කිවී දේශය කෙමෙන් කෙමෙන් ශීත ඍතුව වෙත සංක්‍රමණය වෙන විට සංක්‍රමණිකයාගේ හදවත නිරායාසයෙන්ම සදා ගිම්හාන ශ්‍රී ලංකාවේ උණුසුම වෙත ඇදි යන්නේය. එසේම සිය වාහනය එළිමහනේ නවතා ඇති සෑම පාන්දරකම උණුසුම් රටක අගේට ගැයෙනා ගී මදි බව මනාව තේරුම් ගන්නේ සීතලේ ගැහෙමිනි. සංක්‍රමණිකයාට සීතල කාලගුණය එතරම් අරහංය.
සංක්‍රමණිකයා ජීවත් වෙන වයිරරප්පා පළාතේ වෙසෙන ලාංකිකයන් මෙවර වෙසක් උත්සවය සැමරීම සඳහා බත් දන්සැලක් සංවිධානය කර තිබුණි. මෙහි විශේෂත්වය වන්නේ ඉතා කුඩා ලාංකිකයන් පිරිසක් ජීවත් වන ප්‍රධාන නගරයන්ගෙන් දුරස්ථ ප්‍රදේශයක මෙවැනි කර්තව්‍යයක් සිදු කිරීමට යෙදීමය. අපගේ දන්සැල් තේමාව හා සමාන “Community Kitchen” එකක් මෙම පළාතේ සෑම සඳුදා දිනකම පැවැත්වේ. ඕනෑම කෙනෙකුට තමන්ට හැකි ආකාරයෙන් ශ්‍රමයෙන්, මුදලින් හෝ අමුද්‍රව්‍යවලින් සහභාගි විය හැකි අතර ඇති නැති හැකි සියලු දෙනාහට එකට හිඳ ගෙන ආහාර ගැනීමට හැකිය.
ජේෂ්ඨ පුරවැසියන් මෙම අවස්ථාව පැහැර නොහරින්නේ ආහාරයටත් වඩා සමාජ ඇසුර ඔවුන්ට වැදගත් බැවිනි.
සංක්‍රමණිකයා මෙම “community kitchen” එක සඳහා වඩා ආකර්ෂණීය වූයේ එහි ආරම්භය හා මූලිකත්වය ගෙන වැඩ කරන දකුණු අප්‍රිකාවෙන් සංක්‍රමණිකය වූ තවත් සංක්‍රමණිකයෙක් නිසාවෙනි. එසේම සංක්‍රමණිකයා ඕක්ලන්ඩ්හි වාසය කරන කාලයේ දී සෑම මාසයකම පළවෙනි සෙනසුරාදා දිනයේදී නගරයේ වෙසෙන නිවාස අහිමි පුද්ගලයන් වෙත ආහාරපාන, ඇඳුම් වැනි අවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමට යෙදුනේ ද ලෝකේ වටෙන් කිවී දේශයට සංක්‍රමණිකය වූ තවත් සංක්‍රමණිකයන් කාණ්ඩයක් හා එකතුවය.
පාසුගිය මැයි මාසයේ 18 වෙනිදා සිදුවුණ යම් යම් සිදුවීම් නිසා සංක්‍රමණිකයා සිය ළමා කාලයේ මතකයන් වෙත සංක්‍රමණය වූයේ නිතැතිණි. මේක පරණ කතාවක්, ගොඩාක් පරණ කතාවක්. පරණයි කිව්වේ සංක්‍රමණිකයා ඒ කාලේ සංක්‍රමණය ගැන හීනෙකින් වත් නොදැන සිටි හරිම කුඩා දරුවෙක් හින්දා.
මේ කියන්නේ ලංකාවේ වාර්ගික අර්බුදය තදටම තිබුණ කාලේ කතාවක්. එක දවසක් මහ පාන්දර මායිම් ගම්මානයක් ළඟ තිබුණ රෝහලකින් හතර වටේ තිබුණ රෝහල්වලට පණිවිඩයක් ගියේ ගිලන් රථ ඉල්ලලා.
එදා රාත්‍රියේ LTTE සාමාජිකයින් වගයක් මායිම් ගම්මානයකට පැනලා නිදාගෙන හිටපු මිනිස්සු කපා කොටා දාලා තිබුණා. ගිලන් රථ අවශ්‍ය ය වූයේ තුවාල කාරයන්ව වැඩි පහසුකම් සහිත රෝහලකට හෝ කොළඹට හෝ යැවීම සඳහා ය.
ඒ කාලයේ සංක්‍රමණිකයා ජීවත් වූයේ දඹුල්ල නගරයේ. හරියටම දඹුල්ල නගරේ මැද තිබුණ ගෙදර. එදා ගිය හැම ගිලන් රථයක්ම ඔය ගෙදර වත්තේ තිබුණ ලොකු කොහොඹ ගහ යට නැවැත්තුවා. දඹුල්ල නගරයේ හිටපු මිනිස්සු පුළුවන් විදියට කෑම, බීම, ඇඳුම් වගේ දේවල් තුවාල වෙලා හිටපු මිනිස්සුන්ට ගෙනත් දුන්නා, මොකද වින්දිතයන් ඒ වෙනකොටත් හිටියෙ නිදි ඇඳුම් පිටින්. ඔතන නතර කරපු එක ගිලන් රථයක හිටියා සංක්‍රමණිකයාගේ වයසේ විතර පිරිමි ළමයි දෙන්නෙකුයි, අම්මා කෙනෙකුයි එයාගේ අත දරුවයි. මේ හැමෝගෙම ඇඟවල් පුරා කැපුම් පාරවල් තිබුණා. පිරිමි ළමයි දෙන්නා මුස්ලිම්, අර අම්මා දෙමළ. ඒ ළමයි දෙන්නාගේ අම්මලා තාත්තලා ජීවතුන් අතර ද කියලවත් එයාල දැනන් හිටියේ නැ. එයාලට සිංහලත් බෑ. අර දෙමළ අම්මා ඒ මුස්ලිම් ළමයි දෙන්නවත් බලා ගත්තා. ඒ ගිලන් රථය එදා කොළඹ ගියත් ඒ ළමයි දෙන්නට කවදාවත් මගේ හිතෙන් යන්න බැරි වුණා.
ලංකාවේ පුරවැසියෙක් විදියට වාර්ගික අර්බුදය ඉවර කරන්න දායක වුණ හැම පාර්ශ්වයක් ගැනම සංක්‍රමණිකයාට කෘතවේදයක් ඇති සේම අගතියට පත්වුණ හැම පාර්ශ්වයක් ගැනම දැඩි කණගාටුවක් හැමදාම හිතේ තියේවි. අගතියට පත්වූයේ සිංහල, දෙමළ හෝ මුස්ලිම් මිනිස්සු නොව ශ්‍රී ලාංකික හැමෝම ය. සිවිල් යුද්ධයක ජයග්‍රහණයක් සැමරීම සිවිල් නොවූවත් නැතත් යුද්ධයෙන් අගතියට පත්වූවන් සිහිකරනවා නම් ශ්‍රී ලාංකිකක සියල්ල සිහි කර යුතු නොවේද?
සංක්‍රමණිකයාගේ සටහනකින් නැවත හමුවෙමු.
By Yasasi Gunarathna – Wairarapa