***කොටස් වශයෙන් පළවන කෙටි කතාව***
තුන්වන කොටස
‘මේකනේ මචං උඹ කියන දේ ඇත්ත තමයි. ඒත් අපි මේ study කරන්න එන්නේ, studies ඉවර වුණාම ආයෙ අපේ රටවල්වලට යන බව කියන්නේ බං. මෙහෙ ඉන්නවා කියලා කොයිම වෙලාවකවත් අපි කියන් නෑනේ.’
‘බම්බුව තමා බං. අපි ඕක කිව්වෙ නැති වුණාට ඇයි මෙහෙ ඉන්න උන් බබ්බු ද? උන් දන්නවා අපි වගේ දුප්පත් රටවල උන් පුළුවන් තරම් සල්ලි තියෙන බව පෙන්නලා ලොකු ලොකු කෝස් කරන්න මෙහෙ එන්නේ අන්තිමට මෙහෙටම සින්න වෙන්න බලාගෙන කියලා. අන්න ඒක තමයි උන් හදන්නේ අපෙන් ගන්න පුළුවන් උපරිම සාරය උරාගෙන අපිව ආපහු අපේ රටවල්වලටම පටවන්න.’
‘ඔව් ඒකෙත් ඇත්තක් තියෙනවා තමයි. හැබැයි ඉතිං…’
‘දැන් බලපං, මෙලෝ රහක් නැති උන් කී දෙනෙක් නම් මෙහෙ PR දාගෙන තියෙනවා ද? සමහරුන්ට ඉංග්‍රීසිත් බෑ. අමු බ්‍රෝකන් ගහන්නේ. ඒත් උන් මේ රටේ ස්ථිර පදිංචිය අරන් ඉවරයි. අපිට තමයි අමාරු. එපා වෙනව බං.’
‘ඒක ඉතිං එයාලගෙ දක්ෂතාවය තමයි නේද?’
‘බම්බුවේ දක්ෂතාවයක් නෙමේ යකෝ, උන් මේ රටට ගොඩ බැහැපු කාලේ හොඳයි. ඒ කාලේ රූල්ස් දැන් ඒවා එක්ක බලද්දි අහසයි පොළවයි වගේ. ඒක උන්ගෙ දක්ෂතාවය නෙමේ. හැබැයි ඒක උන්ගෙ වාසනාව. අඩේ සමහරක් දවසට මට නින්ද යන්නෙත් නෑ බං PR එක ගන්න හැටි කල්පනා වෙද්දි. එපා වෙනවා බං.’
PR…PR….PR….PR…PR
ඒ සංවාදය ඇතුලෙ තිබුණේ ඒ වචනෙම විතරයි නේද කියලා මතක් වෙද්දී නෙතුකට කියාගන්න නොතේරෙන සංවේගයකුත් දැනුණා. එකිනෙකාගේ තෝරා ගැනීම් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුනොවුන්ගේ ජීවිතවල සතුට මෙන්ම එක් එක් ආකාරයේ දුක්ඛ දෝමනස්සයන් ද තියෙනවා නේද යැයි නෙතුකට හිතුනේ පෙර කී අයියාගේ මෝටර් රථය ගැනීමට ගරාජ් එකට ගිය වේලේ සිදු වූ සිද්ධියක් මතක් වෙලයි.
‘ආ මල්ලිගෙ ද වාහනේ.’
‘ආ නෑ අයියේ, මේ මගෙ යාලුවෙක්ගෙ. එයා කිව්වා හදලා ඉවර නම් අරන් එන්නයි කියලා.’
‘මම හද හද ඉන්නෙ මල්ලි. ඉන්න මම ඉක්මනට ඉවර කරලා දෙන්නම්. ලොකු වැඩක් නෙමේ තියෙන්නෙ.’
‘අයියා කොහොමද එක පාරටම මාත් එක්ක සිංහලෙන් කතා කළේ. කොහොමද දැන ගත්තේ මම ලංකාවේ කියලා.’
‘ඇයි මීට කලින් මෙහෙට ඇවිත් නැද්ද? මේ ගරාජ් එක ලංකාවේ එක්කෙනෙක්ගෙනේ. ගොඩක් ලංකාවේ අය මෙතෙන්ට එනවා. අනික ඒ අයියා උදේ මට කිව්වා මේක ලංකාවේ කෙනෙක්ගෙ කාර් එකක් කියලා. ඉතිං ඔයා මෙතනට එද්දි මම හිතුවා මේක මල්ලිගේ කියලා.’
‘ආ ඒක මිසක්. මම දැනන් හිටියෙ නෑ මේක ලංකාවේ කෙනෙක්ට අයිති එකක් කියලා.’
‘හරිම හිත හොඳ මනුස්සයා. ලංකාවේ අයගෙන් අඩු කරලා තමයි සල්ලි වුණත් ගන්නේ. මල්ලිලා මේ ළඟ ද ඉන්නේ?’
‘නෑ අයියේ ටිකක් දුරයි මෙහෙට. අයියා මෙහෙද?’
‘ඔව් මල්ලි, වැඩි දුරක් නෑ. මල්ලි ෆැමිලි එකත් එක්කද ඉන්නේ.’
‘නෑ අයියේ යාලුවො සෙට් එකක් එක්ක ඉන්නේ. මේ කාර් එක අයිති අයියත් ඉන්නේ අපිත් එක්ක.’
‘එහෙනම් මල්ලි student කෙනෙක් වෙන්න ඇති. ළඟදි ද ආවේ?’
‘ඔව් අයියේ student.’
‘ආ එහෙනම් හොඳයි. ආව අලුත නම් ගෙදර මතක් වෙන්න ඇති නේද?’
‘එහෙම තමයි අයියේ. අම්මා නම් තාම අඬනවා.’
‘එහෙම තමයි මල්ලි ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක දුකක් කියලා බුදු හාමුදුරුවොත් කියලා තියෙනවනේ.’
‘පියේහි විප්පයෝගෝ දුක්ඛෝ’ නේද අයියේ.’
‘ආ ඔය මල්ලිත් දන්නෙ බුදු බණ. බුද්ධාගමේ විතරක් නෙමේ මල්ලි, අනික් හැම ආගමකින්ම කියලා තියෙන්නේ මිනිස්සුන්ගෙ ජීවිතවල ඇත්ත පැත්ත ගැන තමයි. මොකද ඇත්ත තේරුම් ගැනීම තමයි ජීවිතයට ගන්න පුළුවන් ලොකුම වටිනාකම. ඒත් දැන්, මිනිස්සු ඒවා මිනිස්සුන්ගේ වාසියට වෙනස් කරගෙන තියෙන්නේ.’
‘ඒක නම් ඇත්ත තමයි.’
‘මටත් ප්‍රියයන්ගෙන් වෙන් වීම තදින්ම දැනෙනවා මල්ලි මේ ටිකේ.’
‘ඇයි අයියගේ ගෙදර අය නැද්ද මෙහේ, තනියමද ඉන්නේ එතකොට.’
‘නෑ, මමත් මල්ලි වගේ යාලුවො ටිකක් එක්ක ඉන්නේ. නෝනව ගෙන්න ගන්න වීසා දාලා තියෙන්නේ. ඒත් කිසිම ආරංචියක් නෑ මල්ලි ඒවා ගැන. මෙහෙ ඉමිග්‍රේෂන් එකෙන් ඇහුවම කියනවා, පෝලිමේලු තියෙන්නේ ඇප්ලිකේෂන් එක. තව ටික කාලයක් යයිලු හැදෙන්න. දැන් එහෙම ටික කාලයක් කියලත් සෑහෙන කාලයක් ගියා මල්ලි.’
‘අයියෝ එහෙමද, queue එක නම් දිගට ඇති තමයි. කොච්චරක් නම් applications එනවද ඉතිං, process කරන්න හෙන කාලයක් යනවා ඇති.’
‘අනේ මන්දා මල්ලි, නෝනත් සෑහෙන්න දුකින් ඉන්නේ. මම බැඳලා වැඩි කාලයක් නෑ මල්ලි. බැන්ද ගමන්ම වගේ තමයි මෙහෙ ආවේ. අපි වගේ නෙමේ මල්ලි, ගැහැනු හිත් හරි අහිංසකයි. පොඩ්ඩ ඇත්නම් දුක හිතෙනවා, අඬනවා. මම කාලයක් කටාර්වල හිටියා. ඒ කාලෙ ඉතිං මෙහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. කිසි බරක්පතලක් නෑ. සැහැල්ලුවෙන් හිටියා. ඒත් බැඳීම් කියන්නෙ මහ බරක්.’
-මතු සම්බන්ධයි-
By Malith Chathuranga Samarasingha – Auckland