අද අප සාකච්චා කරන්න යන්නේ බොහෝ පවුල්වල තිබෙන නමුත් රෝගයක් බව නොදාන්න රෝග දෙකක් සම්බන්ධව. එම රෝග දෙක,
(1) OCD (Obsessive-Compulsive Disorder) සහ (2) OCPD (Obsessive-Compulsive Personality Disorder)
OCD (Obsessive-Compulsive Disorder): ජනගහනයෙන් 2–3% සහ OCPD (Obsessive-Compulsive Personality Disorder): ජනගහනයෙන් 3–8% පමණ තිබෙනවා.
OCPD personality disorder අතිශය පොදු personality disorder එකක්.

අප සමාජයේ නීති ගරුකව, සදාචාරාත්මකව, සැමවිටම පිළිවෙලකට තම දරු මුණුපුරන්ට උපදෙස් දෙමින් නියමිත සැළසුමකට ජීවත්වීම රෝගයක් නොවේ. නමුත් එකී ගුණාංගවලට අන්තවාදී ලෙස ඇබ්බැහිව තම පවුල්, පෞද්ගලික හා ජන ජීවිතය අවදානමකට ලක්වන හැසිරීම අපගේ අවධානය යොමුවිය යුතුය. OCD හා OCPD දෙවිධාකාර රෝගයන් ගැන අප මෙහිදී සැලකිලිමත් විය යුතුය. රෝගී හා නිරෝගී පුද්ගලයා හඳුනා ගැනීම අපහසු වන මෙවැනි අවස්ථාවක වෛද්‍ය සහාය ගතයුතුය.
ඕක්ලන්ඩ් නගරයේ ඔටාහු වෛද්‍ය මධ්‍යස්ථානයේ සායනික අධ්‍යක්ෂක වෛද්‍ය අශෝක ඩයස් මහතා සමග අද කරන සාකච්ඡාව ඒ ගැනය.
මිනිසුන් බොහෝ විට එකිනෙකට පටලවා ගන්නා නිසා Obsessive-Compulsive Disorder (OCD) -හා Obsessive-Compulsive Personality Disorder (OCPD) කියන රෝග දෙකෙහි වෙනස දැන ගැනීම ඉතා වැදගත්,’ කියමින් වෛද්‍ය අශෝක ඩයස් මහතා සාකච්ඡාව පටන් ගත්තේය. ‘සමාන වගේ පෙනුණත් හැසිරීම් ඇතිවීමට හේතු වන මනෝවිද්‍යාත්මක කරුණූ අනුව මේ රෝග දෙක එකිනෙක වෙනස් වෙනවා.
Obsessive-Compulsive Disorder (OCD) — මෙවැනි අය තමන් කරන සමහර ක්‍රියා නැවත නැවත කරනවා. තමන්ගේ සිතේ පවතින අසහනය, අවුල්කාරී හැඟීම (anxiety) අඩු කරගැනීම සඳහා ඔවුන් එකම දේ නැවත නැවත කරනවා. අත සෝදනවා, දොර වහලද බලනවා, ගණන් කරනවා, නිතර භාවිතා කරන භාජන සෝදනවා වගේ නැවත නැවත කරන ක්‍රියා ඔවුන් කරනවා. මේවා ‘Compulsions’ (නිබන්ධිත ක්‍රියා) කියලා හඳුන්වනවා .

ක්‍රියා කරන ආකාරය (Mechanism) මෙසේයි.
එම පුද්ගලයාගේ මනසට අනවශ්‍ය, නතර කරන්න අමාරු, කරදරකාරී, සිතට බල කරන අනිවාර්යතා සිතුවිලි (Obsessions) එනවා. උදාහරණයක් ලෙස, මගේ අත් අපිරිසිදු වෙලා ඇති, මම දොර ලොක් කරලා නැතිවෙන්න පුළුවන්, මේ භාජන හරියට හේදිලා නැහැ වගේ සිතුවිලි නිසා සිතේ අවුල සහ දෙගෙඩියාව ඇතිවෙනවා. එම කනස්සල්ල අඩු කරගැනීමට පුද්ගලයාට එම ක්‍රියාවම (Compulsions) නැවත නැවත කරන්න කියලා සිත බල කරනවා. ඉතින් නැවත නැවත අත් සෝදනවා, දොර ලොක් ද පරීක්ෂා කරනවා. භාජන සෝදනවා ,ගෙදර තිබෙන දේවල් විශේෂ ක්‍රමයකට පිළිවෙලට සකස් කරනවා. එහෙම කළාට පස්සේ ටික වෙලාවකට පමණක් හිතට සැනසිල්ලක් ලැබෙනවා. නමුත් ඉක්මනින්ම ඒ කනස්සල්ල නැවත පැමිණෙනවා. ඒ නිසා මේක මෙහෙම විෂම චක්‍රයක් (vicious circle) වගේ එය කැරකෙනවා.
Obsessions (අනවශ්‍ය සිතුවිලි) → Anxiety (භය / කනස්සල්ල) → Compulsions (නැවත නැවත කරන ක්‍රියා) → Temporary relief (කාලික සැනසිල්ල) → නැවත අනවශ්‍ය සිතුවිලි.
OCD ඇති බොහෝ රෝගීන්ට තමන් කරන හැසිරීම තර්කානුකූල නොවන බව දැනුනත් එය නතර කරගැනීමට ඔවුන්ට බොහෝවිට නොහැකිවීම තමයි මේ රෝගයේ ප්‍රධාන ගැටළුව.

අනිත් රෝගය තමයි (Obsessive-Compulsive Personality Disorder) OCPD.
යම් කෙනෙක් පිළිවෙළට, පිරිසිදුව, සියල්ල නීතියට අනුව යමක් කරනවා නම් ඔහුව ‘හොඳ පුරුදු තියෙන පුද්ගලයෙක්’ ලෙස අපි සකකනවා. OCPD යනු මේ ගුණාංග අධික ලෙස තදින් අල්ලාගෙන සිටින තත්වයක්. මෙහිදී අපි දකින ප්‍රශ්නය පිරිසිදුකම නොවේ. එහි ‘අධිකතාවය’ සහ ‘අනම්‍යතාවය’.
OCPD ඇති පුද්ගලයන් බොහෝවිට මෙසේ විශ්වාස කරනවා.
අතිශය උසස් ප්‍රමිතීන් තබාගෙන ජීවත්වන නිසා ‘පරිපූර්ණ’ නොවන දේවල් ඔවුන් ඉවසන්නේ නැහැ . වැඩක් ‘නිවැරදිව’ කරන්නේ තමන් පමණක් යන මතය නිසා ඔවුන් වෙනත් කෙනෙකුට තමන් කළයුතු වැඩ පවරන්න අකැමතියි. බාහිරව බලන විට එම තැනැත්තා සාර්ථක, ඉතා පිළිවෙළට, යහ පාලනයකින් යුක්ත පුද්ගලක් බව තමයි කාටත් පෙනෙන්නේ . නමුත් ඇතුළත පවතින්නේ නිරන්තර ආතතියක්. විවේකයෙන් සැනසිල්ලෙන් ජීවත් වීමට, යමකින් සෑහීමකට පත් වීමට ඔවුනට අපහසුයි. ‘දේවල් කළ යුත්තේ හරිම නියම ක්‍රමයටයි, ‘ ‘පිළිවෙල සහ පරිපූර්ණත්වය හැමවිටම අත්‍යවශ්‍යය,’ ‘සියල්ල සම්පූර්ණයෙන් හරි නැත්නම් එය කිසිම විදියකට පිළිගන්න බැහැ.’ ඔවුන්ගේ මතයය.
පහත සදහන්වන්නේ උදාහරණ කිහිපයකි.
- ගෙදර හෝ වැඩකරන තැන දේවල් ඉතා නිවැරදිව සහ සමානව පිළිවෙලට සකස් කර තැබීම
- දැඩි නියමිත දින චරියාවක් (strict routines) පවත්වාගෙන යාම
- තමන්ගේ වැඩ නැවත නැවත අධික ලෙස පරීක්ෂා කිරීම
- සියල්ල ඉතාම සංවිධානාත්මක ලෙස තබා ගැනීම
- ‘පරිපූර්ණ’ වන තුරු එකම වැඩ නැවත නැවත කිරීම
OCPD ඇති පුද්ගලයාට පිළිවෙළට වැඩ කිරීම තමන්ගේ කැමැත්ත පමණක් නොව, අභ්‍යන්තර අවශ්‍යතාවයක්. එවැන්නෙකුට සුළු අවිනිශ්චිතභාවයක්වත්, අවිස්වාශයක්, වෙනස් ක්‍රමයක්වත් ඉවසීම අපහසුයි. යමක් තම ක්‍රමයට නොවන්නේ නම් ඔවුන් තුළ ආතතිය, කෝපය හෝ අසහනය ඇති වෙනවා. උදාහරණයක් ලෙස හැන්දක් , කෝප්පයක් ‘වැරදි’ තැනක තිබීම, ඇඳුම් වෙනස් ක්‍රමයකට තැබීම, කාලසටහන සුළු වෙනස් වීම ඔවුන්ට විශාල ප්‍රශ්න ලෙස දැනෙනවා . පීඩනයට පත්වෙනවා.’

OCD වලින් OCPD අතර වෙනස මෙසේ කෙටි කර පෙන්වන්න පුළුවන්.
| ලක්ෂණය | OCD | OCPD |
| නැවත නැවත කරන හැසිරීම් ඇතිවීමට හේතුව | අනවශ්‍ය සිතුවිලි නිසා ඇතිවන භය සහ කනස්සල්ල | පරිපූර්ණත්වය සහ සියල්ල පාලනය කරගැනීමට ඇති දැඩි අවශ්‍යතාවය |
| තමන්ගේ හැසිරීම ගැන අවබෝධය | බොහෝවිට තමන් කරන දේ තර්කානුකූල නොවන බව දන්නවා | බොහෝවිට තමන් කරන දේ හරි බව විශ්වාස කරනවා |
| හැඟීම් | තමන්ගේ රෝග ලක්ෂණ නිසා කනස්සල්ලට පත්වෙනවා | තමන්ගේ නීති හා සම්මත ගැන බොහෝවිට ආඩම්බර වෙනවා |
| රෝග වර්ගය | කනස්සල්ල සම්බන්ධ මානසික රෝගයක් | පෞරුෂ (Personality) සම්බන්ධ මානසික අක්‍රමතාවයක් |
පුද්ගලයෙකුගේ දෛනික ජීවිතයට බාධා සිදුකරන මෙම රෝග ඇතිවීමට හේතු කෙටියෙන් මෙසේය.
OCD – Obsessive Compulsive Disorder.
- මොළයේ රසායනික සමානුපාතයේ වෙනස්වීම් (Brain chemistry / Neurotransmitters).
- (Genetics)- බොහෝවිට පවුල්වල පරම්පරාවෙන් පැමිණිය හැකි රෝගයක් ලෙසද සැලකේ.
- මානසික ආතතිය හෝ ජීවිතයේ වැදගත් සිදුවීම් (Stress or life events)
OCPD – Obsessive-Compulsive Personality Disorder.
නිශ්චිත එකම හේතුවක් තවම පැහැදිලිව හඳුනාගෙන නැහැ. බොහෝ විද්වතුන්ගේ අදහස අනුව,
පුද්ගලයාගේ පෞරුෂ ලක්ෂණ, ළමා වියේ හැදීවැඩීම සහ පවුල් පරිසරය, වංශානුගත (genetic) බලපෑම් වැනි කරුණු එකට එක්වී කාලයත් සමඟ පුද්ගලයාගේ පෞරුෂ රටාවක් ලෙස OCPD වර්ධනය වෙන්න පුළුවන්. ළමා වියේ හැදීවැඩීම හා අත්දැකීම් මෙම තත්ත්වය වර්ධනය වීමට වැදගත් භූමිකාවක් ඉටු කරයි.
උදාහරණ ලෙස:
- දෙමව්පියන්ගේ ඉතා දැඩි පාලනයක් යටතේ හැදීවැඩීම, නීතිය, විනය සහ පරිපූර්ණත්වය පිළිබඳ අධික අවධානය, කුඩා වැරදි සඳහාත් දඩුවම් ලබා දීම, දරුවා සම්පූර්ණයෙන් සහ හොඳින් යමක් කළ විට පමණක් ආදරය දැක්වීම හා යම් දෙයක් ඔවුනට ලබා දීම. මෙවැනි පරිසරයක වැඩෙන දරුවන්ට,. ‘වැරදි නොකර, සියල්ල පරිපූර්ණව සහ පාලනය යටතේ තබා ගැනීම තමයි තමන්ට අනුන්ගේ විවේචනයෙන් හෝ දඩුවම්වලින් බේරීමට ඇති හොඳම මාර්ගය,’ යන හැඟීම සහ විශ්වාසය දරුවා තුළ වර්ධනය වෙන්න පුළුවන් .
- පවුලේ බලපෑම (හැසිරීම් ඉගෙනීම)-දරුවන් බොහෝවිට දෙමාපියන්ගේ හැසිරීම නිරීක්ෂණය කරමින් එය අනුකරණය කර ඉගෙන ගන්නවා. දෙමාපියන්ට පහත සඳහන් ගුණාංග තිබේ නම් එවැනි පවුල් පරිසරයක වැඩෙන දරුවන්ටත් එම පෞරුෂ ලක්ෂණ කාලයත් සමඟ වර්ධනය විය හැක

ඉතා පරිපූර්ණත්වය සොයන ස්වභාවය, දැඩි නීති හා නියමයන්ට බැඳුණු හැසිරීම, හැඟීම් ප්‍රකාශ කිරීම අඩු බව, අධික පාලන රටාවක් නිවසේ ඇති කිරීම.
මෙවැනි රෝගීන්ගේ හැසිරීම ආදරණීයයන්ට කෙසේ බලපායිද යන ප්‍රශ්නය වෛද්‍ය අශෝක ඩයස් මහතා මෙසේ පැහැදිලි කළේ ය.
(OCPD) ඇති පුද්ගලයෙකු සමඟ ජීවත්වීම පවුලේ සාමාජිකයන්ට සහ ආදරණීයයන්ට බොහෝවිට ඉතා අභියෝගාත්මක වෙන්න පුළුවන්. ඒ ඔවුන්ට දැඩි පාලනයකට යටත්වීම, පරිපූර්ණත්වය පිළිබඳ දැඩි අවධානය සහ දැඩි නීති රීතිවලට මුහුණ දීම ඔවුන්ගේ දෛනික ජීවිතයට බලපාන නිසා ඔවුන් ඉතාමත් අතෘප්තිමත් ජීවිතයක් ගෙවන්න පුළුවන්.
මෙම OCPD පුද්ගලයින් තම ආදරණීයයන් කරන සෑම දෙයක්ම, එය කරන ආකාරය පිළබඳව නිරන්තරයෙන් විවේචනයට ලක් කරනවා. තමන් කියන ආකාරයටම එය කළ යුතුය යැයි බල කරනවා. කුඩා වැරදිත් නැවත නැවත පෙන්වා දෙනවා .
OCPD ඇති බොහෝ පුද්ගලයන් නීති, වැඩ සහ වගකීම් ගැන වැඩිපුර අවධානය යොමු කරන නිසා ඔවුන්ට ආදරය සහ උණුසුම් හැඟීම් ප්‍රකාශ කිරීම බොහෝවිට අපහසු වෙනවා .
ඒ නිසා ඔවුන්ගේ ආදරණීයයන්ව, මානසිකව නොසලකා හරිනවා වැනි හැඟීම, ආදරය, සෙනෙහස හෝ ප්‍රශංසාව අඩු බව, සම්බන්ධතාවය සහකාරී සබඳතාවයක් නොව වගකීමක් පමණක් වගේ හැඟීම වැනි හැඟීම් ඇතිවෙන්න පුළුවන්. ගැටුම් සහ තර්ක වැඩිවෙන්න පුළුවන්. ඉතා දැඩි සහ නම්‍ය නොවන (rigid) සිතුවිලි රටාවක් ඔවුන්ට තිබෙන බැවින් ඔවුනගේ සම්බන්ධතාවයන් තුළ නිතර විෂමතා සහ තර්ක ඇතිවෙන්න පුළුවන්. නැවත නැවත තර්ක සහ වාද, එකට තීරණ ගැනීමට අපහසු වීම හා ගෙදර පරිසරයේ තද පීඩනයක් සහ උණුසුම්භාවය අඩුවීම දකින්න පුළුවන්.
OCPD ඇති දෙමාපියෙකු සමඟ වැඩෙන දරුවන්ට දින චරියාව, කාල සටහන් හා ගෙදර දේවල් පිළිවෙලට තබන ආකාරය ආදිය ගැන සලකා බලන විට පරිපූර්ණව සිටිය යුතුය කියන දැඩි පීඩනය, අඩු ආත්ම විශ්වාසය හා තම හැඟීම් ප්‍රකාශ කිරීමට අපහසුවීම දක්නට ලැබෙනවා. සමහර දරුවන් අධික පරිපූර්ණත්වය සොයන පුද්ගලයන් බවට පත්වෙන්න පුළුවන්. තවත් සමහරු එයට විරුද්ධව කැරලිගසන ස්වභාවයක් දක්වන්නත් පුළුවන්.
මෙම පුද්ගලයන් සතුටින් සිටිනවාද යන කාරණය අශෝක ඩයස් මහතා මෙසේ පැහැදිලි කළේය.
OCPD ඇති පුද්ගලයාට තමන් කරන දේ නිවැරදියැයි පෙනේ. එවැන්නෙක් බොහෝවිට ‘මම හරියට කරන්නේ,’ යන විශ්වාසයෙන් සිටිමින් ගැටලුව අනෙක් අය තුළ යැයි සිතන්නට පුළුවන්. නමුත්, ඇතුළත සෑහීමකට පත් නොවීම, ආතතිය, සහ තනිකම ඇතිවීමට ඉඩ ඇත. පරිපූර්ණත්වය පසුපස දුවමින් ජීවිතයේ සැනසිල්ල අහිමි විය හැක.
Patients with Obsessive-Compulsive Disorder (OCD) usually have insight and recognize that their thoughts are excessive and their behaviours (such as checking or washing) are unreasonable. These symptoms are described as ego-dystonic, meaning they feel alien, unwanted, and inconsistent with the person’s own beliefs.
Patients with Obsessive-Compulsive Personality Disorder (OCPD) usually lack insight and believe their perfectionism, control, and rigidity are correct and justified. These traits are ego-syntonic, meaning they align with their personality and values. They often do not see a problem unless it leads to difficulties in relationships or impairment at work.
ප්‍රතිකාර තිබෙනවද ?
OCD තියෙන අය තමන්ටම එය කරදර නිසා වෛද්‍ය උපදෙස් හොයනවා. එයට ප්‍රතිකාර තිබෙනවා .
නමුත් OCPD තියෙන අය තමන් නිවැරදියි කියලා හිතන නිසා, ගැටළුවක් කියලා නොසිතා වෛද්‍යවරයාව බලන්න එන්නේ නැහැ. OCPD රෝගය කළමනාකරණය කරන්න පුළුවන්, නමුත් හොඳ කරන්න බැහැ.OCPD තියෙන අය තමන්ගේ හැසිරීම අන් අයට කෙසේ බලපානවාද කියලා හැමවිටම ඔවුනට නොදැනෙන්න පුළුවන්. ඒ නිසා යුවල, පවුල් උපදේශන ලබා ගතහොත් දෙපාර්ශවයටම එකිනෙකා තේරුම් ගන්න, සහ හිත රිදෙන්නෙ නැතිව ගැටලු නිරාකරණය කරගන්න උදව් ලබාගන්න පුළුවන්. එය නොහැකි නම් රෝගියාගේ කලත්‍රයාහට පමණක් උපදේශන ලබා ගැනිමයි ඉතා ප්‍රයෝජනවත්.
Dr. Asoka Dias QSM – Clinical Director at Otahuhu Health Centre,
6/507 Great South Road, Otahuhu, +64211562924. email-asokadias@gmail.com







