” මෙම ලිපියට ලැබූ ප්‍රතිචාර කිහිපයක්, ආචාර්‍යය උල්ලුවිස්හේවා මහතා සාරාංශ කර අප වෙත එවා ඇත. පාඨකයාගේ වඩාත් පහසුව සඳහා ඉතිරි කොටස් ඊළඟ කලාප වල පළ කිරීමට අදහස් කරමින් ප්‍රතිචාර දෙකක් පමණක් මේ සමග ඉදිරිපත් කරමු. ඔබගේ අදහස්ද ඒ මහතා වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමු. “
සංවර්ධිත සෞභාග්‍යමත් සාමකාමී ජනතාවකට වාසභූමිය වූ නවසීලන්තයේ කලක් ජීවත් වීමෙන් ලැබූ අත්දැකීම් අනුව ශ්‍රී ලාංකික සමාජයේ කුමන ලක්ෂණ ශ්‍රී ලංකාවට එවැනි රටක් වීමට බාධා වී ඇත්ද යන්න පිළිබදව පාඨක අදහස් අප සමග බෙදා ගන්නා ලෙස අප කළ ඉල්ලීමට ලැබුණු තවත් ප්‍රතිචාර සමූහයක් ඔබ සමග බෙදා ගැනීම්යි මේ ලිපියේ අරමුණ. අපට මුලින්ම ලැබුණු ප්‍රතිචාර පසුගිය කලාපයේ පළවූ ලිපියෙන් ඔබ සමඟ බෙදා ගත්තෙමු. මේ සංවාදය තව දුරටත් ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙමු.
ශ්‍රී ලංකාවේ වසර දහයක පමණ කාලයක් පෞද්ගලික අංශයේ ව්‍යාපාර කළමනාකරුවෙකු වශයෙන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් ද සේවය කොට අනතුරුව නවසීලන්තයේ වසර දහතුනකට වැඩි කාලයක් විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වශයෙන් සේවය කළ පාඨකයෙක් තම ප්‍රතිචාර මේ ලෙස අප සමග බෙදාගත්තා.
රටක ජනතාවගේ යහපැවැත්ම සහ සහ ඒ රටේ යහපාලනය එකිනෙකට වෙන් කළ නොහැකි ආකාරයට හේතු ඵල වශයෙන් බැඳී ඇති බව මා දකිනවා. නවසිලන්තයේ සෑම ආයතනයකම මෙන්ම යහපාලනයක් පවතිනවා. ඒ නිසා ඒවායේ සේවය කරන නවසීලන්ත ජාතිකයින් අතර යහපැවැත්ම දක්නට ලැබෙනවා. එම ආයතන තුළ අයහපත් හැසිරීමකට හෝ ක්‍රියාකාරකම් වලට පවතින්න බැහැ. එහෙත් ශ්‍රී ලංකාවේ ආයතනවල ඒ ආකාරයේ යහපාලනයක් නැහැ. ඒ නිසා අයහපත් වූ හැසිරීම් සහ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ සෑම ආයතනයකම මෙන්ම දක්නට ලැබෙනවා.
උදාහරණ වශයෙන් නවසීලන්තයේ ආයතනවල රැකියා ලබා දීමේ දී සුදුසුකම් සහ දක්ෂතා අනුව එය සිදු වෙනවා. වෘත්තීයමය අත්දැකීම් හා සුදුසුකම්වලට අමතරව සමූහයක සාමාජිකයෙක් වශයෙන් ක්‍රියාකිරීමේ හැකියාව සලකා බලනවා. ඒ වගේම බඳවා ගැනීමේ ක්‍රියා පරිපාටිය විනිවිද බවක් තියෙනවා. උසස්වීම් දීමේ දී ද ඒ විනිවිද බව පවතිනවා. කෙනෙකුට තමාට හිමි උසස්වීම නොලැබුණේ නම් ඊට හේතු දක්වනවා. ඒ වගේම ඊට හේතු වූ දුර්වලතා පෙන්වාදී ඒවා නිවැරැදි කර ගැනීමට උදව් කරනවා. මෙවැනි ක්‍රමවේද සෑම ආයතනයකම මෙන් පවතිනවා. ඒ මගින් සෑම වෘත්තියකම යහපැවැත්ම සහතික කරනවා. එහෙත් ශ්‍රී ලංකාවේ බොහෝ අය ආයතනවල මෙවැනි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා දූෂණ සහ අසාධාරණකම් බොහෝවිට සිදු වෙනවා.
ඒ වගේම නවසීලන්තයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික සේවා ආයතන වලින් තම සේවාදායකයින්ට සාධාරණ සහ කාර්යක්ෂම සේවයක් ලැබෙන ආකාරයට ක්‍රමවේදයක් හා නීතිමය ව්‍යුහයන් සකසා තියෙනවා. පවතින ක්‍රමවේදයය අනුව නිලධාරීන් සහ සේවා දායකයින් එකිනෙකාට ගරු කරනනවා. කාර්යක්ෂම සේවයක් සැපයීම සහතික කරනවා. එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ඒ ආකාරයේ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා එම ආයතන ආයතනවලින් සේවය ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයින්ට කාර්යක්ෂම සේවයක් ලැබෙන්නේ නැහැ. නවසිලන්තයේ ආයතනවල මෙන් නිලධාරීන් සහ සේවා දායකයින් එකිනෙකාට ගරු කිරීමක් දක්නට ලැබෙන්නේත් නැහැ. නවසීලන්තයේ මහජනතාවට සේවය සපයන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවයට ඉහළම ප්‍රමුඛත්වය දෙනවා. එහෙත් එය ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. නවසීලන්තයේ පවතින ආකාරයට මේ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් නොමැති වීම ශ්‍රී ලංකාවේ ප්‍රගතියට බාධා වී ඇති බව මා විශ්වාස කරනවා.
නවසීලන්තයේ බොහෝ ආයතනවල වැඩ කරන කාලය සහ ස්ථානය පිළිබඳව නම්‍යශීලී බවක් පවතිනවා. ඒ නිසා සේවකයින්ට තම වෘත්තීමය වගකීම්, පවුලේ වගකීම් සහ සමාජයේ වගකීම් සමබරව පවත්වා ගැනීමට හැකියාවක් තියෙනවා. එහෙත් ශ්‍රී ලංකාවේ බොහෝ ආයතනවල එබඳු නම්‍යශීලී බවක් නැහැ.
නවසීලන්තයේ සෑම වෘත්තීයකම යහපත් ජීවන මට්ටමක් පවත්වාගෙන යාමට අවශ්‍යය අවම ආදායම ලැබෙනවා. ඒ නිසා අයථා ක්‍රම වලින් මුදල් ඉපයීමට පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම සෑම වෘත්තීයකටම මෙන්ම එක සමාන සමාජ තත්ත්වයක් තියෙනවා. උදාහරණ වශයෙන් දොස්තර කෙනෙක් හා වඩු කාර්මිකයෙක් බාහිර පෙනුමෙන්, ජීවත්වන නිවසෙන් හෝ තමන් ගමන් කරන මෝටර් රථයෙන් වෙන්කොට අඳුර ගන්න බැහැ. නමුත් ශ්‍රී ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැහැ. ඒ නිසා වැඩි ආදායම් ලබන උසස් සමාජ තත්වයක් හිමි වෘත්තීන්ට තම දරුවන් යොමු කිරීමට දෙමාපියන් පෙළඹෙනවා. ඒ නිසා උගත්, දක්ෂ, පුහුණු වඩු කාර්මිකයින් හා මේසන්වරුන් වැනි වෘත්තිකයින්ගේ හිඟයක් පවතිනවා. එය ශ්‍රී ලංකාවේ ප්‍රගතියයට බාධාවක්.
නවසීලන්තයේ පවතින අධ්‍යාපන ක්‍රමය අනුව දරුවන් නිදහසේ හැදෙනවා. තම සහජ හැකියාවන් සොයාගෙන ඊට ගැලපෙන අධ්‍යාපනයක් ලබා ගන්න ඔවුන්ට පුළුවන්. එහෙත් ශ්‍රී ලංකාවේ එබඳු තත්ත්වයක් නැහැ.’
වසර හතළිහකට වැඩි කාලයක් නවසීලන්තයේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු හා විද්‍යාඥයකු වශයෙන් සේවය කළ ශ්‍රී ලාංකික මවක් අප සමඟ මේ ආකාරයෙන් ඇගේ අදහස් බෙදාගත්තා.
මගේ අත්දැකීමේ හැටියට නවසීලන්තයේ ප්‍රගතියට හේතු වෙලා තියෙනවා නවසීලන්ත වාසීන්ගේ යහපත් ගතිගුණ රාශියක්. ඒවා අතර ඔවුන්ගේ අවංකභාවය, යුක්තිගරුක බව, ගුණගරුක බව, නීතිගරුක බව, සාධාරණ බව සහ සම්පත් අන්‍යයන් සමඟ බෙදා ගැනීමට දක්වන්න නැඹුරුතාවය වැදගත් වෙනවා. නවසීලන්ත වාසීන්ගේ බහුතරයක් තුළ මෙවැනි යහපත් ගුණ මා දකිනවා. මෙවැනි ගුණ යහපත්කම් ශ්‍රී ලාංකිකයින් බහුතරයක් තුළ වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රගතියට අවශ්‍ය බව මම විශ්වාස කරනවා.
නවසීලන්තයේ සෑම වෘත්තියකටම එක සමානව ගරු කරනවා. මා දැක තියෙනවා ලංකාවෙ එහෙම නැති බව. එහි ගොවිතැන් කරන අය පහත් කරලා හිතනවා. තවත් බොහෝ අත්‍යාවශ්‍යය සේවාවන්හි නියුක්ත පුද්ගලයින් කෙරෙහි පහත් වු ආකල්පයක් තියෙනවා. මේ වගේ ආකල්ප ශ්‍රී ලංකාවේ ප්‍රගතියට බාධාවක්.
නවසීලන්තයේ දෙමාපියන් තම දරුවන් හදන ආකාරය අනුව එම දරුවන්ට යහපත් පුරවැසියකු වීමට අවශ්‍ය ගුණාංග ලැබෙනවා. උදාහරණ වශයෙන් දරුවන්ට තම පෞද්ගලික කටයුතු සහ අධ්‍යාපන කටයුතු ස්වාධීනව කරගෙන යාමට අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔවුන් වැඩිවියට පැමිණෙන විට ස්වාධීනව සිතීමටත් තීරණ ගැනීමටත් අවශ්‍ය හැකියාව ලැබෙනවා. ඔවුන් තුළ ස්වයං විනය වර්ධනය වෙනවා. එහෙත් මා මෙවන්නක් දකින්නේ නැහැ ශ්‍රී ලංකාවේ. එහි දෙමාපියන් දරුවන්ගේ කටයුතුවලට උවමනාවට වඩා මැදිහත් වෙන බවක් මා දකිනවා. ඇතැම් මධ්‍යම පන්තියේ පවුල්වල දරුවන්ගේ බොහෝ කටයුතු ගෘහ සේවක සේවිකාවන්ලවා කරවනවා. මේ නිසා ඔවුන්ට ස්වාධීනව සිතීමට සහ ජීවත් වීමට අවශ්‍ය පුහුණුව ලැබෙන්නේ නැහැ. මෙය ඔවුන්ගේ ආත්ම විශ්වාසය සහ ආත්මාභිමානය කෙරෙහි අයහපත් ආකාරයට බලපානවා.
‘මෙයට තවත් හේතුවක් වෙනවා ශ්‍රී ලංකාවේ පාසල්වල උගන්නන ආකාරය. මගේ අත්දැකීමේ හැටියට ශ්‍රී ලංකාවේ පාසැල්වල උගන්වන්නෙ දැනුම හැන්දකින් පොවන ආකාරයට. එය දරුවාගේ සහජ හැකියාවන් වර්ධනය කොට පූර්ණ පුද්ගලයෙකු බවට පත්වීම්ට හේතුවන්නේ නැහැ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට බාධාවක්. එහෙත් නවසීලන්තයේ පාසල්වල උගන්වන ක්‍රමය වෙනස්. එහි දී දරුවාට දැනුම බාහිර වශයෙන් පෙවීමක් සිදුවන්නේ නැහැ. ඒ වෙනුවට ස්වාධීන පැවරුම් මගින් දරුවාගේ සහජ හැකියාවන් ස්වාධීනව වර්ධනය කර ගැනීමට ඉඩ දෙනවා.
ඒ වගේම මම දැකල තියෙනවා ශ්‍රී ලංකාවේ සමහර දෙමපියන් තම දරුවන් ඉදිරියේම ගෘහස්ථ සේවක සේවිකාවන්ට පහත් විදියට සලකනවා. රළු ආකාරයට කතා කරනවා. මේ නිසා දරුවනුත් පුරුදු වෙනවා දුප්පත් අය පහත්කොට සැලකීමට. නවසීලන්ත සමාජයේ මේ ආකාරයේ ආකල්ප නැහැ.
ස්වෙච්ඡාවෙන් අන්‍යයන්ට උදව් කිරීම නවසීලන්ත සමාජයේ බහුතරය තුළ පවතින උතුම් ලක්ෂණයක්. බොහෝ තරුණ තරුණියන් ස්වෙච්ඡා සේවයේ යෙදෙනවා. පුද්ගලයාගේ වර්ණය, ජාතිය හෝ ආගම වැනි වෙනස්කම් ආදිය නොබලා අවශ්‍ය අවස්ථාවල දී පරිත්‍යාගශීලීව උදව් කිරීම මා නවසීලන්ත ජාතිකයින් තුළ කොතෙකුත් දැක තිබෙනවා. මේ සම්බන්ධයෙන් මගේ එක් අත්දැකීමක් පමණක් ඔබ සමග බෙදාගන්න කැමතියි. වරක් ශ්‍රී ලංකික පවුලකට අයිති කුඩා ආපන ශාලාවකට හානි පැමිණුනා මංකොල්ල කරුවන් කණ්ඩායමක ගෙන්. මේ පිළිබඳව දැනගත්විට අපිත් එහි ගියා ඔවුන්ට උදව් කරන්න. අපි යන විටත් නවසීලන්ත ජාතික යුරෝපීයයන් රාශියක් ඒ විපතට පත් ශ්‍රී ලාංකික පවුලට උදව් කරමින් සිටියා. ඔවුන්ගේ පරිත්‍යාගශීලී බව අපි පුදුමයට පත් කළා.
Dr. Rohana UlluvisHewa
(ulluwishewa@xtra.co.nz)
මතු සම්බන්ධයි..