතුව ඔයාගේ දැනගන්න කැමතියි.

ෂෙහානි :- ඒක සංස්කෘතිකමය දෙයක්ද කියන එක ගැන මම  සමහරක් අයගෙන් අහන අවස්ථා ද තියනවා. අපි මානසික රෝග සහ මානසික සෞඛ්‍ය අතර වෙනස්කමක් දකින්නේ නෑ. ඒ කාරණය දකුණු ආසියාව පුරාම දකින්නට තියෙනවා. අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව  ඇති දත්ත දිහා බලලා ඒ ගැන විග්‍රහයක් කිරීම පමණයි. මොකද අපි බලන කෝණය අනුව හඳුනාගැනීමත් වෙනස් වෙන්න පුළුවන්. සංක්‍රමණිකයාට, සංක්‍රමණය වගේම සංක්‍රමණික රටට හැඩ ගැසීමේ දී එක් අතකින් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන තවදුරටත් කථා කරන්න බැහැ. මොකද ලංකාවේ සියල්ලම අතහැර දමා ඊට වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් අපි මෙරටට සංක්‍රමණය වූ නිසා.

බෞද්ධ අපි කර්මය ගැන විශ්වාස කරනවා. මානසික රෝගවලට ගොදුරු වූ බොහෝ දෙනා ඉතා ඉක්මනින්ම සුව වීමට නම් ඔවුන්ගේ  තත්ත්වය තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. අපිට මේ පිළිබඳව විවිධ  අන්දමින් කතා කරන්න පුළුවන්. ඒත් ඒ සියල්ලම නිවැරදි වෙන්නේත් නෑ. ඒ තුළින් අදහස් කරන්නේ අපි එකම දේක එල්බගෙන සිටීම නොව හරි දේ හරි විදියට දකිමින් ඒ උදව්වෙන් ඉදිරියට යෑමයි. බටහිර රටක ජීවත් වුව පමණින් හැමදේමත් නරක නැහැ. එකෙන් හොඳ නරක වෙන්කර හඳුනාගෙන ජීවත් වීම නුවණට ඉතා හුරුයි.

නිමේශා :- මේ තුළින් තේරුම්  ගන්න ඕනේ අපේ යහපත සඳහා මේ අන්ත දෙකම යොදා ගන්නේ කොහොමද කියලා. මේ කතාබහ අවසන් කිරීමට කලින් මම කියන්න කැමතියි මානසික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යයනය කිරීම යුගයේ අවශ්‍යතාවයක්. මෙය  පුද්ගලයන්ට විවිධ අන්දමින් බලපාන්න පුළුවන්. මේ ගැන නිසියාකාරව සොයා බලා විසඳුමක් ලබා ගත යුතු දෙයක්. ඔවුන්ටම ආවේණික, විවිධ අවස්ථාවලට ප්‍රතික්‍රියා කිරීමේ ක්‍රමවේද  තියෙනවා. ඒක  හුදෙක්ම අයහපත් ප්‍රතිඵලයක් නොවේ.එය  සංක්‍රමණික පළමු පරම්පරාව හා සංක්‍රමණික දෙවැනි පරම්පරාව අතර වෙනස්කම් හදුන්නා ගැනීම හා විසදුම් සොයා ගැනීම  අතර දෝලනය වන තීරණාත්මක වගකීමක්. 

මේ සංවාදයට අනුව ඔබට යමක් අසන්නට ඇත්නම් අප අමතන මෙන් කාරුණිකව ඉල්ලන අතර ඔබගේ අදහස් ද බලාපොරොත්තු වෙනවා.

මෙහි සම්පූර්ණ වීඩියෝ සාකච්ඡාව මෙම link එක හරහා නැරඹිය හැක.

Contacts

Need to talk? Free call or text 1737 any time for support from a trained counsellor,
Lifeline – 0800 543 354 (0800 LIFELINE) or free text 4357 (HELP),
Suicide Crisis Helpline – 0508 828 865 (0508 TAUTOKO),
Healthline – 0800 611 116.
Samaritans – 0800 726 666 

සාකච්ඡාව මෙහෙය වූයේ….


Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.