fbpx
5.3 C
New Zealand
Monday, August 8, 2022

The Only Sri Lankan Community Newspaper in New Zealand

අපට ලැබුණු පොතක් | අසනි වැසි වැටුණු බිම

Must read

කවියෙක් තම පද්‍ය සංග්‍රහය සරු කර ගන්නට තේමාව, තාලය හා පද්‍ය ආකෘති සහිත කාව්‍යාලංකාර යොදා ගණිමින් ගොඩ නගන සංකල්පනා සඳහා බස දක්ෂව හසුරුවා ගනියි. 

කවි පංති හතලිස් හතරකින් සමන්විත, ‘අසනි වැසි වැටුණු බිම’ හි තේමා විවිධය. උදාහරණ ලෙස ‘පිදුරුතලාගල’ කවි පෙළ සොබා දහම අගයන්නට රසිකයනට කරන ඇරයුමකි.

පිදුරුතලාගල මුදුනත මලක් පිපිලා         මිතුරනි
ලා රතු පැහැ පෙති සහසින් එමල පිරිලා මිතුරනි.’

‘නොදුටිමි පවනේ වැනෙනා තල් කොළ,’  හි යුද නටබුන් තවදුරටත් දකිනු නොරිසි පරෙවියා  (කවියාගේ කාල්පනික නියෝජිතයා) අඳුරේම ඉවතට ඉගිල යයි.

‘කැඩී ගිය තල් කරටි නැවත නො දකිනු රිසින්
හිරු නැගෙන්නට කලින් ඉගිලුණේ නොකියාම.’

‘රාගය’ ලෝ වැඩ සඟරාව මෙන් උපදෙසක් දෙයි.

‘ගලයි ගලයි දළ රළ නැග
පෙළයි නැණස නැග දළ රළ.’

සනාතන දෝංකාරය, කඳුළු පිසින ලේ,  සුචිත්තයෙන්, සෝබාවෙ ඇති එවන් දහම, අවිනිශ්චිත ගමන, නාගයෙක්, කාල ගැටුමන් වැනි සෑම පැදි පෙළකම ජීවිතය පිළිබඳව යම් දාර්ශනික අදහසක් ගැබ්ව ඇත. මෙසේම තවත් කවි, මවකට, පියෙකුට හා ගුරුතුමෙකුට ඇති  හද බැඳි ආදරය ඉස්මතු කරවයි. ගොමසීයා  හා ඇතුල හඬනා ලියේ  වැනි  කවි පන්ති වල මහලු ගොවියාගේ හා අබිසරු ලියගේ චරිත කෙරෙහි කවියා සානුකම්පිතව බලයි.

තාලය තවත් කාව්‍යාලංකාරයකි.  නාගයෙක් කවි පන්තියේ ඇතැම් යෙදුම් හත්අඩියේ කැපුමක බෙර පදයට ගැයෙන සෙත්ශාන්ති කවි සිහිගන්වයි. 

‘කහවණු තඹ කාසි පෙරලන් ආපු        කොළේ  
බටුවත්ත ගේ නැතිවුණ පන්සීය           කොළේ.’
‘කොරුන් හට රියන් උස පා දෙතිලු    කොළේ
ලොසත නිකෙලෙස්ව අත ගෑ යුතුය    කොළේ.’

හෙළ ගොවියා කවි පන්තිය කරුණාරත්න දිවුල්ගනේගේ  ‘අප්පච්චී’ ගායනය සිහිපත් කරවයි.

‘ඉර හඳ ළමුන් මෙන් හඳුනයි                 අප්පොච්චි
උලමා හැඬුවේ කිම දන්නා                    අප්පොච්චි.’
‘කුඹුරේ මඩ සුවඳ විඳිනා                       අප්පොච්චි
හමනා මදනලේ සුව විඳි                       අප්පොච්චි.’

අනුත්ප්‍රාසය, ධ්‍යවනිකාරය(onomatopoeia) උපමා, රූපක, ව්‍යංගය, අතිශයෝක්තිය, ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙන දෙන යෙදුම් ,වැනි තවත් කාව්‍යාලංකාර මගින් නිර්මාණයක සාර්ථක බව වැඩිවේ. 

අනුත්ප්‍රාසය යනු ව්‍යංජනාක්ෂරයක්(consonant) හෝ කීපයක් එකම හෝ යාබද පදවල කිහිපවරක් හඬනැංවීමය.

‘ඇස ඇස රස හඳුන්
දැක දැක රුසිරු මුනිඳුන්.’
  කාව්‍යාලංකර  බහුල ගුත්තිලයේ ස, ක, ර  අක්ෂරවල ව්‍යංජනාක්ෂර කිහිප වර යොදමින් අනුත්ප්‍රාසය ඇති කරන අවස්ථාවකි.

අසනි වැසි වැටුණු බිම කාව්‍ය සංග්‍රහයේ,  ‘පන්නරය’ කවි පෙළෙහි පහත පළවන ප ර හා ට  අක්ෂරවල ව්‍යංජනාක්ෂර හඬනැංවීම් පුනරුක්තිය, අනුත්ප්‍රාසයඇති කරන අවස්ථාවකි.

‘කම්මලේ අඟුරු ලිප-දලු දමා ගිනි ගනී.’
‘රතු පාට අඟරු කැට-පුපර පුපුරා දැවේ.’

 චිත්තරූප හටගන්නා පරිදි කවියෙන් කියන දෙය ශබ්දවීම ධ්‍යවනිකාරයයි හැඳින්වේ.

‘හා හා හරි හාවා 
කැලේ මැදින් ආවා.’ 

වැනි යෙදුම් මගින් කුමාරතුංගයෝ පැන පැන එන හාවෙකු මවා පාති. ඒ වගේම ‘පන්නරයෙහි’ සෑම කවියක්ම උඩ පනින යව පුපුරුමැද, යටි තොල හපා ගිනිහිරිය මත මිටි පහර හෙලන කම්මල් කරුවෙකුගේ චිත්තරූපයක් මවයි.

 ‘මයිනහම නගන හඬ -එකතු වෙලා වා ගැබට
ගිනි අඟුරු මල් වෙලා -උඩ පනියි  විටින්විට.’

‘තනිකම’ පැදිපෙළ  ව්‍යංගය, උපමා සහ රූපක, ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙනදීම (ප්‍රතිප්‍රණය), අතිශයෝක්තිය වැනි සෑම කාව්‍යාලංකාරකින්ම යුක්ත වන අතර කියවන්නා  කුතුහලෙන් බැඳ තබා ගනියි. කවියෙහි නිර්මිත වීරයා (තනිකම) එහෙට මෙහෙට පැන පැන යන කෛරාටිකයෙකි.

‘තනිකම මා ලුහු බඳිනව පස්ස නොබල මං දුවනව
තනිකම මට බැට දෙන විට මං බැට දෙනවා ඌ හට.’

ඉහත සඳහන් නාගයෙක් කවි පෙළෙහි, පොළේ වෙළෙන්දෝ චිශ්‍රාමික ජේලර් බටුවත්තගේ රුපියල් පන්සීයේ කොළය වංචාකරන්නට බලති. දෙපසම අරගල කර ගනිති. මිනිස්කම් යටකර මතුවී ආ තෘෂ්ණාව නාගයාය. පන්සීයේ කොළය කාව්‍යකරණයේ හැඳින්වෙන රූපකයකි. ව්‍යංගයකි.

තනිකම පැදි පෙළෙහි කථකයාට තනිකම දුරු කර ගැනීම්ට නොහැකි වූ බව ව්‍යයංගයෙන් කියයි. මෙහි තනිකම පොර කෑ යුතු සතුරකුට රූපකයක් කර ඇත.

‘බිරිඳ ඇවිත් කෑ  ගැහුවම ඌ බියවී ඔන්න යනව
දරු පැටවුන් හිනැහෙන කොට සිනාසිසී ඌ ඉන්නව.’

 කථකයා හා පොර බදන සතුරා බිරිඳට බයය. දරුවන් සමග සුරතල් වෙයි. මේ කුතුහලය, ව්‍යංගය හා හාස්‍ය පිරුණ යෙදුමකි.

‘දෙනෝදාහක් බලා ඉද්දි මහ පාරෙ මං යන විට
තනිකම ඉහ මත්තට වී බක බක ගා හිනා වෙනව.’

‘මාර වැඩ කාරයෙක්’ යනු  ජන ව්‍යවහාරයේ  ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙනදීමට කරන යෙදුමකි. ඉන් අදහස් කරන්නේ විනාශ කාරයෙකු නොව ඉතා හොඳ දක්ෂයෙකු බවය. ‘දසබිම්බර මාර සෙනග,’ සිංහල සාහිත්‍යයේ  භාවිත අතිශයෝක්තියකි. තනිකම කවි පංතියේ, ‘දෙනෝදහක් බලා ඉඳිද්දී තනිකම හිස මත සිටින බව, ’ පැවසීම මේ අලංකාර දෙකම ධ්වනිත වන අවස්ථාවකි. අමරසිරි ගුණවර්ධනයන්ගේ කාව්‍ය නිර්මාණ කුසලතාවය පෙන්වීමට මෙම කවි පන්තිය හොඳටම ප්‍රමාණවත්ය.

‘වියෝ දුක’ පැදිපෙළ මෙවැනිම අපූරු කවි සංකල්පනාවකි. සුරතල් බලු පැටවකු වාහනයකට යට වී මිය ගොස් ඇතැයි සැලවෙයි. එහෙත් බලු පැටවා සැබැවින්ම මිය ගියේ උගේ ස්වාමියා නැති වූ ශෝකය නිසායැයි කවියා අදහස් කරයි. මෙතැන දුකට පත්ව සිටින්නේ කවියාය. වියෝ දුක ව්‍යංගය, ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙනදෙන යෙදුම් හා උපමා-රූපක පිරි කවි පෙළකි.

‘සෝබාවෙඇති එවන් දහම’ පැදි පෙළෙහි, අහිංසක බූරු පැටියෙක් ටයිග්‍රීස් ගඟ අසබඩ මියගිය මවගේ සිරුර සමීපයේ බලා සිටියි.

‘ගංගා කුමරිය ‘ටයිග්‍රීස්’ – නුඹගේ ඔය දිගු ළැම මත
කුමන කෙළක් මනු නිරිසත් මියදුනේ ද කියනු ම හට.’  කවියා සානුකම්පිතව  අසයි.

‘සදා කල්  මැවෙන රුව’ පැදි අම්මාට ඇති ආදරේ කියා පායි.

‘ජීවිතයේ කිසි දිනෙක- කිසිවකුත් නො පෑ එම
ආදරේ ගලා විත් -කලතනා විට මසිත 
සොහොන්ගැබ තුළට මා- එනතෙක්ම නිරතුරුව
කඳුළු බිඳු ගල ගලා – මසිත නුඹ සිඹින්නේ.’

මෙය,

 ‘එල්ලා දැමු දිනක මා  අර උස් කඳු මුදුනේ 
කාගේ ආදරයක්ද  අම්මේ සොයමින් එන්නේ…’ යනුවෙන් රඩ්යාඩ් කිප්ලින් තම මව ගැන ලියූ කවියක් සිහි කරවයි.

‘පූජනීය ගුරු ගුරුවරයා,’  ‘අපෙ ගුරුතුමා තවමත් යයි ඉස්කෝලේ,’ යන ගීතය සිහි කරවමින් ගුරු භක්තිය ඉස්මතු කරවන කවි පන්තියකි. වචන ලංකාවේ පිටිසර ගමක් චිත්‍රණය කරයි.

හිමිදිරි පාන්දර මී දුම පිරුණු මගේ
පිණිබර වෙල්යාය පසුකර නියර                        දිගේ
සුමිහිරි මල් පොකුරු දිය කඩ රඟන                  රඟේ
සිප්හල වෙතට ගිය හැටි මතකයට                    නැගේ.

‘අවිනිශ්චිත ගමනනෙහි’ කථකයා එළිය කියා අඳුර පිළිගනී. ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙන දෙන යෙදුම් හා ව්‍යංගයෙන් කථකයා දක්වන්නේ අපේ ජීවිත ගමනේ මුළාවීමය.

‘එළිය කියා වැටෙන කිරණ අඳුර අරන්
අඳුර දිගේ පා තබ තබා බියෙන් සැකෙන්
අඳුර නොදැක මං ආවේ සෙමෙන්
එළිය කිය කියා අඳුරේ නටා තුටින්.’

‘කාල ගැටුමන්’ සාංකල්පනික වශයෙන් සංකීර්ණ කවිපෙළකි. සමාධී පිළිම සිරසට වෙඩි තබන විදේශිකයෙකු පසුපස වන ඇත් රජෙක් ලුහු බඳියි.  ඇස් හැර ඒ දෙස බැලූ බුදු රුව දුටුවේ කුඹුක් පතුරකින් බුදුරූ සාදවා අලෙවි කරන කලා කරුවෙකි. නපුරට විරුද්ධ වූ ඇත් රජ වෙඩි වැදී මිය ගොස් ඇත. ගලින් සමාධි පිළිම නෙලූ කලාකරු දැවෙන් සදන බුදු අනු රූ විකුණයි. කවියා ගෙනහැර පාන කාලගැටුම එසේය.  

‘ගැටුමන්’ වචනය සිංහලයේ නැත. නාගයාහි එන ‘ලොසත’ වියරණයට අනුකූලව නොවූ සංදියකි. තම නිර්මාණ ලෝකයේ බස හැසිරවීමේලා හිතුවක්කාර වීමත් කුසලතාවයකි.  ‘පුබුදුවාද යළි මා කොදා,’ යි කුමාරතුංගයන් ද ‘අදවස කුමන මොහොතකදී රෑ වේද,’ යි කුමාරගමද  ලියන්නේ ඒ අනුවය.

මෙසේ  විවිධ තේමා පරාසයක නොයෙකුත් කාව්‍යෝක්තීන් උපයෝගී කරගෙන ලියා ඇති අසනි වැටුණු බිම, ලෝකයේ ඇති ලස්සණම භාෂාවකින් හොඳ කවි පොතක් තමාටද ලිවිය හැකි බව අමරසිරි ගුණවර්ධන පෙන්වූ අවස්ථාවකි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.