ගෙවී ගිය වසන්තයේ අග, මලින් හැඩ වු තුරුලතා මෙන් තම කුසලතාවයන්ගෙන් හැඩ වු දරු දැරියන්ගේ මනරම් ප්‍රසංගයක් වෙලින්ටන් නුවර පැවැත් වුණා. කට වහරට වෙලින්ටන් කියලා කිව්වට මේක තිබුණේ පොරිරුආ ඖටියා පාසලේ. ‘ශ්‍රී ලාංකීය ගීතයේ මංසලකුණු’ ලෙසින් ඒ ප්‍රසංගය නම් කර තිබුණා. සැබැවින්ම එය ශ්‍රී ලාංකික සංගීතයෙ මං සලකුණක්ම විය.
ශාස්ත්‍රපති ඉන්දීවරී රත්නායක ගුරුතුමියගෙන් සංගීතය හදාරමින් තම සංගීත කුසලතාවන් ඔපමට්ටම් කරගත් නවසීලන්තයේ හැදී වැඩෙන දරුවන්ගේ හැකියාවන්ගෙන් මෙම ප්‍රසංගය පිරිලා තිබුණා. ප්‍රසංගය ආරම්භ වුණේ
‘සත සෙත ලැබේවා – දුට වැරදි පහ වේවා
දුටු දෙවිදු පේවා – අට අනූ රෝග දුරු වේවා’
ලෙසින්, පැමිණි සැමට ආශිර්වාද කෙරෙන කවි ගායනයෙන්.
එතැන් සිට ඇරඹි මෙම ප්‍රසංගය ලාංකික සංගීතයේ සෑම මානයක්ම ස්පර්ශ කරමින් දරුවන් තම ගායන හැකියාවන් ඉදිරිපත් කළා. කෝලම්, නූර්ති සහ නාඩගම් ගීත ගැයූ දරුවන් ලාංකික සංගීතයේ අක්මුල් අපේ මතකයට රැගෙන ආවා. ඒ මතකය දිගේ අපේ සංගීතයේ විකාශනය ග්‍රැමෆෝන් යුගය, ජන සංගීතය, බයිලා ගීත, චිත්‍රපට ගීතය ඇසුරින් ප්‍රාසාංගිකව ප්‍රේක්ෂකාගාරයට ගෙනාවේය. කේමදාසයන්ගේ සංගීත මතකයන් වගේම සුභාවිත ගීතයේ රස මතක ගෙනෙන්නත් ඔවුන් අමතක කරලා තිබුණේ නැහැ. ඒවගේම ජනප්‍රිය ධාරාවේ ගීත සේම වර්තමානයේ ඇසෙන ගීතත් ගයමින් සභාව කුල්මත් කළේ දරුවන්ගේ හැකියාවන් තව තවත් විදහා පාමින්.
අසුනකට බරවෙලා මේ ගීතාවලිය රසවිඳි ප්‍රේක්ෂකයෙකු වූ මාහට නිතැතින්ම මතකයට ආවේ සිංහල ගීත දරුවන්ට පුරුදු පුහුණු කරන්නට කොතරම් වෙහෙසක් කැපවීමක් මහන්සියක් ගුරුතුමිය වූ ඉන්දීවරී මහත්මිය දරන්නට ඇද්ද යන්නයි. මන්ද ඉංග්‍රීසි භාෂාව කතා කරන දරුවන්ට සිංහල භාෂාවේ ගීත ඉගැන්වීම පහසු නොවන නිසා. ඒ වගේම සිංහල ගීත ගොන්නක් මතකයේ තබාගෙන ගායනා කිරීම ද මාව මවිතයට පත් කළා.
දරුවන් ගැයුමට පමණක් නොවන නැටුමට ද හපන් බව ඉදිරිපත් කළ නර්තනයන් ගෙන් අපට පෙනුනා.
මේ ප්‍රසංගයේ ඇස රැඳුනු තවත් දෙයක් වුණේ දරුවන්ගේ ඇඳුම් ආයිත්තම්. ඒවා හරි අපූරුවට නිර්මාණය කරලා තිබුණා. පොඩ්ඩක් විපරම් කරලා බැලුවාම දැනගන්න ලැබුණේ මේ ඇඳුම් ආයිත්තම් නිර්මාණය කරලා තිබුණේ ගුරුතුමිය සහ දෙමාපියෙක් වූ උමාෂා වික්‍රමරත්න මහත්මියගේ අතින්. ‘ශ්‍රී ලාංකික සංගීතයේ මං සලකුණු’ ප්‍රසංගය පුරාවටම දරුවන්ගේ ගුරුතුමියගේ සහ දෙමාපියන්ගේ කැපවීමේ, මහන්සියේ ප්‍රතිඵල වේදිකාව පුරාම පිපිලා තිබුණා.
By Dimuthu Wijesooriya – Wellington