~~ පිළිසඳරක් with Sahan Ranwala ~~
ශ්‍රී ලංකාවේ ජන කලාව සහ සංස්කෘතිය නූතනයට අනුගත කර එහි රසවත් භාවයට හානියක් නොකර අපේ සංස්කෘතිය ඉස්සරහට ගෙන යාමට වෙර දරන විශේෂ පුද්ගලයෙකු සමග අද අපේ පිළිසඳර ආරම්භ කිරීමට අවසර. ඔහු නමින් සහන් රන්වල මහතා.
ආයුබෝවන්. අපි මුලින්ම දැන ගන්න කැමතියි මේ දවස්වල පවතින අර්බුදකාරී පරිසරය හමුවේ ඔබතුමාගේ වැඩ කටයුතු කොහොමද කරගෙන යන්නේ කියලා.
ඔබටත් ආයුබෝවන්. ශ්‍රී ලාංකික අපි මුළු ජීවිත කාලයම අර්බුදත් එක්ක තමයි ගත කළේ. ඉස්කෝලේ යන කාලේ අවිනිශ්චිත බවට, 87 -89 කාලවලදී භීෂණයට අපි මුහුණ දුන්නා. ඒත් දේවල් එක්ක අපේ තාත්තලා වැඩ කරගෙන යනවා අපි දැක්කා. ඒ නිසා අර්බුදවලට මුහුණ දෙමින් වැඩ කරන්න අපි අපේ මනස හදා ගන්න ඕනේ.
සුනාමි ඇවිත් මාස ගණන් සංදර්ශන නැති වුණාම ඒ අර්බුදයෙන් ගොඩ එන්න අපි කණ්ඩායමක් ලෙස සෑහෙන වැඩ කොටසක් කළා. ඒ පළාත්වල පිරිසිදු කිරීමට ශ්‍රමයෙන් දායක වුණා. මානසිකව වැටිලා ඉන්න දරුවන්ට උදව් කළා. 2007- 2009 වසරවල දරුණු වුණ යුද්ධය, 2019 අවුරුද්දේ පාස්කු ප්‍රහාරය වගෙ ඒවයින් පස්සෙත් රටේ සියලූම වැඩ නතර වුණාම අපි දෙමව්පියනුත් එක්ක සාකච්ඡා කරලා හරියන විදියට අපි වැඩ කටයුතු කළා.
ජීවිත කාලයම මම ඩබල් වැඩ කරලා තියෙනවා. අපොස උසස් පෙළ කරන කාලයේ දී මම AAT කළා. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේම මම නීති විද්‍යාලයේ ඉගෙන ගත්තා. Covid වසන්ගතය හමුවේ මම දැක්කා අඩුම වශයෙන් අවුරුද්දක්වත් ඒ ප්රශ්නය තියෙයි කියලා.
මම ඔන්ලයින් පාඨමාලාවක් කළාම බොහෝ දෙනෙක් නැටුම්, ගැයුම් ඔන්ලයින් කරන්න බැ කියලා දෝෂාරෝපණය කළා. ඒ අදහසත් එක්ක අපි ලංකා E පාසල ආරම්භ කළා. අපි විවිධ රටවල් වලට ගිහින් එනවා. එතකොට ඒ දෙමව්පියො, දරුවො කියනවා දිගටම අපිත් එක්ක වැඩක් කරමු කියලා. ඉස්සර බැරි වුණත් කොවිඩ් වසංගතය නිසා අපිට ඔන්ලයින්ඉගැන්වීම ආරම්භ කරන්න පුළුවන් වුණා. දැන් ලෝකය පුරාම අපිට අපේ ළමයි ඉන්නවා. ඒ අය දැන් අපේ දේවල්, ජන ගී, අපේකම ඉගෙන ගන්නවා. ඒක කරන අතරවාරේ මේ අප්‍රේල් මාසයේ ප්‍රථම වතාවට ශ්‍රි ලාංකික නර්තන, සංස්කෘතික කණ්ඩායම් එකතු කරලා අවුරුදු අවුරුදු ප්‍රසංගයක් හැටියට පැවැත් වූවා. ඒකට නවසීලන්තයේ Dancing Angels කණ්ඩායම ද සහභාගි වුණා. ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ඉතාලිය, එංගලන්තය, ප්‍රංශය, සිංගප්පූරුව වගෙ රටවල් වල කරපු අංග අපට රූපගත කර එව්වා. අපි අවුරුදු කාලේත් මේ අර්බුදයත් එක්ක ඒක පැවැත්තුවා. දැන් කාර්ය මණ්ඩලයට වැඩට එන්න පුළුවන් කමක් නෑ. ඉතින් මේ අර්බුදවලට මුහුණ දිය නොහැකි නම් පරාජිතයන් ලෙස මෙයින් නික්ම යාමට අපිට සිදුවන බව මම කාර්ය මණ්ඩලයට කීවා.
මේ අර්බුද එක්ක අපි දකින ලොකුම ගැටලුව තමා දුවන්න, පනින්න, නටන්න, දඟ කරන්න ආස ළමයා මේ එකක්වත් කරගන්න බැරුව අවුරුදු දෙකහමාරක් විතර ඉන්නේ පුදුම මානසික ආතතියක. ළමයා එක තැනකට වෙනකොට අපි ෆෝන් එක, ටැබ් එක දෙන්න පටන් ගත්තා. දැන් අපිට ළමයාව එකෙන් ගලවා ගන්න විදිහක් නෑ. අපි ළමයට වැඩීමට උචිත අලුතින් නිෂ්පාදන ගැන හිතලා නැහැ. ළමයා සමග ගෙදරට වෙලා කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද? මේ වෙනකොට ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නවා. එතකොට අපිට බැරිද ගෙදර ඉන්න ළමයින්ව කෘෂිකාර්මික ව්‍යවසායකයන් බවට පත් කරගන්න.
ශ්‍රී ලංකා පරිපාලන සේවය අපි සහ තව කණ්ඩායම් කිහිපයක් එක්ක කතා බහක් කළා මොනවද මේකෙදි අපිට කරන්න පුළුවන් කියලා. අපි යෝජනා කළා, ආහාර අර්බුදයේ අපි දකින එක ප්‍රශ්නයක් තමා අපේ තියන අනවශ්‍ය කෑම නාස්තිය. මේ දවස්වල අපි ආහාර අපතේ දැමීම සම්බන්ධයෙන් දරුවෝ දැනුවත් කරමින් ඉන්නවා. පොඩි අය විතරක් නෙමේ ලොකු අයත් හිතන්නෙවත් නැතුව කෑම නාස්ති කරනවා. අපි ඉතාලියේදී දැක්කා ‘ඔබ අවශ්‍ය ප්‍රමාණයට විතරක් බෙදාගන්න. කෑම විසි කළොත් දඩ ගහනවා,’ කියලාබෝඩ් එකක් ගහලා තියෙනවා. අපි සල්ලි ගෙව්වා කියලා අපිට බැහැ කෑම විසි කරන්න. මේ කාලයේ දී කෑම නාස්තිය ගැන දරුවන්ට කලාව හා වෙනත් මාධ්‍ය ඔස්සේ ලබාදීමේ වැඩ කටයුතු තමා විශේෂයෙන්ම කරන්නේ.
අපි දැනගන්න කැමැතියි ‘රන්වල බලකාය’ පිළිබඳ ඔබේ මතකය. ඔබතුමාගේ පියා මෙක ආරම්භ කරද්දී ඔබ කොහොමද දායකත්වය ලබා දුන්නේ. මේ වෙනකොට රන්වල බලකායේ මොනවගේ තත්ත්වයකද තියෙන්නේ
වැඩමුළුවක් පවත්වන විට ලංකාව පුරාම තාත්තා ගේ සහයට ‘රන්වලයන් හා පිරිස’ කියල හඳුන්වන පිරිසක් හිටියා. තාත්තා දුර පළාතකට යන විට යම් දක්ෂයකු දැක්කොත් මෙයට සහභාගිවන්න ආරාධනා කරා. අපේ කණ්ඩායම විධිමත්ව ආරම්භ කරපු දෙයක් නොවේ, ටික ටික ස්වාභාවිකය ම ඇති වෙච්චි එකක්.
අපි විධිමත්ව හරි සන්දර්ශනයක් කළ තාත්තගේ ප්‍රථම ගීතය,1999 නොවැම්බර් 27 වන දින ‘අහස වියලුව’ නමින් ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී එළිදැක්වූවා. පස්සේ අපිට ගොඩක් ආරාධනා ලැබුණා. 2002 නොවැම්බර් 27 වන දින තාත්තා ගේ දෙවැනි ගීත එකතුව, ‘ගම අවුලඤ්ඤං’ එළි දක්වන්නට සති දෙකකට පෙර තාත්තා රිය අනතුරකින් අභාවයට පත් වුණා. හරියටම ඊට අවුරුද්දකට පස්සෙ එතුමා හිතපු විදියට අපි ‘ගම අවුලඤ්ඤං’ එළි දැක්වූවා. ඊට පස්සේ ලංකාව පුරාත් 2006 දී ඩුබායි පළමු සංචාරය ද පස්සේ ලෝකෙ පුරා ද අපි සංචාරය කළා. ඒ අතරද 2011 චීනයේ දි ලෝකයේ හොඳම ප්‍රාසාංගික ජන ගී කණ්ඩායම ලෙස සම්මාන හිමි වුණා. සිංහල අවුරුද්දකට විතරක් බොහෝ වැඩ තිබුණු අපිට එතැන් පටන් ඊට පරිබාහිරවත් වැඩසටහන් සහ විදේශ සංචාර වලට ආරාධනා ලැබුණා.
ඕස්ට්‍රේලියාවට යන එන ගමන් නැතිව, ලංකාවේ ඉදන් කෙලින්ම නවසීලන්තයට සංදර්ශන දෙකක් සඳහා ආව එකම කණ්ඩායම අපි. 2016 මාර්තු Hamilton , Wellington වලත්, ඔක්තෝම්බර්වල Auckland සහ Christchurch වලත් එකම අවුරුද්දෙ දෙපාරක් සංදර්ශන වලට ආරාධනා ලැබුණා. අපව ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකික ජනතාව විතරක් නෙමෙයි විදේශිකයන් ඉදිරියේ ද සංදර්ශන කරන්න අවස්ථාව ලැබුණා. විදේශිකයන් ප්‍රසංගය ඉවර වුණු ගමන්ම දුවගෙන ඇවිත් කියනවා
‘අපි එනවා ඔයගොල්ලන්ගේ රටට මේවා බලන්න. හරි ලස්සනයි,’ කියලා. විශේෂයෙන් නර්තනය, බෙර වාදනය වගේ දේවල් ලංකාවට ඩොලර් ගේන්න යොදා ගත්ත නම් නැත්නම් අපේ සංස්කෘතික උරුමයන් ලෝකෙට පෙන්වලා යම්කිසි විදියකට විදේශිකයන් ආශක්ත කර ගන්න පටන් ගත්ත නම් අපිට සෑහෙන දුරක් යන්න තිබුණා.
අපි හැමදාම වික්කේ location. ඒ කියන්නේ නුවරඑළියට එන්න කියලා සීතල පෙන්නනවා, ඒක විඳින්න දෙනවා. මුහුද ගාව හෝටලයක් හදලා මුහුද බලන්න දෙනවා මිසක් අපේ සංස්කෘතික අත්දැකීම් විදේශිකයන් හමුවට ගෙන ගියේ නැහැ. අපි කණ්ඩායමක් විදිහට කල්පනා කරලා ඒ වැඩ කටයුතුවලත් නිරත වෙලා ඉන්නවා.
අපේ ජන සාහිත්‍යය ඇතුලේ ජනකවියට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ‘රන්වල පදනම’ විදිහට ජන කවියට වැඩි අර්ථයන් එකතු කරන්න ඔබතුමන්ලා මොනවගේ උත්සාහයක් ද ගන්නේ?
ජන සමාජයෙන් ඈත් වෙලා තියනකොට ජන කවිය විධිමත්ව විද්‍යානුකූලව සමාජයට ගෙනෙන්නට වැඩ පිළිවෙළක් සකස් කළ අය අතර මකුලොලුව මහත්මයා, සුනිල් ශාන්ත ශූරීන් සහ ආනන්ද සමරකෝන් මහතා වගේ අයත් ගෞරවයෙන් සිහිපත් කරනවා. මකුලොලුව මහත්මයා ශාන්ති නිකේතනයෙන් සංගීතය හදාරලා මෙහෙ ඇවිත් සංගීතය පිළිබඳ පර්යේෂණකරන කොට ඊට එක්කාසු වෙච්ච කෙනෙක් තමා අපේ තාත්තත්. තාත්තත් එතුමා සමගත් ස්වාධීනවත් පර්යේෂකයකු හා නිර්මාණකරුවකු ලෙස වැඩ කටයුතු කළා.
මකුලොලුව මහත්මයාගේ අභාවයෙන් පස්සේත් තාත්තාm ඒ මඟ අත්නොහැර ගියා. ඒ ආභාෂය තමයි අපිට තියෙන්නේ. එක කාලයක මිනිසුන් ඇහුව දෙයක් තමා මොකටද මෙච්චර ලස්සන ඉන්දියානු සංගීතයක් තියෙද්දි අපිට මොකටද ඕක කියලා. ලෝකෙ හැමෝටම තමන්ගෙ කියලා දෙයක් තියෙනවා නම් අපිට කියලා විතරක් දෙයක් ඕනේ නැහැ කියන්න බෑනේ. හැම රටක්ම තමන්ගේ අනන්‍යතාවය ගැන සැලකිලිමත් වෙනවා. නවසීලන්තය බැලුවොත් එහි ඉන්නේ යුරෝපා රටවලින් සංක්‍රමණය වුණ අය. හැබැයි ඒ අය උත්සාහ කරන්නෙ නැද්ද නවසීලන්තයට වෙනමම අන්‍යතාවයක් දෙන්න.
ඒකනෙ ‘All blacks’ කණ්ඩායම පිට්ටනියට බැහැලා ‘හකා’ ඉදිරිපත් කරන්නේ. ඔවුන් සංස්කෘතික අනන්‍යතාවයක කොටසක් රග්බි කණ්ඩායම හරහා ලෝකෙට පෙන්නනවා. ඉතින් අපි අපේ අනන්‍යතාවය ලෝකේට අරගෙන යන්න ඕනේ. අපේ ජනනාද මාලා ටික අපි සොයන්න, එක්රැස් කරන්න, සංරක්ෂණය කරන්න, ජන සමාජයට ලබා දෙන්න ඕනේ. අද තරුණ පරම්පරාව ජන ගීය ඔස්සේ කෙරිච්ච නිර්මාණ ඉමහත් ප්‍රමාණයක් වැළඳ ගෙන තියෙනවා.
ඉස්සර ඉස්කෝලේ ළමයෙක් තරගයකට ඇවිල්ලා එපා වුණ විදිහට කියන එකක් තමා ජන ගී කියලා අහලා තිබුණේ. දැන් මේ වෙනකොට ඊට වඩා ඉස්සරහට ගේන්න අර ගුරුතුමන්ලාගේ මාර්ග ඔස්සේ අපිටත් පුළුවන් වෙලා තියෙනවා .
ඒ වගේම තමයි අපේ ජන සාහිත්‍යය පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්කම් වලට භාජනය වෙමින් තමා මේ තාක් දුර ඇවිත් තියෙන්නේ. එතකොට ඔබතුමාගේ අදහස මොකක්ද නූතන පරම්පරාවට ජන සාහිත්‍යය, ජන සංගීතය උගන්වද්දී පරණ පරම්පරාව සහ අලුත් පරම්පරාව අතර දකින වෙනස වගේම අලුත් පරම්පරාවට මේ දේවල් කියා දීමේ දී යොදා ගන්නා උපක්‍රම?
හොඳ ප්‍රශ්නයක්. හැම වෙලාවෙම අපි ගුරුවරු හා වැඩිහිටි පරම්පරාව විදිහට කරන වැරැද්දක් තියෙනවා. ඒ කාලේ නම් අපි ඔහොම කරේ නෑ. අපි මෙහෙමයි කරේ කියන එක. දැන් ඒ කාලේ නෙවෙයිනේ. දැන් කියමුකෝ ඒ කාලේ අපි පටිගත කිරීම් කරනකොට නම් orchestra එකයි අපියි එකට ඉදලා ගායනා කළේ. දැන් කාලේ වගේ තාක්ෂණයක් තිබුණේ නැති නිසා ඒ කාලේ එහෙම ගායනා කළා. අපි ඒ කාලේ ක්‍රිකට් ගහනකොට මොකක්වත් පැළඳුවෙ නෑ. දැන් අතට පයට පළඳින්න දේවල් ඇවිත්. මේ තාක්ෂණය අපි පිළිගන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට හුරුවෙලා තියෙන්නේ, අපේ කාලේ හොඳයි, ඊළග කාලේ නරකයි කියන අදහසට. අපේ තාත්තා ගෙන් මම ලබපු ආභාෂයට පිංසිද්ද වෙන්න මට කවදාවත් එහෙම හිතන්නේ නැහැ .
තාත්තගෙ ‘ගම අවුලඤ්ඤං’ ගීතය බලන්න. තරුණ පරම්පරාව කියලා තියෙන්නේ වැඩිහිටි පරම්පරාවට ඔය කරන වැඩේ වැරදියි කියලා. මම හිතන්නේ තාත්තාගේ මේ සිංදුවට කලින් කිසිම වැඩිහිටි ගායකයෙක් ඒ පරම්පරාව ගැන කිසිම ස්වයං විවේචනයක් කරලා තිබ්බේ නැහැ.
අපි නිතරම බලන්නේ කවුද හරි කියන එක නෙවේ කුමක්ද හරි කියන එකයි. අපි කියන්නේ නෑ ගමේ තියෙන හැමදේම හරි, කොළඹ තියෙන හැමදේම වැරදි කියලා. හැම තැනම හොඳ නරක මිනිස්සු ඉන්නවා. ඒ වගේ තමා පරම්පරාවලත් හොඳ නරක තියෙනවා.
අද, ලංකාවේ ඉතිහාසය හොයන ඒ ගැන උනන්දු වෙන, අපිටත් ඒ පිළිබඳ කියලා දෙන්න පුළුවන් තරුණ තරුණියන් ඉන්නවා. අපි ඒ අයගෙන් ගුරු හුරුකම් ගන්නා අවස්ථා තියෙනවා. හැකියාවන් තියෙන අය ඉන්න බව අපි පිළිගන්න ඕනේ. ඒත් එක්කම තරුණ පරම්පරාවත් එක්ක වැඩ කරද්දි කවදාවත් පුරුදු වෙලා නෑ ‘මෙන්න අපි ගාව තියෙනවා. මේ දේවල් උඹලා ඉගෙන ගන්න ඕනේ,’ කියන එක. අපි තරුණ පරම්පරාවත් එක්ක කරන්නේ සංවාද.
අපි ළමයිත් එක්ක වැඩ කරද්දි යොදන උපක්‍රමය වෙනස්. අපේ ගුරුවරුන්ට මම නිතරම කියන දෙයක් තමයි ‘අපි කරන වැරැද්ද අපි තේරුම් ගන්න ඕනේ,’ කියල. අපි හිතනවා අපි දන්නවා ළමයි දන්නෙ නෑ, දන්න කෙනා ගෙන් නොදන්න කෙනා ඉගෙන ගත යුතුයි,‘ කියන එක තමා අපි හිතන Theory එක. මම කියන්නේ ළමයා දන්නෙ නෑ කියලා හිතන්න බැහැ. ළමයා යම් යම් දේවල් දන්නවා. ළමයගේ ඔළුව එහෙ මෙහෙ දුවනවා. ගුරුවරයා ගේ දක්ෂතාවය වෙන්න ඕනේ ළමයට පාඩම උගන්වන එක. එහෙම නැතුව මම දන්න නිසා ළමයි බැඳිලා ඉන්නවා මගෙන් ඉගෙන ගන්න කියන එක අපි හිතන්නේ නැ. ගුරුවරයාට නොයෙකුත් උපක්‍රම කල්පනා කරන්න වෙනවා. ගායනා උගන්නන්නේ කතන්දරයකින්. මේක තමා අපි ගාවට මෙච්චර ළමයි එන්න හේතුව. සාමාන්‍යයෙන් ජන ගී ඉගෙන ගන්න ළමයි පොරකකා එනවා කියලා හිතන් නෑනේ. හැබැයි සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා බත්තරමුල්ල ‘අපේ ගම’ පන්තිය, ගම්පහ ‘නිවහන’ පන්තිය මෑතකදී මහනුවර ආරම්භ කරන ලද පන්තිය. මේ කිසිවකට ළමයෙක් නිකන් දාගන්න බෑ. මොකද ප්‍රමාණය වැඩියි. ඒ නිසා බොහෝ අයට එක්කෝ waiting list එකේ ඉන්න ඕනේ නැත්නම් අලුත් පන්තියක් පටන් ගන්නකන් ඉන්න ඕනේ. එහෙම වෙලා තියෙන්නේ ඇයි? දෙමවුපියෝ වගේම ළමයි අපේ දේ ඉගෙන ගන්න තියෙන උනන්දුවට. අපි ඒ උනන්දුව ඇති කරලා තියෙන්නේ අර මං කිව්ව වගේ උපක්‍රම ඇසුරෙන්.
ලංකාවේන් පරිබාහිරව තියෙන ඉගැන්වීම් සඳහා ඔබ ගෙනයන වැඩපිළිවෙළ මොනවාද?
‘ලංකා E School’ හරහා අපේ පාඨමාලාවන් හදාරන්න පුළුවන්. සිංහල භාෂා අකුරු, ලංකා බෙර, ලංකා චිත්‍ර පාඨමාලා එහි තියෙනවා. ඊට අමතරව අපිට බොහෝ දුරට ආරාධනා ලැබෙනවා විදෙස් රටවල් වල ඉන්න ලංකාවේ ළමයින්ට වැඩමුළු පවත්වන්නට. අපි අලුත් අවුරුද්දට කලින් බංග්ලාදේශයේ සංචාරය කළා. ඒත් එක්කම ඕස්ට්‍රේලියාවේ පර්ත් වලින් ආරාධනාවක් ලැබිලා තියෙනවා. 2016 ඉඳලා අපි හැම අවුරුද්දෙම එහෙ ළමයින්ට දින පහක වැඩමුළුවක් පවත්වනවා. ඒ වගේම මෙල්බන්, සිඩ්නි , බ්‍රිස්බේන්, නවසීලන්තය වගේ රටවලට මේ අවුරුද්දේ ඔක්තෝබර්වල එන්න නියමිතයි. ඒ ගැන කතා කරමින් යනවා මේ කාලේ. ඒ රටවල් වල සංදර්ශනවලට අමතරව වැඩමුළු ද පවත්වනවා.
සමහර රටවල් වලින් කෙලින්ම සංදර්ශනවලට නෙමේ වැඩමුළුවලටම කතා කරනවා. ඉතාලියේ එහෙම වැඩමුළු පමණක්ම පවත්වලා තියෙනවා. ඔන්ලයින් වැඩමුළු සහ පාඨමාලා හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේ ආරම්භ කරලා තියෙන්නේ ‘Global Sri Lankan Family’ කියන සංකල්පය. ඩුබායිවල ඉන්න අපේ ළමයෙකුයි නවසීලන්ත ළමයෙකුයි එකට මුනගැහිල අපේ සිංදුවක් එකතු වෙලා කියන්න පුළුවන් නම් කොච්චර ලස්සනද. ලංකාව, අනුරාධපුරය, සීගිරිය ගැන ඒ ළමයි කතා කරනවා නම් දෙමව්පියෝ, වැඩිහිටියෝ විදියට අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. එයාලා සම්පූර්ණයෙන් ශ්‍රී ලාංකිකයෝ වෙන එකක් නැහැ. හැබැයි නවසීලන්තයේ කියන විදියට ‘නව–ශ්‍රී ලාංකිකයි’ වගේ. ලාංකික සම්භවය තියෙන අය විදිහට ඔවුන්ව හදන්න පුළුවන්. නවසීලන්තයේ ඉන්න චීන ජාතිකයන් චීනය ගැන දන්නවා. ඉන්දියානුවන් ඉන්දියාව ගැන දන්නවා. ඉන්දියාවට ආදරෙයි. අරාබියේ පුද්ගලයා තමන්ගේ සංස්කෘතිය අගයනවා. අපිටත් ඒක කරන්න පුළුවන්. මම දන්නවා නවසීලන්තයේ නම් යම් යම් ශ්‍රි ලාංකික සංවිධාන, දහම් පාසල් එහෙම පවත්වනවා . ඒ අතරෙදි ගෝලීයව අපිට ළමයි එකතු කර ගන්න පුළුවන් නම් එතකොට මෙහෙ ළමයි දකිනවා කැනඩාවේත් ළමයි ලංකාවේ දේවල් ඉගෙන ගන්නවා, ඒවා ආරක්ෂා කර ගන්නවා. ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා. මේ වගේ ලෝකයේ හැම තැනම අපේ දේ දන්න, අපේ දේ ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ට දැනෙනවා අපි තනිවෙලා නෑ. අපි මෙහෙ හිටියට ලංකාවේ දේවල් ඉගෙන ගත යුතුයි කියන හැඟීම ඒ හරහා එයි කියලා මම විශ්වාස කරනවා.
ඔබතුමා වැඩිපුර කාලය ගත කරන්නේ, දැනුම ලබා දෙන්නේ කුඩා දරුවන්ට. දරුවන් සමඟ කලාව, සංස්කෘතිය පිළිබඳ අදහස් බෙදා ගන්නා විට ඔබට තිබෙන අදහස කුමක්ද?
පුංචි ළමයි සමඟ වැඩ කරනකොට පූර්ව සැලසුමක් ඇතුව ගිහින් වැඩ කරන්න බෑ. හැබැයි යම් කිසි දළ සැලැස්මක් තියෙන්න පුළුවන්. අපි වැඩේ ගොඩනගන්නේ එතන ඉන්න ළමයින්ගේ සහභාගිත්වයත් එක්ක. ඒ කියන්නේ අපි කරන්න යන වැඩේ නෙමෙයි සමහර වෙලාවට අපිට කරන්න වෙන්නේ. අපිට තේරෙනවා මේ ළමයි එක්ක වෙන විදියකට උගන්නන්න වෙන්නේ කියන එක. ඒක තේරුම් ගැනීම තමා ගුරුවරයෙක් තුළ තිබිය යුතු කාරණය. එක දවසක් මම අපේ ගමේ දී උගන්න උගන්න ඉද්දි වහින්න පටන් ගත්තා. ළමයි ඉතින් වැස්ස දිහා බලනවා. මම කිව්වා අපි පාඩම වැස්ස කරමු කියලා. ළමයි එක පාරම කෑ ගැහුවා. මම කිව්වා අම්මලාගෙන් අහලා එන්න කියලා. ඒ කීකරුකමත් තියෙන්න ඕනෙනේ. එතකොට අම්මලාටත් බෑ කියන්න බෑනෙ. ඉතින් අපි එදා පාඩම කරේ වැස්සෙ තෙමි තෙමි. ඊට පස්සෙ දවසක බලනකොටත් ඒ පාඩම දරුවන්ට හොඳට මතකයි.
දඟ කියන එක ළමයෙකුගේ ඇඟේ තියෙන දෙයක්. අපි ගොඩක් වෙලාවට ළමයෙකුට කියන්නේ ‘ඕක කරන්න එපා. ඕක කරන්න,‘ කියන වචන ටික. සාමාන්‍යයෙන් එපා කියන දේ කරන්න අපි ඕන කෙනෙක් කැමතියි. ආදම් සහ ඒවගේ පටන් ඒක වෙලා තියෙනවා. ඒ නිසා එපා නොකියා, එයාටම මේක එපා කියන මට්ටමට ළමයව ගේන්න පුළුවන් නම් ඒක තමා ළමයෙක් එක්ක වැඩ කරන්න පුළුවන් ක්‍රමය.
උදාහරණයක් විදියට පන්තිවල හොඳ කතාකාරයෝ ඉන්නවා. මම ගිය ගමන්ම ටක් ගාලා, ‘ආ මෙයා මගේ යාළුවා…,’ කියද්දි එයාට තේරෙනවා මගේ අවධානය එයාට ආවා කියලා ‘දැන් කතා කරන්න නරකයි අහගෙන ඉන්න ඕනේ,’ කියන එක එන්නේ ඒකෙන්. එයාට තරවටුවක් කළොත් එතනින් එහාට පාඩම අහගෙන ඉන්නෙම නෑ. එයාට කරන තරවටුවෙන් පන්තියේ අනිත් ළමයින්ටත් වැඩේ එපා වෙන්නත් පුළුවන්. ළමයි එක්ක වැඩ කරද්දී රූල් ඉරි ගහලා මෙහෙමයි කළ යුත්තේ කියන්න බැහැ. හැබැයි ළමයි එක්ක වැඩ කරද්දි අපි අලුත් වෙනවා. මේ කියන දේ නෙවෙයි අනිත් ළමයා කියන්නේ. කෙනාගෙන් කෙනාට අපි අලුත් අත්දැකීමක් ලබන්නේ. ඒක සතුටින් ලබන්න පුරුදු වුණොත් ළමයි එක්ක වැඩ කිරීම කවදාවත් එපා වෙන්නේ නැහැ.
එක එක බෝතල්වලට වතුර දැම්මහම වතුර ටික බෝතලයේ හැඩය ගන්නවා වගේ ළමයිත් එක්ක ඉන්න මානසිකව හැඩගැහෙන්න පුළුවන්නම් ළමයි එක්ක වැඩ කිරීම පහසුයි.
ඔබේ පදනම ලබාගත් ජයග්‍රහණ මොනවාද?
අපි සාමාන්‍යයෙන් කණ්ඩායමක් විදියට වැඩ කරන අතරේ කල්පනා කරා තරග වලට යන්නෙ නෑ කියන එක. හැබැයි අපි එකම තරගෙකට සහභාගි වෙලා තියෙනවා 2011දි චීනයේ පැවැති ජාත්‍යන්තර ජන ගී උළෙලට. ඒකෙදි ලෝකෙ හොඳම ප්‍රසාංගික ජන ගී කණ්ඩායම බවට වුණා. ඊළඟට සහභාගි වුණ උළෙලවලදී අපි ජයග්‍රහණ අත්පත් කරගෙන තියනවා. 2019 චීනයේ පැවැති ජන සංගීත උළෙලේ දී රටවල් පනස් තුනක් අතරින් රටවල් දාහතක් අතරට තේරීම, අනිත් නර්තන කණ්ඩායම්වල ආරාධනය පරිදි තුන්පාරක්ම වේදිකාවට නැගපු පළමු කණ්ඩායම වීම, වරක් ඕස්ට්‍රේලියාවේ පැවති විවිධ රටවල ජීවත්වන අයගේ සමුළුවේ දී දකුණු ඉන්දියාවේ කාන්තාවක් කළ ආරාධනයකට අනුව අපට ඉන්දියාවට යාමට අවස්ථාව ලැබීම, 2012 දි ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක සංදර්ශන පැවැත්වීම. මේ එක සංදර්ශනයක් බලන්න විසිදාහක් පමණ සෙනගක් එනවා. සංදර්ශනය ඉවරවෙලා අපිට එන්න වුණේ පොලිස් පොලිස් ආරක්ෂාව යටතේ. 2017 දි අපේ ළමා නර්තන කණ්ඩායම දකුණු කොරියාවටයාම,ඉන් කිහිපයක්.
ලංකාවේ අස්ථිරභාවය තුළ මිනිසුන්ගේ මානසික තත්ත්වය පාලනය කර ගන්නට මේ අර්බුදකාරී තත්ත්වයෙන් මිදෙන්නට ජන සාහිත්‍ය කලාව යොදා ගත හැක්කේ කෙසේද?
අපි දන්නවා ටයිටැනික් නැව ගිලෙද්දී වාදක මණ්ඩලය ගීත වාදනය කළා. රුසියාවට ජර්මනිය හමුදාව ඇතුළු වෙද්දී රුසියාවේ සංගීත උත්සව පැවැත් වූවා. අර්බුදය හා කලාව වඩාත්ම බද්ධයි. මිනිස්සුන්ගේ ආතතිය දුරලන්න සංගීතයට පුළුවන් කියන එක ලෝකයම විශ්වාස කරනවා. ඉස්සර මානසික තත්ත්වය සන්තර්පණය කරන්නට, ගැටලු නිරාකරණය කරගන්නට බාල ගණයේ කොමඩි හරි මොනව හරි දේවල් එක්ක මිනිස්සු සැහැල්ලු වෙන්න, මොකක් හරි වැදගත් දෙයකුත් ඕනේ කියන අදහසක් තියෙනවා. එවැනි නිර්මාණ කෙරෙන පසුබිමක් සැකසිලා තියෙනවා. දුර්මුඛ වෙන්න අවස්ථාවක් නෙවෙයි මේක. නිර්මාණකරුවන්ට හොඳ තෝතැන්නක්.
අපි නිර්මාණකරණයේ වැඩිවැඩියෙන් යෙදෙන්න ඕනේ. හැබැයි මේකෙදි නිකන් අර එදා වේල ටුවර්ස් වගේ මේ වෙලේට මොකක් හරි කරන්න නෙමේ අපි කරන දේ දීර්ඝ කාලීනව මිනිසුන්ට කොයි විදිහට වැදගත් වෙයිද කියන එක් අපි කල්පනා කරමින් නිර්මාණකරණයේ යෙදුණු තමයි ඒක යහපත් දෙයක් වෙන්නේ. කලාකරුවන්ට කරන්න වැඩ කොටසක් තියෙනවා. දේශපාලනික විතරක් නෙමෙයි ආහාර අර්බුදයකුත් දැන් ඇවිල්ලා තියෙනවා. ඒකට කලාව පැත්තෙන් මිනිසුන්ට අදහසක් දෙන්න පුළුවන්. අනාගතවාදී අදහස් සමග කලාවේ යෙදුනොත් එය කලාවේ සදාතනික බවට රුකුලක් වේවි.
*** *** ***
Interviewed by Osanda Yohan.
Written by Gavithri Yatigammana.