fbpx
9.4 C
New Zealand
Friday, August 14, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

කවියෙක් වෙන්න බැරි නං කවියක් වෙන්න | වජිර ජයවර්ධන | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ
  • ළඳුනේ සිංදුව ගැන කතා කරලා තමන් දන්න ගැහැනුන්ට වෙසඟනන් කියන පිරිමි.
  • කවියෙක් වුණාම ආදරේ අහිමි වෙන්නේ නෑ. 

‘ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්

වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලා ගෙන හිස් සිගරැට් පැකැට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්.’

මහගමසේකර ‘ප්‍රබුද්ධ’ දෙමව්පියන්ට පිළිගැන්වූයේ එලෙසිනි. කවිය පහළවන ඉසව්ව සහ කවියා පය තබනා භූමි සීමාව ගැන යම් අවබෝධයක් එකී රිද්මීය පේළිවල සැඟවී ඇති බව පෙනේ. ඇත්තටම කවියා යනු කවුද? ඔහු අමුත්තෙක් ද? සෑම මිනිසෙකු තුළම කවියෙකු සැඟවී ඇතැයි කියනා කතාව ද මතක් කරමින් කවිය සහ කවියෙක් හඳුනාගන්නේ කොහොමද කියලා ඉස්සරවෙලාම ලිහලා බලන එක හොඳා කියලා හිතුන නිසා එතැනින්ම පටන් ගන්නවා. කවියට භාෂාව ගැන නියම තිබුණට ඔහුට පුළුවන් භාෂාව නවන්න. කවියා කියන දේ මිනිස්සුන්ට පරම ජීවන ඇත්ත වගේ පේනවා. ඒ තරමට කවිය අපේ නාඩි වාක්‍ය වෙලා.

මහගමසේකර

ලංකාවේ හිටපු පොලිස්පති කෙනෙක් නීතිය නැව්වා වගේ. කවියා ලස්සනට භාෂාව එක්ක අමුතු රටා හදනවා. මමත් කැමති එහෙම රටා හදන කෙනා කවියෙක් කියලා හඳුන්වල දෙන්න. රසවත් වාක්‍ය ලියන එකා කවියා යැයි පැරණි සකු පඬිවරුන්  කියපු කතා දැං පරණයි. එහෙනං කවුද මේ කවියෝ. කවියා කියන්නේ සරලවම කිව්වොත් අමුතු හිතන්නෙක්. වචන එක්ක පෙරළි කරන්නෙක්. ඔබට, මට ගඟක් දිහා බලනකොට ගලන දිය පාරක් දැක්කට, කවියා ගඟ දිහා බලල සිව්මහා ගංගාවම දකිනවා. ඒක තමයි කවියා සහ සාමාන්‍ය මිනිසාගේ සිතුවිලි වෙන්වෙන තැන. ඒකයි භූ විෂමතාවයේ නැති ගංගා හතරක් සමනල කන්දට බර කරලා ලියූ මහා බොරුවක් සදාතනික කවියක් වුණේ.  පී.බී.අල්විස් පෙරේරා මහතා විසින් ‘මගේ රට’ නම් කවි පෙළේ ලියනවා,

‘මහවැලි, කැළණි, වළවේ, කළු යන ගංගා
සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා.’

අල්විස් කිවිදාණන් වචන රසය ලෙස මෙලෙස පද බැඳුනද එය භූගෝලීය වශයෙන් වෙනස් වී ඇති බව තවමත් අති බහුතරයක් නොදන්නේ කවිය, භූගෝලීය විෂය දැනුම ඉක්මවූ නිසාය. කවියේ සඳහන් පරිදි සතර මහා ගංගාවල උපත වර්තමාන රක්ෂිත පිහිටීම අනුව සමනල අඩවියෙන් සිදු නොවේ. වර්තමානයේ දී සමනල අඩවියෙන් උපදින එකම ගංගාව වනුයේ කළු ගඟ පමණි. මහවැලි ගඟේ උපත සිදු වන්නේ හෝර්ටන් තැන්නෙනි. කැළණි සහ වලවේ ගඟ ද උපදින්නේ හෝර්ටන් තැන්නෙනි. මුල් දියවර සම්පුර්ණයෙන්ම සමනල රක්ෂිතයෙන් උපදින එකම ගංගාව වනුයේ කළු ගඟයි. සමනල හා හෝර්ටන් එක යායට ඇති රක්ෂිත දෙකක් වන අතර ඒවා එකිනෙක බද්ධ වී ඇති නිසා කවියාට කිසිවෙකුට අභියෝග කළ නොහැකිය. පී.බී. අල්විස් පෙරේරා කිවිඳාණන් අභාවප්‍රාප්ත වූයේ 1966දී වන අතර හෝර්ටන් තැන්න රක්ෂිතයක් ලෙස ගැසට් වෙන්නේ 1969දීය. එය 1988 දී ජාතික උද්‍යානයක් වෙයි. මට කීමට ඕනෑ වුණේ  කවියා අමුතු මිනිසෙක් බවයි. ඔහු ලියූ කවිය අදටත් අපි අතර ඇත්තේ සත්‍යය කතාව ඉක්මවමිනි.

          පී. බී. අල්විස් පෙරේරා

ආයෙත් මම මගේ මාතෘකාවට ආවොත් මට නම් කවියා කියන්නේ පිහිනන මිනිහෙක් නෙමෙයි වචන එක්ක කිමිඳෙන මිනිහෙක්. පිහිනන කෙනා මතුපිට ගමන් කරන කොට අපිට පේනවා හරියට ගීත වගේ. ගායනයෙන්, සංගීතයෙන්, ගීතයේ අරුත පෙන්නනවා. ඒත් කවියා වචන එක්ක කිමිඳිලා මුල් අදහස කොහෙදෝ හංගනවා. රසවිඳින්නාට සිද්ධ වෙනවා කිමිඳිලා හංගපු ඇත්ත හොයාගන්න. අලුත් සමාජයේ ජීවත් වන මාලතී කල්පනා ඇම්බ්‍රොස් ලියන මේ කවිය බලන්න.

‘පත් හැලීම නම් 
අත්හැරීම ය 
ගස් පෙම් කරන්නේ 
එහෙම ය…’

මේකී, මේ කියන කතාව පිරිමින්ට කණේ පහරක් ලෙස ද ගත හැකිය. ආර්‍ය මාර්ගයේ ඉන්න කෙනෙකුට සංසාරික බවද හොයාගත හැකිය. විරහ, විරහීන්ට ප්‍රේමය නම් කිමැයි කියා කියවා ගත හැකිය. තවත් කෙනෙකුට ගහක කතාවක් ලෙසද ගත හැකිය. මේ කවි පේළි හතර ඔබ වෙනස්ම ලෙසද කියවිය හැකිය. කවියේ බුහුටිය මෙන්ම බියුටිය ඇත්තේ මෙතනය. එහෙම කියවාගත් විට කවියෙක් වීම පහසු නැත.

ඒත් කවියක් වෙන්න පහසුවෙන්ම හැකි බව මම තරයේම විශ්වාසය කරමි.

කවියක් වගේ වෙනවා නම් රිද්මයක් තිබිය යුතුය. ඒ රිද්මය තව කෙනෙකු පිනවන එකක් විය යුතුය. එසේ නම් කවියක් වන් මිනිසෙක් අනෙකා පිනවනවා මිසක් රිදවන්නේ නැත. ඔහු වැනි මිනිසුන්ට රන්බණ්ඩා සෙනවිරත්න ලියූ ‘ළදුනේ’ ගීතය අසා විලාසිනියක ගැන අනුකම්පාවෙන් විචාරය ලියා තමන් සමග පෙම් කළ ගැහැනියට වෙසඟනයැයි කිව නොහැකිය. බොහෝ පිරිමින්ට සයන මත දකින ඇය මහපොළවේ දී නොපෙනී යන්නේ කවියෙකු වීමට නොහැකි නිසාමය. කවියක් වගේ ප්‍රේමවන්තයෝ ආදරය අතහැරියද එය වින්දනීයව පිළිගනිති. එසේ නම් තම ජීවන රිද්මයෙන් බාහිර සමාජය පිනවන්නේ නම් ඔහු කවියක් වගේ මිනිසෙකු ලෙස කීවාට වරදක් නැත.

කවියට අර්ථයක් තිබේ. අරුත්සුන් කවි නැත. කවියක් වන් මිනිසෙක් ජීවිතේ ගෙවන්නේ අරුතක් සහිතවය. ඔහුට ජීවන සම්ප්‍රදායක් තිබිය යුතුය. ඇවතුම්, පැවතුම්වලින් පොහොසත් සමාජ චර්‍යාවක් විනා ඕනෑ මංගල්‍යයක් අලෙවිය පිණිස තබා මුදල් ගැරිල්ලකට ඔහුට පිවිසිය නොහැකිය. එසේ නම් කවියක් වගේ මිනිසෙකුට අරුත් බර ජීවිතයක් ද තිබිය යුතුය. කවියෙක් වීම ඉතා හොඳය. එහෙත් හැමෝටම කවියෙක් විය නොහැකිය. නමුත් කවියක් වීමට ඕනෑම අයෙකුට ඕනෑම මොහොතක පුළුවන. එසේ නම් කවියෙක් වීමට බැරිනම් අඩු තරමේ කවියක්වත් වෙන්න බැලීම යහපති.

වජිර ජයවර්ධන – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.