fbpx
8.8 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කේක් ලොව ජයගත් “Palmy නිලූ……..” | නිලූකා සුරංගී වේලාතන්තිරි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

(නිලූපා  කොඩිකාර ගේ විසි අවුරුද්දක ගමන් මග)

අහස රතු පාටට සැරසෙමින් ඉර බැහැගෙන යන සැන්දෑවක මං Palmerston North Summerhill වල පිහිටි නිලුපා කොඩිකාරගෙ නිවසට ගොඩ වැදුණේ කලින් කතා කරගත් පරිදි. මුව පුරා හිනාවෙලා ඇය මාව ආදරයෙන් පිළිගත්තා. “පාමි වල කේක් හදන නිලූ”ලෙස කවුරුත් හඳුනන ඇය ගැන අලුත් තොරතුරු ටිකක් දැන ගැනීම තමා මගේ අරමුණ වුණේ. පසු දිනට නියමිත කේක් ඇනවුමක වැඩ නිම කරලා ඇය මා සමග පිළිසඳර ආරම්භ කළා.

ඔබ හුඟක් කල් ඉඳන් කේක් හදනවා කියලා දැනගන්න ලැබුණා. ඔබ කේක් කලාවට යොමු වුණේ කොහොමද? කොයි කාලෙද? කියල ඇහුවොත් ඔබ දෙන පිළිතුරු මොනවද?

මට අවුරුදු 12 වගේ කාලෙදි තමා මුලින්ම කේක් හදන්න, ඒ පිළිබඳ ඉගෙන ගන්න ආසාවක් ආවේ. ඒ මගේ ඥාතිවරියක් කේක් හදනවා බලන් ඉඳලා. මම උසස් පෙළ ප්‍රතිඵල එනකන් ගෙදර ඉන්න අතරේ මගේ තාත්තා උපන්දින තෑග්ගක් ලෙස මට කේක් හැදීමේ පාඨමාලාවක් හදාරන්න මුදල් දුන්නා. ඒ අනුව මම ගම්පහ දම්මි මිස් ගෙන් හා ඊළඟට ක්ලෙමන්ට් මහත්මයාගෙන් මේ පිළිබඳව මූලික කරුණු ඉගෙන ගත්තා.

කේක් හදන්න විතරක් ඉගෙන ගත්තට මදිනෙ,කොහොමද එය ලස්සනට හැඩ වැඩ කරන්න ඉගෙන ගත්තෙ?  

මං ඒ පිළිබඳ ඉගෙන ගන්න ආසාව අතහැරියෙ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට 2000 වර්ෂයේ මට ඔරෙන්සි සිරිවර්ධන මහත්මියගේ කේක් සාප්පුවේ රැකියාවක් ලබාගන්න පුළුවන් වුණා. එතනදි මට කේක් සැරසිලි අංශයේ විවිධ ක්‍රම ඉගෙන ගන්න පුළුවන් වුණා. සිරිවර්ධන මහත්මිය ඇත්තටම මගේ විසි අවුරුද්දක් මේ ක්ෂේත්‍රයේ ගුරුතුමිය ලෙස සලකන්න පුළුවන්. මං ඇයගේ ප්‍රධාන සහායිකාව ලෙස අවුරුදු පහක් සේවය කළා.

වැඩ කරපු කාලයේ අමතක නොවන සිදුවීම් තිබුණේ නැද්ද? 

ඇයි නැත්තේ තිබුණා. ඇගේ මුවගට ලස්සන හිනාවක් නැගුණා. විශේෂ සිදුවීම් දෙකක් තියෙනවා; 

2003 වසරේ ලංකාවෙ උසම කේක් නිර්මාණය කිරීමට මට දායක වෙන්න ලැබුණා.

මේ නිර්මාණය කළේ සිරිවර්ධන මහත්මියගේ කණ්ඩායම විසින්. කේක් නිර්මාණය   තට්ටු නමයකින් යුක්ත වුණා. සැරසිලි සදහා අයිසින් මල් හා කොළ 150,000 පමණ අපි නිර්මාණය කළා. මෙය ප්‍රදර්ශනය වුණේ ලංකාවේ හිල්ටන් හෝටලයේ මංගල  උත්සවයක් වෙලාවෙදි. කේක් කලාවේ ඉතිහාසගත සිදුවීමක් ලෙස මෙය හැඳින් වෙන්න පුළුවන්.

2003 වසරේ ලංකාවෙ උසම කේක් නිර්මාණය

දෙවෙනි කරුණ එම වර්ෂයේදීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හිදී පවත්වන්නට යෙදුනු මංගල ප්‍රදර්ශනයේදී (Bridal Fair) ඕනෑම අවස්ථාවකට හරියන කේක් තරගයේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කර ගැනීමට මට පුළුවන් වුණා. එය මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.  

ඔබ වැනි ආධුනිකයෙකුට එය ලොකු  ජයග්‍රහණයක්. මොනවද ඔබට හිතට දැනුණේ මේ ජයග්‍රහණයෙන් පස්සේ ?

කේක් කලාව, අයිසිං මල් කලාව ගැන මට දක්ෂකමක් තියෙනවා කියන එකපයින් පවුලෙ  අය දැන   ගත්තේ ඇත්තටම මෙතැනදී. මං මේ තරගයට ඉදිරිපත් කළේ මගේම නවතම  ක්‍රමවේදයකට හදපු මල් හා සැරසිලි වලින් යුක්ත වූ කේක් නිර්මාණයක්. තරගය සඳහා   කේක් කලා කලාවේ අති දක්ෂයින් ඉදිරිපත් වුණා. මට වඩා හැකියාවන් ඇති අයත් මේ අතර හිටියා. නමුත් මම ජයග්‍රහණය කළා. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න හැකියාවක් තියෙනවා කියලා මට විශාල ශක්තියක් ලැබුණා මේ  ජයග්‍රහණය තුළින්.

2003 පසුව ඔබ වෙන තරග වලට ඉදිරිපත් වුණේ නැද්ද? 

එම වසරේදීම ගම්පහ දිස්ත්‍රික්කයේ පැවතුණු මංගල කේක් ප්‍රදර්ශනයෙන් දෙවැනි ස්ථානය ලැබුණා. 

2004 දී මං විවාහ වුණා ඊට පසුව මං ගම්පහ කුරුණෑගල හා වැලිවේරිය නගරවල කේක් හැදීීම පිළිබඳව පුද්ගලික පන්ති පාඨමාලාවක් සිදුකළා. ලොකු දුව මහිමි හම්බ වුණාට පසුව මේ දේවල්වලින් මට තරම්ක් ඈත් වෙන්න සිද්ධ වුණා. නමුත් මං ඒ පිළිබඳ ආසාව එහෙම නැත්තං අලුත් දේවල් දැනගන්න  තියෙන උනන්දුව නතර කළේ නෑ. ඒ පිළිබඳ මම පොතපත හොයාගෙන කියෙව්වා. තනියම ගෙදර ඉන්නගමන් ඒ දේවල් නිර්මාණය කරලා බැලුවා.  

ඔබ දැන් ජීවත් වෙන්නේ නවසිලන්තේ  පාල්ම්ස්ටන් නෝර්ත් වල. කොහොමද, කවදා ඉඳන්ද ඔබේ දක්ෂතා නවසීලන්තයේ පතුරුවන්නේ?   

2009 වර්ෂයේ මගේ සැමියාට නවසීලන්තෙ රැකියාවක් ලැබුණා. ඒ අනුව අපි නවසීලන්තෙ පදිංචියට ආවා. දුවවම් එකට දාලා පාල්ම්ස්ටන් නෝර්ත් නගරේ හැමතැනම ඇවිද්දා කේක් හදන තැන් සොයන්න. දැන් වගේ නෙමෙයි ඒ කාලේ කඩසාප්පු අඩුයි. තිබුණු එකම තැන Fairy Tale Cake Shop එක. මගේ නිර්මාණය ඇතුළත් ඇල්බම් එකත් අරන්   Fairy Tale Cake Shop    එකට ගියා, මට එහි වැඩ කරන්න අවස්ථාවක් තියෙනවද බලන්න. 

ඒත්  වැඩ කරන්න ඇබෑර්තුවක් තිබුණෙ නැහැ. නමුත් මගේ දුරකථන අංකය ලබා ගත්තා උවමනාවක් වුණොත් කතා කරන්න. සතියක් යද්දි ඔවුන් මට කථා කළා. උපන්දින උත්සවයකට හරියන කේක් එකක් හදාගෙන එන්න කියලා කිව්වා.

ඒ කියන්නේ  නවසීලන්තයේදී  රැකියාවක් සඳහා මුහුණ දෙන ප්‍රථම සම්මුඛ පරීක්ෂණය. ඒක අභියෝගයක් වුණාද  ඔබට?

ඔව්, මට අවශ්‍ය වුණේ ඉතාම හොඳට මගේ  නිර්මාණය ඉදිරිපත් කරන්න. මම ගියා කේක් එකට අවශ්‍ය බඩු මිලදී ගන්න. නමුත් ලංකාවෙ  භාවිතා කරපු  අමුද්‍රව්‍ය   හෝ  ඊට සමාන අමුද්‍රව්‍ය හොයාගන්න එක මට ලොකු අභියෝගයක් වුණා. නමුත් මම  නිර්මාණය කරගෙන ඔවුන් හමුවෙන්න ගියා.  

ඔබට රැකියාව ලැබුණද ? ඒ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද? 

මං හදාගෙන ගියා ආකෘතිය  ගැන ඔවුන් ඉහළින් ප්‍රශංසා කළා. පහුවෙනිදා  ඉඳන් මට එහි  වැඩ පටන් ගන්න අවස්ථාවල ලැබුණා .

විශේෂයෙන් මට එහිදී විවිධ වර්ගයේ මල් වර්ග නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා ආයතන ප්‍රධානීන් වන Cathy  හා Sue  මගෙ   හැකියාව යොදාගෙන විශේෂ පන්ති පාට පාඨමාලාවක් පටන් ගත්තා. 2011 වර්ෂය වෙනකන් මං එහි වැඩ කළා. මගේ පුංචි දුව නේෂා පවුලට එකතු වුණා ට පසුව මං Fairy  Tale ආයතනයෙ  රැකියාවට  ආයුබෝවන් කිව්වා.

රැකියාව අත්හැරියා ට කේක් කලාව අතහැරපු බවක් පේන්නේ නෑ ඒකට හේතුව කුමක්ද ?

මං නවසීලන්තෙ පදිංචියට ආවට පස්සෙ අසල්වැසියෙකු ට උපන්දින කේක් එකක් ඇනවුමකට හැදුවා.  ඒ  2010 වර්ෂයේදී. ඊට පසුව මගේ දුවලගෙ යාලුවන්ගෙ උපන්දින වලට  කේක් හදන්න   ඇනවුම් ආවා. මේ ආකාරයට රැකියාවක්  නොකළාට කේක් නිර්මාණ සමග මගේ කාලය   ගතවුණා. ඒ විතරක් නෙමෙයි අමතරව ආදායමකුත්  ලබාගන්න  පුළුවන් වුණා.  

ඔබ  නවසීලන්තයේ පවත්වන කේක් තරඟ වලට සහභාගී වෙලා  ජයග්‍රහණය කරලා තියනවද? ඒ ගැන  විස්තර ටිකක් කියන්න  පුලුවන්ද ?

මං මුලින්ම තරගයකට  ඉදිරිපත් වෙන්නේ 2014 වසරේ වෙලිංටන් කලාපයේ මංගල කේක් අංශය,  මට තුන්වැනි ස්ථානය ලැබුණා.

ඊළඟ වසර වල තරගවලට ඉදිරිපත් වෙන්න මේ   ජයග්‍රහණය   කොහොමද උපකාරී වුණේ?

මට ලැබුණේ තුන්වන ස්ථානය. මගේ නිර්මාණයේ අඩුපාඩු මෙහිදී මට දන්වලා තිබුණා.  ලංකාවේදී මේ වගේ දෙයක් මට ලැබිල නැහැ. ඉතින් මං ඒ වැරදි නිවැරදි කරගෙන 2015 වසරේ නැවත ඉදිරිපත් වුණා. මට ප්‍රථම ස්ථානය ලැබුණා. ඒ වගේම 2017 හා 2018  වර්ෂ වලත් මට ප්‍රථම ස්ථානය දිනා ගැනීමටමට පුළුවන් වුණා. 

ඒ විතරක් නෙමෙයි 2017   වසරේ නෙපියාර් මංගල කේක් තරගයෙන්  හා  “Go Bake” ඇඩ්වාන්ස් කප් කේක් තරගයෙන් පලවන ස්ථාන හිමි කරගන්න ලැබුණා.

2019 වර්ෂයේ මට අසනීප වූ නිසා තරගයට සහභාගි වීමක් සිදු වුණේ නෑ. 2020  වර්ෂයේ කොවිඩ් වසංගත නිසාත් තරගය පැවැත් වුණේ නෑ.

මේ වර්ෂයේ ඒ කියන්නේ 2021 තරඟය තිබුනොත් ඔබ එයට සහභාගී වෙනවාද? 

ඔව්  වෙනමම ආකාරයක නිර්මාණයක් කරන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ.

ඔබට ලංකාවෙදි වගේම  නවසීලන්තයේදී කේක් කලාව නිසා ඇතිවුණු අමතක නොවන සිදුවීම් එහෙම තියෙනවද?

ඔව් මා අන්තර්ජාලය හරහා එක්සත් ජනපදයේ “Sugar Flower Studio” එකේ නිර්මාණ නිතර බලනවා. මට හරි ආසාවක් තිබුණා ඔවුන් කරන පාඨමාලාවකට  සම්බන්ධ වෙන්න. 2017 වර්ෂයේ එහි ප්‍රධානියා රොබට් හේන්ස්  ඕක්ලන්ඩ් ආවා. මට ඔහුගේ එක්දින පාඨමාලාවකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මං තමයි එතන හිටිය එකම   ශ්‍රී ලාංකිකයා. මට ඒ ගැන හරිම සතුටුයි.  

ඒ  පාඨමාලාව තුළින් ඔබට ලැබුණු විශේෂ දැනුම් මොනවද? කැමතිද ඒ ගැන  කියන්න ?

ස්වභාවික ලෙස වර්ණ ගැන්වීම්,  මල් කලාවෙ  ලාලිත්‍ය, හා  හැඩතල නිර්මාණය වගේ දේවල් මම ඒ පාඨමාලාව තුළින් ඉගෙන ගත්තා. ඒ ක්‍රම මගේ නිර්මාණ වලට බෙහෙවින් උපකාරී වෙනවා. මට ඒ ගැන සතුටුයි.

කේක් ලොව ජයගත් “Palmy  නිලූ……..” | නිලූකා සුරංගී වේලාතන්තිරි

ඔබ ජීවිතයේ ඉතා දිගු  ගමනක් ඇවිල්ලා තියෙනව කේක් කලාව සමග, ඔබගේ සැමියා දියණියන් කොහොමද ඔබට මේකට සම්බන්ධ වෙන්නේ? 

මගේ සැමියා උදය මට ලොකු සහයෝගයක් දෙනවා.  මුලින්ම  නවසීලන්තයට ඇවිල්ල මම කරපු මල්  නිර්මාණයට අමු ද්‍රව්‍ය සොයා දීලා නිර්මාණය කිරීමට අවශ්‍ය මෙවලම් (Cutter) හදලා දෙන්නෙත් ඔහු විසින්මයි. මා සිදු කරන නිර්මාණ විවේචනය කරන්නෙත් ඔහුමයි.  මට නොපෙනෙන සියුම් ඇද පලුදු ඔහුට ඉතා හොඳට පේනවා.  මගේ  නිර්මාණ වල නිවැරදි වීම් සිදු වන්නේ ඒ ආකාරයටයි.

දියණියන් දෙදෙනාම මගේ වැඩ කටයුතුවලට සහයෝගය දෙනවා. ඔවුන් දෙදෙනාම කේක්  නිර්මාණය  කිරීමටත් ආසයි. ඔවුන් මං කරන දේ බලාගෙන ඉඳලා  මේ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ඉන්නවා. තරඟවලින් ජයග්‍රහණය කරලා තියෙනවා. 

ලොකු දුව  2015  දී ප්‍රාථමික පංති කේක් (Primary School Cake) තරගයෙන් පළමු ස්ථානය  2018 දී Intermediate School තරගයෙන් පළමු ස්ථානය දිනා ගත්තා. චූටි දුව පළමුවෙන්ම ප්‍රාථමික පංති කේක් තරගාවලියට මුහුණ දෙන්නෙ 2018 වර්ෂයේ. ඇය එහිදී දෙවෙනි ස්ථානය දිනාගත්තා.  ඇත්තටම මට ඔවුන් ගැන තියෙන්නේ ආඩම්බරයක්.

ඔබ කැමති නැද්ද ඒ දෙදෙනා මේ කලාවෙන් ඉදිරියට යනවට? මොකක්ද ඔබගේ ඒ ගැන අදහස්? 

මම කැමැතියි  ඔවුන් මුලින් මූලික පාසල් අධ්‍යාපනය හදාරලා ඒ ගැන තීරණයක් ගන්නවට. මං පාසල් යන කාලේ මට ඕනේ වුණේ නීතිඥවරියකක් වෙන්න නමුත් මගේ ආසාව වුණේ කේක් කලාව ඉගෙන ගන්න. ඉගෙන ගත්ත විතරක් නෙමෙයි එය අද මගේ ආදායම් මාර්ගයක් බවටත් පත් වෙලා තියෙනවා. ඉතින් මුලින් අධ්‍යාපනය ඉවර කරලා තමන් කැමැති තීරණයක් ගන්න එක තමයි වඩාත් සුදුසු.

කාර්යාලයකට ගිහිල්ලා කරන  රාජකාරියකට වඩා වෙනස් ඔබගේ රැකියාව.  නිර්මාණයෙන් නිර්මාණයට වෙනස්, ඒ සඳහා යන කාලයත් වෙනස්.  නිර්මාණයක් කරලා අවසානයේ  ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?  කැමති ද  කියන්න?

හැම නිර්මාණයක්  අවසානයේදීම ඊටත් වඩා හොඳට මට ඒක කරන්න පුළුවන් කියන හැගීමත් මට ප්‍රථමයෙන් එනවා.  නමුත් ඇණවුම  අරගෙන යන කෙනා ඇවිල්ලා ඒ ගැන  අගය කරනකොට මගේ මහන්සියි අමතක වෙලා ලැබෙන තෘප්තිය ඉතාම ඉහළයි. 

ඔබ වගේ දක්ෂකම් ඇති අය අපි අතර ඕන තරම් ඉන්නවා ඇති ඒ අයට ඔබ දෙන පණිවුඩය  කුමක්ද?

 තමන්ගේ හැකියාව ගැන විශ්වාසය,  උත්සාහය, අධිෂ්ඨානය හා එය දියුණු කර ගැනීමට කරන කැපවීම තියෙනවා නම් ඔබට ඔබේ හීන හැබෑ කරනගන්න පුළුවන්. සාර්ථකත්වය වෙනුවෙන් තමන්ගේ ම නිර්මාණය ඉදිරිපත් කිරීම තමා වැදගත් වන්නේ. තව කෙනෙකුගේ දෙයක් අනුකරණය කරනවට වඩා එය ඉතා වැදගත් කරුණක්  නවකයින්ට.  

ඔබ ගැන  නොදන්න තොරතුරු ගොඩක් දැන්ගත්තා.  ඔබගේ නිර්මාණ බලන්න ඔබට කේක් ඇනවුම් දෙන්න ඔබට ළඟා වෙන්නේ කොහොමද? ඒ ගැනත් ටිකක් කියන්න පුලුවන්ද?

Sugar Art in Palmerston North  කියලා මුහුණු පොතේ පිටුවක් (Face Book Page) තියෙනවා ඒ හරහා මගේ නිර්මාණ  ගැන  දැන ගන්න පුළුවන්. පින්තූර බලන්න පුළුවන්.  ඒ  හරහා මට  ඇමතුමක් දෙන්නත්   කේක් ඇනවුම් බාර දෙන්නත් පුළුවන්. ඊට අමතරව  06 357 8885 දුරකථන මගින් මට කතා කරන්න   පුළුවන්.

ඔබගේ ජයග්‍රහණයට ගැන නවසිලන්තයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පුවත්පත්වල පළ වුණා. සිංහල පුවත්පත්ක ඔබ ගැන ලියවෙන පළමු අවස්ථාව මේ ඒ ගැන මොකද හිතෙන්නේ? 

හරිම සතුටුයි ! මගේ නිර්මාණ ගැන දැනගෙන හිටියෙ  ටික දෙනයි.  දැන් මේ පුවත්පත් කියවන හුඟදෙනෙක් මං  ගැන දැනගන්නවා. ඒ වාගේම ලංකාවේ ජීවත් වෙන මගේ ආදර  දෙමව්පියන් සහ නෑදෑයින් මේ බව දැන  ගන්නවා. ඒ වෙනුවෙන්  Sri LankaNZ පුවත්පත් කතුවරුන්ට මං ස්තූතිවන්ත වෙනවා. මාව හමු වෙලා කතා කරපු ඔයාටත් හුඟක් ස්තූතිවන්ත වෙනවා.

    ***

ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණ අයිසින් කලාවක් තුළින් අප අතරට අරගෙන එන නිලුපා කොඩිකාරගේ  අනාගතයට Sri LankaNZ පුවත්පත වෙනුවෙන් මම ඇයට සුබ පැතුවා.

නිලුපා සමඟ මගේ කතාබහ ඉවරවෙලා  ඇගේ නිවසින් පිට වෙන කොට රාත්‍රී අහස් පුරා තරු පායලා තිබුනා. අප අතර තවත් ඇය  වගේ දිදුලන තරු කොපමණ ඇද්ද කියලා මට හිතුණා.  

පිළිසඳර හා සැකසුම- නිලූකා සුරංගී වේලාතන්තිරි- පාර්මර්ස්ටන්ට් නෝර්ත්

2018 ජයග්‍රහණය -දියණියන් දෙදෙනා සමඟ

2018  වර්ෂ ප්‍රථම ස්ථානය – Wellington Region -මංගල කේක් අංශය
නිර්මාණ  
නිර්මාණ  

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.