රුබයියාට්

ඔමාර් ඛයියාම් ගේ ‘රුබයියාට්’ කියවන්නට පටන් ගත්තෙමි. පාසැල් කාලයේ සිට තිබූ මහා පිපාසාවක් සංසිඳුවාලන්නට අවකාශයක් ලැබී ඇත.

අරාබි භාෂාවට අනුව ‘රුබයියාට්’ යන්නෙහි සරල තේරුම නම් ‘පේලි හත‍රේ කවි වැලක්’ යන්නයි. 11 වැනි ශත වර්ෂ‍යේදි ලියැවුණු මෙය ඉංග්‍රීසියට පරිවර්තනය වන්නේ 1859 වසරේදියි. ඒ Edward Fitzgerald නැමති ඉංග්‍රීසි ජාතිකයා අතිනි. වැඩි කලක් යන්නට පෙර ‘The Rubaiyat By Omar Khayyam’ පර්සියන් කව්‍යාවලියක් ලෙසින් ප්‍රසිද්ධියට හා විචාරක ප්‍රසංශාවට පාත්‍ර වූ බව ඉතිහාසයේ සඳහන්වේ. මෙයින් පසු බොහෝ ඉංග්‍රීසි කවියන් ‘රුබයියාට්’ හි ආකෘතියට අනුව කවි ලියන්නට පටන් ගත් බවද සඳහන්ය.

අනේක විදි මාතෘකා පාදක කොට ගෙන ඛයියාම් විසින් ලියන ලද ‘රුබයියාට්’ හී පේලි හතරේ කවි වැල් 1200 – 2000 අතර ප්‍රමාණයක් වී යැයි සඳහන්වේ. ඒ සමයේ පර්සියන් කවියන් එක් තේමාවකට අනුගතව කවි නොලියු අතර ‘රුබයියාට්’ කියැවීමේදි එය පසක් වේ. ජීවිතය, මරණය, මීවිත, මියැසිය, ප්‍රේමය, අනිත්‍යය, ආගම ආදි නේක විද තේමා අතරින් රුබයියාට් ගලා යයි.

ඒ කාලයේ දැන සිටි පමණින් නම් ඕමාර් ඛයියාම් හෝ ‘රුබයියාට්’ ඇසු පමණින් මතකයට එන වදන් ත්‍රිත්වයක් තිබුණි. ඒ නම්, ‘wine, women and song’ යන්නයි. භාශිතයේදී, ‘වදන් ත්‍රිත්වයක්’ එක් කල්පිතයක් හෝ අරමුණක් ප්‍රකාශ කිරීමට යොදාගැනීම ඉංග්‍රීසියෙන් Hendiatris නමින් හැඳින්වෙයි. ‘Wine, women and song’ යන මේ වදන් ත්‍රිත්වය බොහෝ අයගේ පිළිගැනීමට අනුව ‘ඉඳුරන් පිනවීම’ ජීවිතයේ පරමාදර්ශය කරගත් Hedonistic ජීවන රටාව පිළිඹිඹු කරයි. මට සිතෙන විදිහට නම් Hedonism යනු මගේ ජීවන දර්ශනයට ඉතා සමීප සංකල්පයකි, දර්ශනයකි. එනම් ‘ජීවිතය යනු විඳිය යුත්තක් මිස විඳවිය යුත්තක් නොවේ’ යන්නයි. මේ දෙක එකම නොවුනත් බොහෝ සමානකම් ඇති බව බැලු බැල්මට පෙනීයයි. ඇසු පමණින්ම, ‘මීවිත, මියැසිය හා මියුලැසිය’ කදිම සුසංයෝගයක් නොවන්නේද?

ආනන්දයේ උසස් පෙළ කරන සමයේ දිනක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා අපට දේශනයක් සඳහා පැමිණියේය. ‘කුලරත්න’ ශාලවේ පැවැත්වූ ඔහුගේ දේශනයේ මාතෘකාව වුයේ කුමක්දැයි මට හරියටම මතක නැති මුත් ඔහුගේ කතාව ‘ජීවිතය’ හා සම්බන්ධ එකක් විය. අදේවවාදියෙකු වූ ඔහුට අනුව, මොලොවට “මිනිස්සු ඉපදෙති, ඔව්හු දුක් විඳිති, ඔව්හු මියයති; උපන් දා සිට මියෙන තුරා මිනිසා කරනුයේ අඩු කළ හැකි දුක හැකි තාක් අඩුකරගැනීමයි”. එතුමාගේ ප්‍රකාශය මට මතක හැටියට මා මිතුරු ‘හරා’ විසින් වෙනස් කොට එකල අපේ මානසිකත්වයට ගැලැපෙන ලෙස වෙනස් කළේ, “වැඩි කළ හැකි සැප හැකිතාක් වැඩිකරගැනීම” යනුවෙනි. එකල Hendiatris යනු කුමක්දැයි නොදැන සිටියත්; Hedonism ගැන අසා නොතිබුණත්, පහසුවෙන් “වැඩි කල හැකි සැප හැකිතාක් වැඩිකරගැනීමේ” මතවාදය හා එකඟවුණු මට ඔමාර් ඛයියාම් හා බැඳුණු ‘wine, women and song’ වදන් ත්‍රිත්වයට හිත බැඳුණේ නිතැතිනි.

ඔමාර් ඛයියාම් හා ඒ වදන් ත්‍රිත්වයේ බැඳීම කෙතරම් දුරට සාධාරණදැයි කියන්නට තාම කල් මදිය. ඊට කලින් ‘රුබයියාට්’ කියවා ඉවර කළ යුතුය. ඊටත් කලින් ඕමාර් ඛයියාම් ගැන මඳක් දැන ගත යුතුය.

ඕමාර් ඛයියාම් ගැන බිඳක් ‘මීවිත, මියැසිය හා මියුලැසිය’ සමඟ මතුවට…………
ක්‍රිෂාන්ත වෑවිට, වෙලිංටන් නුවර


_____________________________________________________

You can make a contribution from as little as $1.

Be part of our story, and help us tell yours.