fbpx
11.4 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

දිනේෂ් චන්දිමාල් -‘අප කවුරුත් ආදරය කරන ක්‍රිකට් තරුව’

Must read

මීට වසර දොළහකට පෙර ක්‍රිකට් පිටියට පිවිසෙන ඔහු ශ්‍රී ලාංකීය පිතිකරුවෙකු ලෙස ඔහුගේ පළමු තරඟය තුළදීම මංගල ශතකය වාර්තා කළ පළමු  ක්‍රීඩකයා ලෙස තේරී පත්විය. 2013 වර්ෂයේ ලාබාලතම  ක්‍රිකට් නායකයා වීමට වරම්  ලද ඔහු  ටෙස්ට් තරඟ 72ක්, එක්දින තරග 257 ක් මෙන්ම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ හැටකට සහභාගි වී තම ස්වෝත්සාහයෙන් පරිණත වූ ගමනක නියැලී සිටින දිනේෂ් චන්දිමාල් නම් ආදරණීය චරිතය SriLankaNZ –  ශ්‍රී ලංකන්ස් පුවත්පතේ පිළිසඳර  වෙනුවෙන් අප හා කතාබහකට එක් වී සිටිනවා.

ඔබගේ මෙවර නවසීලන්ත ක්‍රිකට්  සංචාරය පිළිබඳ මතකය අවදි කළොත්?

ලෝක  ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමට නවසීලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට්  තරගය සඳහා අප කණ්ඩායම නියෝජනය කළ ද අපිට අවශ්‍ය ප්‍රතිඵල නොලැබුණ නිසාවෙන් ඒ අවස්ථාව අපෙන් ගිලිහී ගියා. ඒත් අනෙකුත් වසර වලට වඩා මේ තරගාවලිය අපි කණ්ඩායමක් ලෙස ඉතාමත්ම සාර්ථතකව කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රීඩා  කළා  කිවොත් මා නිවැරදීයි. එය සතුටට කාරණයක්.

ක්‍රිකට් කඩුලු පන්දාහේ සීමාව පසු කරමින් සහ ටෙස්ට් ලකුණු සීමාව පසු කරමින් ඔබ ලද  ජයග්‍රහණයට අප  සුභ ප්‍රාර්ථනා කරන අතරම නවසීලන්තය වැනි රටකට මේ වාර්තා දෙකම පිහිටුවීම පිළිබඳ ඔබට දැනෙන හැඟීම කෙබඳු ද

මම හිතන්නෙ අපි හැමෝම ක්‍රිකට් දිවිය පටන් ගන්නකොට සිහින තියෙනවා. ටෙස්ට් ලකුණු පන්දාහේ සීමාව පසුකර යාමට ලැබීම හිතා ගන්න බැරිතරම් සතුටක්.

ක්‍රීඩකයෙක් විදියට ඉලක්ක පසුපස හඹා යෑමේ දී ජාත්‍යන්තර ලකුණු දහදාහ සීමාව පසු කිරීම විශේෂයෙන්ම මා ලද විශාල ජයග්‍රහණයක් ලෙස මට හඳුන්වන්න පුළුවන්. මොකද මේ ආපු ගමන ලේසි ගමනක් නෙමෙයි,  මම අවුරුදු දහතුනේ දී ආරම්භ කළ ගමන මට දැන් අවුරුදු තිස්තුනක් වෙනවා. ලොකු කැප කිරීමක් තුළ මට සතුටු විය හැකි ප්‍රතිඵල හමුවෙලා තියෙනවා.

ඔබ  අධ්‍යාපනය ලැබූ පාසල් සහ පවුල් පසුබිම ගැන සඳහන් කළොත් ?

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා මූලික අධ්‍යාපනය හදාරා කොළඹ ආනන්ද විද්‍යාලයට ක්‍රිකට් නිසාවෙන්ම ඇතුලත් වීමට අවස්ථාවක් ලැබුණා. එය ජාතික කණ්ඩායමට ඉක්මනින්  සම්බන්ධ වීමට මට ලොකු හයියක්  වුණා.

මගේ  පවුලේ විස්තර ගැන කියනවනම් අම්මා තාත්තා මල්ලිලා හතර දෙනෙක් ඉන්නවා. මම ඉතින් පවුලේ ලොකු අයියා නිසා  ඒ වගකීමත් එක්ක මල්ලිලා හතරදෙනාට නිතරම ක්‍රියාවෙන් ආදර්ශයක් වුණා. මට නිවැරදි මාර්ගය  පෙන්වමින්  විනයක් ඇතිව ඇතිදැඩි කළාට  මම  දෙමව්පියන්ට ස්තූතිවන්ත වෙනවා.

 අද ඔබ ඉන්නා තැනට ඒමට ඔබ ලැබූ පන්නරය කුමක්ද?

ජීවිතයට ලොකු පන්නරයක් ලැබුණු සිදුවීමක් තමයි 2004  සුනාමි ව්‍යසනයට මුහුණ දීමට සිදු වූ අවස්ථාව. මටත් අපේ පවුලේ අනිත් අයටත් ඇඳන් හිටපු ඇඳුම විතරයි  ඉතුරු වුණේ. (මට ඒ කාලයේ අවුරුදු දහතුනක් පමණ)  එදා ගැන මතක් කරනවා නම් මම පවුලේ අය සමග නවසීලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය නරඹමින් සිටින අවස්ථාවක තමයි මේ  අවාසනාවන්ත සිදුවීම සිදු වුණේ. ඒ දවස මට හොඳටම මතකයි. මොකද  පහුවෙනිදා අවුරුදු 15න් පහළ ක්‍රිකට් තේරීමේ තරගයක් සඳහා අම්බලන්ගොඩ සිට කොළඹට යන්න තිබුණා මට. මගේ ක්‍රිකට් බෑගයේ තිබූ සියලූම දේවල් සුනාමිය නිසා සුන්බුන් වෙලා ඒවා පාවිච්චියට ගත නොහැකි තත්ත්වයට පත් වී තිබුණා. ඒ සිදුවීම හරියට නැවත ඉපදීමක් වගේ වුණා. මගේ පවුල මට නැවත ගොඩනඟා ගත යුතුයි යන මහා විශාල ශක්තිය ලැබීමට මේ අත්දැකීම මට පිටුවහලක් වුණු අතරම එතැන් පටන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට එය ලොකු ධෛර්යයක් වුණා.

ඔබ අයිපීඑල් තරඟාවලිය සඳහා සහභාගි නොවීමට තීරණය කිරීමට වූ හේතු මොනවාද?

මම  කුඩා කලත් දැනටත් හිතන දෙයක් තමයි කවදාකවත් මුදල් පසු පසුපස හඹා නො‍යනවා කියන එක. ඒ වෙනුවට මුදල් මගේ පසුපස එන විදියට මම ක්‍රමයක් හදා ගන්නවා. සමහර වෙලාවට අපිට ජීවිතේ වරදින තැනක් තමයි  අපි දේවල් පසුපස යනවා.  ජීවිතේ මම ඉගෙන ගත් දෙයක් තමා අපි දෙයක් පසුපස හඹා ගිය හොත් එය අපට ලැබෙන්නේ නැහැ කියන එක. මොකද  සමහර වෙලාවට අපි  ළඟ තියෙන හොඳ දේවල් නැති කරගෙන තමයි එතැනට යන්න වෙන්නෙත්.

ඉතින් මටම ආවේණික වූ වැඩපිළිවෙලක නිරත වෙනවා. ඒ තුළින් මට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ මට ලැබෙනවා, නොලැබෙනවා නම්  ඒ දේ ලැබෙන්නේ නෑ . ඕනෑම දෙයක් ගැන මම හිතන්නේ එහෙමයි.

IPL තරගාවලිය ලොකු කොන්ත්‍රාත්තුවක්. නමුත් මම ඒක විවිධ හේතුන් නිසා  නැති කරගත්තා.  ඒ වෙන විට මම විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායමේ නායකයා ලෙස යෝජනා වුව ද ඔවුන්ට ලැබුණු පළමු අවස්ථාවෙන් මාව ඒ සඳහා සහභාගි කරවා ගත්තේ නැති නිසා , මා ඒ කාලය මාගේ අනාගත ආයෝජනයක් ලෙස  ඉදිරි අධ්‍යාපන කටයුතු කර ගැනීමට කාලය යෙදෙව්වා.  නමුත් ඊට සති දෙකකට පසු අයිපීඑල් සඳහා ආපසු ඒ අවස්ථාව ලැබෙන විට  මා ඒ අවස්ථාව  ප්‍රතික්ෂේප කරනවා. ඒ ගැන මාගේ කිසිම පසුතැවීමක්  අදටත්  නැහැ.

මට මතකයි කොළඹ ආනන්ද විද්‍යාලය සදහා මා ක්‍රීඩා කරන අවස්ථාවක , ශ්‍රී ලංකාවේ දැවැන්ත චරිතයක් වන, ආදර්ශ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා මා කැඳවීමකට ලක් කරනවා. ඔහු විසින් මා හට ලබාදුන් හොඳම ආදර්ශය  සහ උපදේශය ලෙස  ,

දිනේෂ් මම ඔයාව මාගේ දරුවෙක් වගේ බලා ගන්නවා, හැබැයි මම හැරමිටිය යන අවස්ථාවක හැමෝම කියන්න ඕනේ දිනේෂ් චන්දිමාල් කියන්නේ හොඳ ක්‍රිකට් ක්රීඩකයෙකුට වඩා හොඳ මහත්මයෙක් කියන එක”

යන වචන ටිකට මම සලකනවා. එදා ඔහු දුන් මේ උපදෙස අදටත් විවිධ  තීන්දු තීරණ ගැනීමේදී මට ඉවහල් වෙන අතරම ඔහුගෙන් ලැබුණු පන්නරය, සහ සුවිශේෂී ශක්තිය නිසාවෙන්  මම අදට ද ඔහුට ගෞරව කරනවා.

රට වෙනුවෙන් ක්‍රීඩා කරන ඔබ ක්‍රිකට් ලෝලීන්ට ආදරණීය චරිතයකි. ඔබගේ කණ්ඩායම් හැඟීම විවිධ අවස්ථාවල දී ඔබ එය ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. රංජිත් පණ්ඩිතගේ මහතාගෙන් ලැබූ මේ පන්නරය ඔබගේ චරිතවත් බව ඔප් නැංවීමට හේතුවක් වුණා කියා ඔබ හිතනවද?

අනිවාර්යෙන් ඔව්, ඒ වගේම නිශාන්ත රණතුංග මහතා ද මම මේ අවස්ථාවේ මතක් කළ යුතුමයි. පාසල් යන කාලයේ දී විවිධ වූ අඩුපාඩු ගැන සොයා බලා සියල්ලම සඳහා වූ වියදම් දැරීමට ඔහු එකග වීමම මාගේ ජීවිතයේ ජයග්‍රහණය කරා ළගා වීමට ඇවසි වූ රුකුලක් ලෙස මම දකින අතර, ඔහුගෙන් ලැබුණ උදව් උපකාර ද මේ අවස්ථාවේ  මා මතක් කරනවා. මගේ දෙමව්පියන්, පුහුණුකරුවන් , යහළු මිත්‍රාදීන්, සහ යහළු ක්‍රිකට් ක්‍රීඩකයන් මා මේ අවස්ථාවේ ආදරයෙන් මතක් කරනවා.

ඔබගේ ගමේ මතකය හා නගරයේ මතකය අවදි කළොත්?

මම ගමට කැමති වුණත් මාගේ  කාර්යබහුලවයත් සමඟ මාස තුනකට පමණ තමයි අවස්ථාව ලැබෙන්නේ ගමට යන්න. කොතැනක ජීවත් වුණත් මම එකම ජීවන රටාවකට ජීවත් වීමට හුරු වෙලා ඉන්නවා.මාව වෙනස් කරන්න අමාරුයි. මේ මගේ විදිය. චන්දිමාල් චන්දිමාල් ම තමයි.

ක්‍රිකට් දිවියේ ඔබට අමතක නොවන සිදුවීම කුමක්ද?

ටෙස්ට් ක්‍රීඩකයෙක් විදියට මට වරම් ලැබෙන්නේ  ටික කාලයක් ගියා.2011  දෙසැම්බර් 26 , සුනාමියෙන් හරියටම අවුරුදු 7කට පසු මට ටෙස්ට් කැප් එක ගන්නා අවස්ථාව මට ලැබුණා. අද  වගේ මතකයි.  සාර්ථක  ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් වෙන්න ටෙස්ට් කැප් එක අනිවාර්යෙන්ම පළඳින්න ඕනේ. ක්‍රීඩකයකු විදියට ලොකු  බලාපොරොත්තුවක් මට අවුරුදු හතකට පසු ලැබුණා. ඒ විතරක් නෙමෙයි මම අර්ධ ශතක දෙකක් රැස්කරා. ඒ වගේම තිලකරත්න දිල්ශාන් අයියාගේ නායකත්වයෙන්  අපි පළවෙනි වතාවට දකුණු  අප්‍රිකාවේ දී ටෙස්ට් තරගයක් දිනුවේ. ඒවගේ ලොකු විප්ලවයක් වුණා මගේ පළමු වැනි ටෙස්ට් තරගය, එය මට අමතක නොවන ඉතාමත් සුවිශේෂී තරගයක්.

ඔබගේ ආදරණීය බිරිඳගේ හමුවීම ගැන මතකය අවදි කරන්න කැමතිද?

ඒක ටිකක් දිග කථාවක්,  2005 දි තමයි ඇයව මම ඉස්සෙල්ලම දකින්නේ. ඇය මගේ හොඳම යාලුවෙක්ගෙ ලොකු තාත්තගේ දුව. ගණන් පන්තිය නිමවී ඉශිකව ප්‍රථම වරට ඇස ගැටෙන මට 2009 වසරේදී ඇයගේ කැමැත්ත හිමිවෙනවා. ඇගේ කැරලි කොණ්ඩයට මුලින්ම ආකර්ෂණය වූ මට අදට ද එය සුන්දර මතකයක්. ඇගේ කැමැත්ත ලැබෙනවාත් සමගම සෑම තරගයකටම  හොඳ ලකුණු   (150_180 වාගේ) අතරට යාමට මට හැකියාවක් ලැබෙනවා.

මේ වන විට ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වීමේ භාග්‍ය මට හිමි වීම  සහ ක්‍රිකට් තරග දහ තුනක් එක දිගට ජයග්‍රහණය කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. මම තරඟ දහ අටකට ලකුණු 1545 කළ අතර  එය හේමාල් මෙන්ඩිස් මහතාගෙන් පසු ආනන්දයේ ක්‍රිකට් වාර්තා පොත අලුත් කරමින් හොඳම ක්‍රිකට් පිතිකරුවාට, හොඳම පන්දු රකින්නාට සහ හොඳම ක්‍රිකට් නායකයා ට හිමි සම්මාන මම ලබා ගන්නවා.

ඊට අමතරව 2008 – වසරේදී හොඳම ක්‍රිකට් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව වාර්තා ගත වෙනවා වාගේම මට හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය 2019 වර්ෂයේ දී  හිමිවන අතරම මාගේ බිරිඳ මට කැමැත්ත දුන් පසුව මගේ ජීවිතය තුළ විශාල වෙනස්වීම් රාශියක් සිදුවෙන වීමම මට සතුටට කාරණයක්.

කණ්ඩායමේ යෞවන ක්‍රිකට් තරුවක් වන ඔබට ඇයගෙන්  මේ වන විට ලැබෙන සහයෝගය මොන වගේද?

මගේ අම්මාගෙන් ලැබෙන සහයෝගය වාගේ ම ඇයගෙන්ද මට විශාල සහයක් ලැබෙනවා. ඇයගේ තාත්තා  ක්‍රිකට් ලෝලියෙක්, ඒ බලපෑම් වෙන්නැති ඇයටත් ලැබෙන්නේ ඇත්තෙ.  ඒ ලැබුණු බලපෑම  මට ඇයගෙන් ක්‍රිකට් වලට ලැබෙන සහයෝගයට ලොකු පිටුවහලක් වෙනවා. මම ගොඩක්ම කාර්යබහුලයි .මාගේ බිරිඳ එය තේරුම් අරන් මාගේ වැඩකටයුතු සියලුම දේවල් සඳහා ඇගේ උපරිම සහයෝගය මට ලබා දෙනවා.මම පිතිකරණයේ යෙදුනත් නැතත් ලංකාවේ හෝ විදේශගත වී සිටියත් ඇය මා සමග ඉන්නවා . එය මට ලොකු ශක්තියක්.  මම මේ ක්‍රිකට් ගමන එකපාරටම උඩට ආව එකක් නෙවේ විවිධ හැලහැප්පීම් වැටීම සිදුවෙලා තියෙනවා ඉතින් ඒ හැම අවස්ථාවකම මාව දිරි ගන්වමින් බිරිඳ මා ළඟ ඉන්නවා.උදාහරණයක් ලෙස ගිය අවුරුද්දෙ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු දෙන්නට තීරණය කළ අවස්ථාවක ඇය පවුලේ  සියලු දෙනා සමග එකතු වී මට තවදුරටත් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පරිසරය හා ධෛර්යය සකසා දුන්නා . ඇයට මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වන අතරම අද ලකුණු පන්දාහේ සීමාව පසුකර යන්නට පුළුවන් වුණේ ඇගේ උදව්වෙන්,  ඒ අවුරුද්දේ මා ගත් තීරණය නිසා වන අතරම ඒ තීරණය සුදුසුම තීරණය ලෙස අදටද මා විශ්වාස කරනවා.

වර්තමානයේ දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යොමුවීමේ අඩුවක් දකිනවා නමුත් ඔබට අනුව දරුවකු ක්‍රීඩාවන් වලට සහභාගි වීම ඔබ දකින්නේ කෙසේද?

ක්‍රීඩාවකට යොමුවීමෙන් ජීවිතයට ඉතාමත්ම ලොකු වටිනාකමක් ලැබෙනවා. කණ්ඩායමක් විදියට කටයුතු කරන්නේ කොහොමද,  ජය පරාජය විඳදරා ගන්නේ කොහොමද ඒ වගේ ඒ වගේ දේවල් ජීවිතයට එකතු කර කරගන්න පුළුවන්. ඒ වගේම මම කියන්න කැමැතියි අධ්‍යාපනයත් ඒ හා සමානවම ගොඩක් වැදගත්.අධ්‍යාපනයේ වටිනාකම දන්න නිසා මහන්සි නොබලා අධ්‍යාපන කටයුතු මම කළා, මම මගේ  සමාන්‍යපෙළ උසස්පෙළ හරියටම සමත් වුණා . අධ්‍යාපනයෙන් ලැබෙන දේ වගේම ක්‍රීඩාවකින් ලැබෙන අත්දැකීම් ගොඩක් වැදගත්  කියලා මම  විශ්වාස කරන දෙයක්. අද මම  තැනක ඉන්නවනම් විශේෂයෙන් විනය පැත්තෙන් සහ අනෙකුත් දේවල් වලින් ක්‍රීඩාව එකට ලොකු රුකුලක් වුණා.

නවසීලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය අතරතුර  SriLankaNZ – ශ්‍රී ලංකන්ස් youtube නාලිකාව හා සම්බන්ධ වීම පිළිබඳව ඔබට ස්තූතිය පිරිනමන අතර ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම සදහා ශක්තිය ලැබේවා කියා අපි සුභ පතනවා.

Interviewed by Dimuthu Wijesooriya
Edited by Gavithri Yatigammana – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.