සෙලින් අපනයන සමාගම හා කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර විදුහලෙහි සභාපති තුමිය: සැන්ඩ්‍රා වඳුරාගල මහත්මිය.
අද ‘පිළිසඳර’ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තතාවක් සමගයි. ඇය 1991 වසරේ ආරම්භ කළ, දැනට සාර්ථකව පවත්වාගෙන, ශ්‍රී ලංකාවේ ‘ලෝක සාධාරණ වෙළෙඳ නාමය’ යටතේ සාමාජිකත්වය හිමි Selyn Export Limited රෙදිපිළි ආයතනයේ නිර්මාතෘ : සැන්ඩ්‍රා වඳුරාගල මහත්මියයි. අපි ඇයව සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සැන්ඩ්‍රා වඳුරාගල මැතිනියනි.
ආයුබෝවන්.
කාරුණිකව, අපගේ පාඨකයන් වෙනුවෙන්, ඔබතුමිය ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවනිද?
කොළඹ ඉපදුන මම කුරුණෑගල උසස් පෙළ හදාරා 1979 වර්ෂයේ නීති විද්‍යාලයට ඇතුළත් වුණා. 1982 වසරේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී අද දක්වා නීතිඥ වෘත්තියේද නියැලී ඉන්නවා. 1985 දී විවාහ වුණා. 1992 වසරේ ව්‍යාපාර ලෝකයට අවතීර්ණ වුණා.
ඔබතුමියට අයත් ව්‍යාපාර මොනවාද?
පේෂ කර්මාන්තයට අදාළව කුරුණෑගල Selyn Export Limited ආරම්භ කළා. මාගේ සහෝදර හිලරි වඳුරාගල ආරම්භයේ පටන්ම මා සමග අත්වැල් බැඳ ගත්තා. වර්තමානයේ මාගේ දියණිය සෙලිනාත් එම ව්‍යාපාරයේ කටයුතු කරනවා. මාගේ ස්වාමි පුරුෂයා වන ආචාර්ය නිව්ටන් පිරිස් මහත්මා සමඟ අපි පටන් ගත්ත කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසල දැන් මගේ පුතා රවි පීරිස් කරගෙන යනවා. එම ආයතන දෙකේම සභාපතිනිය විදිහට මම වැඩ කරනවා.
ඔබ තුමියගෙන් රටට හා සමාජයට සිදු විය යුතු යුතුකම් ලෙස දකින්නේ මොනවා ද?
අද වඳවීගෙන යන පේෂකර්මාන්තය පණ ගැන්වීමටත් එයට නිසි වටිනාකමක් ලබාදීමටටත් අපි ලොකු කාර්යයක් කරගෙන යනවා. වර්තමානයේ ළමුන් තුන් දාහකට වැඩි පිරිසකට රෝයල් ජාත්‍යන්තර පාසල මගින් ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් පළාතේ දරුවන්ට ලැබෙන පිටිවහලක්.
Selyn Export Limited ආයතනයේ ආරම්භය ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවනිද?
අද කවුරුත් දන්නා මෙම ආයතනය 1991 වසරේ නොවැම්බර් මාසයේ ගෘහස්ථ කර්මාන්තයක් විදිහට කාන්තාවන් පහළොස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් වඳුරාගල දී ආරම්භ කළා.
සැන්ඩ්‍රා වඳුරාගල යනු ඔබට අනුව කවුද?
මම ඉතාම සංවේදී, අනුන්ගේ දුක හඳුනන, ඉතාම ශක්තියකින් හෙබි පුද්ගලයෙක්. ඕනෑම දෙයක් ඉවසා දරාගෙන අභියෝග හමුවේ නොසැලෙන චරිතයක් ලොකු අරමුණක් ඔස්සේ ගමන් කරන ඉවසීම අඩු පුද්ගලයෙකි.
ලෝක සාධාරණ වෙළෙඳ නාමය සහ තිරසාරත්වය (Fair Trade and Sustainability) යන සංකල්පය ඔබ තුමිය පැහැදිලි කරන්නේ කොහොමද?
ලෝක සාධාරණ වෙළෙඳ නාමය යටතේ සාමාජිකත්වයක් ලබා ගැනීමට අප සමත් වෙලා තියෙනවා. එහි මූලධර්ම වලට සමගාමීව අපේ ව්‍යාපාරය කෙතරම් දුරට මෙහෙ වනවා ද කියා තුළින් සොයා බලනවා. මම ව්‍යාපාරය ආරම්භ කරන මුදලින් පොහොසත් විය යුතුයි, මුදල් හම්බ කළ යුතුය, යන පරමාර්ථයෙන් තොර ව මාගේ උත්සාහයෙන් යම් කිසි දෙයක් රට වෙනුවෙන් කළ යුතු යැයි කියා යම් කිසි තැනකදී කල්පනා කරනවා. මාගේ සිතුවිලි මෙම ලෝක සාධාරණ වෙළෙඳ නාමයට අදාල මූලධර්ම වලට ඉතාමත්ම සමාන බව තේරුණා. පසුව, ඊට අදාල මූලික අවශ්‍යතා සපුරා ගනිමින් , විවිධාකාරයේ අත්හදාබැලීම් බැලුවා. උදාහරණයක් ලෙස ව්‍යාපාරය පවත්වාගෙන යෑම, ලාභ ලබා ගැනීම,ප්‍රතිආයෝජනය, ප්‍රතිලාභ මොනවාද, රැක ගැනීමේ විවිධ ක්‍රමවේදයන් වගෙ කරුණු සලකා බැලීමට සහ ඒ තුළින් ‘ලෝක සාධාරණ වෙළෙඳ නාමය’ පවත්වා ගැනීමට ගැන විමසිලිමත්වීමට අපට අවස්ථාව ලැබුණා.
මෙම මූලධර්ම අනුගමනය කරමින් යන ගමනේදී අපව විවිධ අවස්ථාවලදී පරීක්ෂණයට භාජනය කරමින් අප ලෝක සාධාරණ වෙළෙඳ නාමය යටතේ පවතින තහවුරු කිරීමේ සහතිකය ලබා ගැනීමට සුදුසු ද කියා සොයා බැලීමට අවස්ථාවන් ලබාගැනීමට සිදුවුණා. එහි පැවැත්ම සඳහා ලොකු කාලයක් ගත වෙනවා. එය එක්තරා විදිහක දිගු ගමනක්. අප 50% ක 60% ක ප්‍රමාණයක් දක්වා අපේ මෙම ගමන වර්තමානයේ සාර්ථකයි.
තිරසාරත්වය ගැන කතා කළහොත් සමාජ ප්‍රශ්නය අඳුනා ගැනීම, ප්‍රශ්නය විසඳීම , ව්‍යාපාරය ආරම්භ කිරීම, ඒ අනුව ව්‍යාපාරය ලාභය හා එහි පැවැත්ම යනාදී කරුණු ගැන සොයා බැලීම ඉතාම වැදගත්. හේතුව අපි ග්‍රාමීය මට්ටමෙන් හරි ලාභ නොලබන සංවිධානයක් විදිහට හරි මෙම ව්‍යාපාරය ආරම්භ කළා නම් ඔක්කෝම පිටතින් බලාපොරොත්තුව වෙනවා. නමුත් අද තත්වයට, එම සංකල්පය තිරසාරත්වය යන ආකෘතියට ගැලපෙන නිසා අපේ මෙම ආයතනය විශේෂයෙන්ම සාධාරණ වෙළඳනාම යටතේ පවතින ආයතනයක් විදිහට නමක් අරන් තියනවා.
ඔබේ නිෂ්පාදනයන් සදහා විදේශීය වෙළඳපලේ තියෙන ඉල්ලුම මොන වගේ තත්ත්වයකද?
අපගේ අත්කම් නිර්මාණ වලට වැඩි ඉල්ලුමක් ලැබෙනවා. ග්‍රාමීය කාන්තාවන්ට සිදු කරන සුවිශාල මෙහෙවරක් නිසාම එහි වටිනාකම ඉහළයි. අපේ නිර්මාණවල විවිධත්වයකුත් තියනවා. අඛණ්ඩ සැපයුම නිසා විදේශ ඉල්ලුමත් තියනවා. ඉන්දියාව චීනය එක්ක තියන තරගය තමා ලොකුම අභියෝගය.
ව්‍යාපාරික ලෝකයට පිවිසෙන කාන්තාවක් සතු විය යුතු විශේෂ ගති ලක්ෂණ මොනවාද?
ඇයටත්, පිරිමී පාර්ශවයට තියනවා හා සමාන අභියෝග තියනවා. පවුලේ ජීවිතය රැඳී තියෙන්නේත් ඇය මත. තමා ජීවත් වන පරිසරයෙන් ලැබෙන උදව් මේ සඳහා ඉතාම වැදගත්. මම ඒ සියලුම අභියෝග දිනාගෙන අද මේ තත්ත්වයට ආවා. මගේ දරුවන්ගේ සුරතල් ළමා කාලය හරිහැටි වින්දා ද යන්න අදටත් මතක නැහැ. නමුත් ඔවුන් මා ආදර්ශයට ගන්නවා. තමාගේ යුතුකමත් දරුවන්ට ඇති සෙනෙහසත් සමබරව තබාගෙන මේ ගමන යා යුතුයි. නමුත් පිරිමි පාර්ශ්වයේ මැදිහත්වීමකින් තොරව විශාල ව්‍යාපාර ආරම්භ කිරීම ලාංකීය කාන්තාවකට අභියෝගයකි.
වර්තමානයේ විවිධ භූමිකා වල ජීවත්වන කාන්තාවන්ට ඔබ දෙන්නා වූ උපදෙස කුමක්ද?
තමා කවුද කියා හදුනාගෙන, වගකීම් – යුතුකම් ඉෂ්ට කරමින්, ඉවසීමෙන් යුතුව ,හොඳ පෞර්ෂයක් ඇතුව ඉදිරියට යා යුතුයි. දීර්ඝ ලෙස වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය තමන් තුළින්ම ගොඩනගා ගත යුතුය. තමාට වඩා ව්‍යාපාරය ගැන සැලකිලිමත් වියයුතුයි. උදාහරණයක් ලෙස මාගේ ව්‍යාපාරය මිස රූපලාවණ්‍ය ගැන සිතන්න මට වෙලාවක් ලැබුණේ නැහැ.
කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන විදේශීය ශ්‍රී ලාංකිකයන්ට වර්තමාන වෙළඳපලේ ඇති අවස්ථා කෙබඳු ද? ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය මොනවාද?
අද විදේශ සැපයුම් අඩු නිසා, තම නිෂ්පාදනයට අවශ්‍ය දේවල් රට තුළින් සොයාගත යුතුයි. ‘වෙළඳපලට’ අලුත් අදහස් බිහිකිරීමට විවිධ සමීක්ෂණ කර මුදල් ආයෝජනය කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් වීම වැදගත්. ඊළඟට තම ව්‍යාපාරයක් ගොඩනැගීමට කාලය යෙදවීය යුතුයි. එය ලේසි නෑ.අපේ රටේ නිලධරය සමග කටයුතු කිරීම අසීරු කාර්යයක්. ඉවසීමෙන් තමාගේ අරමුණ කරා යා යුතුයි. අද කෘෂි හා ආහාර ක්ෂේත්‍රවල විවිධ කටයුතු සඳහා දේශීයව හොඳ ඉල්ලුමක් තියනවා.
කාලයත් සමගම තම ව්‍යාපාර තමන්ගේ පරපුරට පවරන විට සලකා බැලිය යුතු කරුණු මොනවාද?
යම් දෙයක පැවැත්මට යම්කිසි පුහුණුවක් අත්‍යවශ්‍යයි. මගේ දරුවන් ඒක විශ්වාස නොකරනවා නම්, මේ දේවල් ඔවුන්ට බාර දෙන්නේ නැහැ. මෙහි දර්ශනයක් තියනවා. සමාජයීය බලපෑම ඉතා ඉහළයි. දරුවන් වුණ පලියට ඒ පිළිබඳ අවබෝධයක් නැත්නම් ව්‍යාපාර ලබා දීම නුසුදුසුයි. මේ පිළිබඳ සංවේදී භාවයක් ඔවුන් තුළ ද ඇති විය යුතුය. අපගේ ව්‍යාපාරයේ කෙතරම් කාන්තාවන් ප්‍රමාණයක් අපි බලා ගන්නවද, ඔවුනට අපගේ ව්‍යාපාරය හරහා කොයි තරම් සේවයක් ලැබෙනවාද කියා ඔවුන්ට අවබෝධයක් නැතිනම් මාගේ ව්‍යාපාර ඔවුනට කිසිදාක පවරා දෙන්නේ නැහැ.
වර්තමානයේ ඔබ මුහුණ දෙන අභියෝග සහ එයට ඔබගේ සේවා මඬුල්ලෙන් ලැබෙන සහයෝගය ගැන අදහස් දක්වන්න පුළුවනි ද?
ආත්ම විශ්වාශයෙන් යන මේ ගමනේ මා පසුපස ගෝලයන් පිරිසක් ඉන්නවා. ඔවුන් නොමැතිනම් මට මේ ගමන යාම අමාරුයි. ඒ අය සමග මේ ගමන අවබෝධයක් ඇතිව යනවද කියාත් මා විමසිලිමත් වියයුතුයි. අපේ ලොකුම අභියෝගය තමා වෙනස් වන සුළු රාජ්‍ය ප්‍රතිපත්තීන් එක්ක ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාම. ඔය කාරණය මා අසීරුතාවයට පත්කළ අවස්ථා එමටයි. ඒත් පටන් ගත්ත දෙය අත්හරින්න බැරි නිසා අභියෝග වලට මූණ දීල ඉදිරියට යනවා.
සමාජයේ හැලහැප්පීම් සිදුවන අවස්ථාවලදී සංස්කෘතිකමය රාමුවක සිටින කාන්තාවට, කාන්තාවක් ලෙස, ඔබ දෙන පණිවිඩය කුමක්ද?
ආත්ම ගරුත්වය, ආත්ම අභිමානය, ආදර්ශය, තමා හඳුනාගැනීම, තම අරමුණ කරා යෑම සහ නොසැලෙන උත්සාහය තියනවා නම් අපි කරන ව්‍යාපාරය කුමන මට්ටමක තුළ වුවද පවත්වා ගනිමින්, තම නම රඳා ගැනීමට සමත් වෙනවා.
අවසාන වශයෙන්, සමාජයේ අද බහුලව කතා කරනවා කාන්තාවට සම තැන ලැබීම ගැන. හොදයි ඇයට නිසි තැන ලැබීමෙන් පසුව සමාජයේ ලැබෙන තත්ත්වය කෙබඳුද?
එය ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඇයට සමාජයේ අසම හෝ අසමසම තැනක් ලැබෙන්නේ නැහැ. තමාට ලැබෙන තැන පිළිබඳ තමාම කල්පනා කළ යුතුයි. එය තමාම සාදා ගත යුතුයි. ඉන්දියාව වගේ රටක් ගත්තොත් මේ තත්ත්වය එහේ වෙනස්. ලාංකීය දේශපාලනයේදී කාන්තාවන්ට බලයක් නැහැ. සමාජයේ දී එල්ල වන බාධක විශාලයි. අපේ රටේ ක්‍රමවේදයක් නැතිකම නිසා එම අසමතුලිතභාවය අපට උරුම වී තිබෙනවා.
අපගේ ඉල්ලීම මත පිළිසඳර වැඩසටහන හා සම්බන්ධ වීම පිළිබඳ සැන්ඩ්‍රා වදුරාගල මහත්මියට ‘ශ්‍රී ලන්කන්ස්’ පත්තරය වෙනුවෙන් අපගේ ස්තුතිය පුදකරනවා.
-ගවිත්‍රී යටිගම්මන-
(සම්පූර්ණ සාකව්ඡාව අපගේ යූ-ටියුබ් නාලිකාවේ පළවනු ඇත.)