‘පුතා, නැගිටින්න, නැගිටින්න දැන් වෙලාව හරි. කෝ නැගිටින්න. ළමයෝ පරක්කු වෙලා ගියොත් ක්ලාස් එකෙන් එළියේ හිටන් ඉන්න වෙයි ඔන්න. කෝ නැගිටින්න ඉතිං, ගිහින් මූණ හෝදන් එන්න. මම තේ ලෑස්ති කරලා තියන්නම් ඔයා එද්දි. පරක්කු වෙනවා පුතා නැගිටින්න.’
‘නෙතුක’ ඇහැරුනා. හැබැයි ඒ අම්මගෙ අවදි කිරීමට නම් නෙමෙයි, කණ ගාවින්ම ඇහුණ එලාම් ශබ්දෙට. කළුවරේම අත පත ගා ජංගම දුරකථනය අතට ගත් ඔහු නිදිබර ඇස් යන්තමින් විවර කර ජංගම දුරකතන තිරය දෙසබලා එලාමය නවතා දැමුවා. එවිටයි, ඔහුට තේරුණේ අම්මගේ කටහඬ ඇසී තිබුණේ සිහිනෙන් බව. නවසීලන්තයේ වසන්ත ඍතුවක තවත් එක් අලුයමක් මෙලෙස එළඹී තිබුණා.
ශිෂ්‍ය වීසා යටතේ නවසීලන්තයේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබීමට පැමිණි නෙතුක මේ උදෑසන අවදි වුණේ, අවන්හලක මුලුතැන්ගෙයි සහයකයෙකු ලෙස සිදු කළ තමන්ගේ අර්ධ කාලීන රැකියාවට යාමට කඩිනමින් සූදානම් වීමටයි. තමන් රැකියාව කරන අවන්හල වෙත යාමට ඔහු නැවතී සිටි ස්ථානයේ සිට සැලකිය යුතු දුර ප්‍රමාණයක් යාමට තිබූ නිසාත්, මේ උදෑසන ඒ සඳහා තමන්ගේම වාහනයක් තබා බස් රථ හෝ නොතිබූ බැවින් පයින්ම යා යුතු වූ නිසාත් නෙතුක යුහුසුළුව සූදානම් වී නිවසින් එළියට බැස්සා.
ගමන පටන් ගෙන විනාඩි පහක් යන්නටත් මත්තෙන් ඇද හැලුණ වැස්සෙන් මුවා වෙන්න අසළ පිහිටි බස් රථ නැවතුමකට ගොඩ වුණ නෙතුක, තමන්ගේම හිතත් එක්ක සංවාදයක් පටන් ගත්තේ නිරායාසයෙන්.
‘අපරාදේ මම රට ආවේ. මේ සීතලේ මොන කරුමයක්ද මේක. ඒ මදිවට දැන් ගිහින් අර ඉඳුල් ජරාව හෝදන්නත් ඕන. ඊයෙ සිකුරාදා රෑ හින්ද සෑහෙන්න බිසි වෙන්න ඇති. සමහර විට තාම බිසි ඇති. දැන් ඉතිං ඩිශස්, ග්ලාසස්, පොට්ස්, පෑන්ස් එහෙම පිරිලා ඇති හෝදන්න. ශික් මම මහ මෝඩ වැඩක් කර ගත්තෙ.’
‘නෑ මොනා වුණත් ආව එක හොඳයි. ලංකාවෙ ඉඳලා මොනා කරන්නද. සොච්චම් පඩියකට එක එකා ළඟ කඹුරනවට වඩා හොඳයි මේ පිටරට උන්ගෙ ඉඳුල් වලං හෝදන එක. අඩුම තරමේ උන් ගෙවන්නෙ රුපියල්වලින් නෙමේනෙ, ඩොලර්වලින්නෙ.’
‘වැඩක් නෑ ඩොලර්වලින් හම්බ කරාට මෙහෙ වියදම් වැඩියිනෙ. හම්බ කරන ගාණෙන් වැඩි හරියක් නිකංම යනවා.’
‘කමක් නෑ ඩිග්‍රි එක ඉවර වෙනකන් විතරනෙ මේ කට්ට. ඊට පස්සෙ හොඳ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්නෙ.’
වැස්ස තුරල් වුණ නිසා නෙතුක ආයෙත් ගමන පටන් ගත්තා. ඒ එක්කම ඔහුට මතක් වුණේ ගිය සතියේ අම්මා දුරකතනයෙන් කතා කළ වෙලේ කී දේවල්.
‘ඔව් අම්මෙ එහෙම කියන්න තරම් ප්‍රශ්නයක් නෑ ඉතිං. දැන් හොඳට හුරුයි මෙහෙ. ජොබ් එකත් හෙන ලේසියි ශේප් එකේ කරන් හිටිය හැකි. අනික හොඳ වෙලාවට මට ආව ගමන්ම ජොබ් එකක් හොයා ගන්නත් පුළුවන් වුණානෙ.’
‘ආ ඔව්… ඔව් මාත් එක්ක ඉන්න කට්ටිය හරි හොඳයි. තාත්තා එහෙම සනීපෙන් ඉන්නව නේද?’
‘ආ එහෙමද, මාත් ආච්චිව මතක් කළා කියන්න.’
‘ඔව් අම්මෙ මාසෙ අන්තිමෙට මම ඒ ගාණ එවන්නම්.’
‘නෑ නෑ අමාරුවක් නෑ එහෙම, කාලා බීලා රෙන්ට් එක ගෙවලත් ලොකු ගාණක් අතේ ඉතුරු වෙනවා සතියකට. තව ඉතිං වියදම් වෙන්නෙ බස් එකේ යන එකට විතරනෙ.’
‘හරි අම්මෙ බුදු සරණයි.’
මොන තරම් දුක්ගැහැට වින්දත් ඒවා අම්මලට කියලා අම්මලගෙ හිතට දුකක් දෙන්න හොඳ නෑ කියලා නෙතුක තමන්ටම අවධාරණය කර ගත්තෙ නවසීලන්තයට ගොඩ බැහැපු දවසෙමයි. අනිත් එක ශිෂ්‍ය ජීවිතය කාටත් මේ වගේ තමයි කියලා නෙතුකට හිතුනෙ, ඔහු නවසීලන්තයට පැමිණි මුල් කාලෙ, ඒ කියන්නෙ මීට මාස තුනකට පමණ ඉහත දී තමන් සමඟ එක නිවසේ ජීවත් වෙන යහළුවෙක් එක්ක කළ කතාබහ මතක් වෙලයි.
‘මචං, මොකෝ වෙන්නෙ. කොහොමද නිව් සීලන්ඩ්?’
‘ආ මචං ඔහෙ ඉන්නවා බං. නිව් සීලන්ඩ් අවුලක් නෑ ඉතිං. ඒ වුණාට ඉතිං ලංකාව මතක් වෙනවා.’
‘ඇයි මොකෝ කෑල්ල ලංකාවෙද?’
‘ආ ඕව මචං මාස දෙක තුන යද්දි නිකංම ඇරිලා යනවා. උඹ දැන් උදේ නැගිට්ටම ගෙදරට ගන්නවා ඇති, යුනි යන්න කලින් ගෙදරට ගන්නව ඇති, දවල්ට කාලා ගෙදරට ගන්නවා ඇති, වැඩට යන්න කලින් ගෙදරට ගන්නවා ඇති, ගෙදර ආවම ගෙදර ආවා කියන්න ගෙදරට ගන්නවා ඇති, ආයෙ රෑට කාලා නිදා ගන්න කලිනුත් ගෙදරට ගන්නවා ඇති. එහෙමනෙ?’
‘හඃ හඃ අඩෝ සිරාවට ඔව් බං.’
‘මම දන්නවා බං, මාත් ආව මුල් කාලෙ ඔහොම තමයි. මම උඹට හූනා කිව්වා වගේ කියන්නම්. තව මාසෙකිනුත් උඹ ඔය කෝල්ස් ගාණම ලංකාවට ගත්තොත් මට ඉජු කියලා කතා කරපන්.’
‘ඒ මොකෝ බං.’
‘මෙහෙ අපේ ජීවිත හරි කලබලකාරියි මචං, බලපන් අපි පොඩි වැඩ කොටසක් ද කරන්නෙ. අපි ඉගෙන ගන්න ඕන, ලෙක්චර්ස් තියෙන හැම දවසකම වගේ කට් නොකර යුනි යන්න ඕන. ලෙක්චර්ස් කට් කරලා ඇටෙන්ඩන්ස් අවුලක් වුණොත් යුනි කාරයොයි කොලේජ්වල උනුයි, ඉමිග්‍රේෂන් එකට කියනවා කියලා කේස් දානවා. ඒක හින්දා ඇටෙන්ඩන්ස් හොඳට maintain කරන ගමන්, exams ගොඩ දාගන්නත් ඕන. ඒ ඔක්කොටම හපන් assignments. Plagiarism අඩුවෙන් research reports හදන්න ඕන. ඒ ඔක්කොම පැත්තකින් තියමු. අපි වැඩ කරන්න ඕන. ලක්ෂ ගාණක් වියදම් කරලා අපි ආවෙ educational qualification එකක් හදා ගන්න විතරක්ම නෙමේනෙ. අපි කීයක් හරි හම්බ කරන්න ඕන. අඩුම තරමෙ අපේ වියදම් ටිකවත් අපි ශේප් කර ගන්න ඕන. ඒකට අපි ජොබ් එකක් කරන්න ඕන. ජොබ් කියලා මොනාද, ඔෆිස්වල වැඩ හම්බෙනව ද අපිට. නෑනෙ. අපිට හම්බෙන්නෙ මහන්සි වෙලා කරන්න වෙන රස්සා. හරි අපි ඉගෙන ගෙන ජොබ් එකත් කරා කියපන්. එතකොට, අපි කෑම හදා ගන්න ඒවා, රෙදි හෝද ගන්න ඒවා, ඉන්න තැන වැකියුම් පාරක් එහෙම ගහලා ක්ලීන් එකට තියා ගන්න ඒවා. අන්න ඒවටත් අපිට කාලය යනවා. මට වෙලාවකට හිතෙනවා බං, අපි මෙච්චර වැඩ කරලා මේ විදියට time manage කරන ඒක ලේසි වැඩක් නෙමේ කියලා. එහෙම බලද්දි ඕනම රටක ඉන්න, ඔනෑම international student කෙනෙක් කියන්නෙ පට්ට වැඩකාරයෙක් මචං. උඹට එහෙම හිතෙන් නැද්ද බං.’
‘ඔව් බං උඹේ කතාව හරියටම හරි. ලේසි පහසු ගේමක් නෙමේ අපි ගහන්නේනේ.’
මතු සම්බන්ධයි
By Malith Chathuranga Samarasingha – Auckland