~~ කොළඹ වීදියක අන්ධ යුවලක් තම සර්පිනාවත් බටලීයත් වාදනය කරමින් ළයාන්විතව ගී ගයමින් සිටින අවස්ථාවක එහි රැඳෙමින් එම ගී රස උරමින් ගෙතූ පද වැලකි ‘අඳ වාදක රස‘. ~~
හිරු උදා වූ මොහොතෙ ඉඳලා සර්පිනා හඬ වීදියේ
තරු දිළෙන සඳ එළිය එනතෙක් ඇසේ කළුවර නෙතු පියේ
ඇසෙන නෑසෙන පිය නගන මනු සිත වසීවී කැලතියේ
කිරි පිඬුත් නැත වන පසත් නැත කළු නෙතක උරුමය වියේ
සර්පිනා හඬ සමග මුසුවන ළයාදර මුදු පද වැලේ
ඔතා විදි ඊතලය ඇමිණී මිනිස් හද කුකුසින් සැලේ
දැඩිව හිරු රැස් ගලා යයි උහු දූලි සුළි කැරකී පෙළේ
අඳුරු නෙත් සළමින් සිනාසෙන ගීය රැව් දේ හිරු දිළේ
හදවතින් ගත මුදු සුවෙන් බැඳි ජීවිතෙ ගෙවමින් සිනා
පා කරයි ගී රැව් දෙමින් දන හද සවන් පිනමින් යනා
කාසියෙන් නැගෙනා හඬින් නුඹ තුටු මුවින් උන් සනසනා
කාලයේ වැලි තලාවේ රශ්මිය ද සමගින් මිය යනා
කළුම කළු අඳුරක් සදාකල් ඔරුව පදිමින් යන ගඟේ
ගීත සල් මල් සුවඳ හැමුවත් කෙදින කිරුළක් නුඹෙ හිසේ
පළඳනා සක්විති වඩින්නෙද නුඹට නොපෙනේ කරුවලේ
ඈත දුරකින් බලා සිටිමින් අසමි ගී සිත් දුක් විලේ
D. Amarasiri Gunawardena – Auckland