පසු ගිය කළාපයෙන්-
‘මං කරන්නේ නැති කිසි දෙයක් කියන්නේ නෑ ! ඔයාට පේන්නේ නෑ ! සමහරවිට වැඩ ක්‍රියාත්මක වෙන වේගය අඩු ඇති, නමුත් වෙනවා !’ පාලිත සංසුන් ලෙස කියයි. බිරිඳ ගස්සා ගෙන යයි. ඇයට ඕනා තමාට අපහාස කිරීමට මිස යම් කරුණක් පෙන්නාදීම නොවේ. එය පාලිත දනී. බිරිඳ තමාව පහත් කර කතා කරන තව හේතු දෙකක් ඇත. එකක් නම් ඇයගේ සොහොයුරන් තමන්ගෙන් ඉල්ලන උදව් නොකිරීමය. ඒවා කරන්න පුලුවන් වැඩ නොවේ. පුලුවන් උදව්වක් දී තිබේ. නමුත් නොකළ වැඩ ඇත. මිනිස්සු මතක තියා ගන්නේ කළ දේ නොව නොකළ දේය.
දෙවන කාරණය, ඇයත් ඇයගේ සොහොයුරනුත් කැමති විපක්ෂයටය. ඇය සිතන්නේ රජය යනු ආණ්ඩුව කියාය. තමා රාජ්‍ය සේවකයෙකු විනා ආණ්ඩුවේ සේවකයෙකු නොවන බව කොතරම් පහදා දුන්නත් ඇය පිළිගන්නේ නැත. ඇය සිතන්නේ තමා ආණ්ඩුවට කඩේ යන බවයි. ඔවුන් කැමති පක්ෂය ආණ්ඩු කරන කාලේ චෝදනාවේ අනිත් පැත්තය. එවිට ඇය තමාට කියන්නේ තමා ආණ්ඩුවට නිසි සහය නොදෙන බවයි. පාලිතට මේවා මතක් වී කාර්‍යාලයේදීද සිනා යයි. ඔහුගේ ලේකම් ඔහු දෙස බලා හිනාවෙයි.
පාලිතගේ පියා මියගොස් වයස් ගතවී සිටින මව ඉන්නේ බාල අක්කා ළඟය. මල්ලී කසාද බැඳ ගමේම හිඳිමින් ව්‍යාපාරයක් කරයි. ලොකු අක්කාගේ දරුවන් දෙන්නෙක් කසාද බැඳ ළමයි ඉන්නවාය. පාලිතගේ පුතාට දැන් අවුරුදු දහසයකි. කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබයි. පාලිත මසකට වරක් නොවරදවා ගමේ යයි. ඉඳ හිට පුතාද ඔහු සමඟ යතත් බිරිඳ එන්නේ කාගේ හෝ මරණයක් නැත්නම් මඟුල් ගෙයකට පමණය.
පාලිතගේ බිරිඳ රූමත් ය. ලස්සනට හැඳ පැළඳගෙන සිටියාට එතරම් රසට කෑම උයන්නට බැරිය. ඒ සඳහා ඇය ඒ හැටි උනන්දුවක් ගන්නේත් නැත. ගෙදර සිටින සේවිකාව ඒ හැමදේම සොයා බලා කරයි. පාලිතට අම්මා උයන කෑම වල රස මතක් වෙයි. කාංචනාට රසට උයන්නට පුලුවන් බව ඔහුට මතක් වෙයි. ඔහුට ඇයව මතක් වෙන්නේ ඇයගේ ගෙදර ගිය විට ඇය සෑදූ යම් කෑමක් මතක් වීමෙනි. නැත්නම් ඇය කළ විහිලුවක් මතක් වීමෙනි. කාංචනා ගැන මතකයන් එක් වරම ඇවිත් මඳ වේලාවක් සිත වටා දැවටී නැතිව යයි. කාලය ගතවී ගියේ එසේ, කිසි හදිස්සියකින් නොවේ.
පාලිතගේ ලෝකය උඩු යටිකුරු කළ කාලය එළඹියේද කිසිදු දැනුම්දීමක් නැතිවය.
පාලිත දිනක් අමාත්‍යාංශයේ තම කාර්‍යාලයේ වැඩ කරමින් සිටින විට ඔහුගේ ලේකම්වරිය කාමරයේ දොරට තට්ටු කර ඇතුලට ආවාය. ලිපිගොනුවක් කියවමින් සිටි පාලිත ඔලුව උස්සා බැලුවේ විනාඩියකට පසුය.
‘සර් ! සමාවෙන්න ! සෙකුයුරිටි එකෙන් කතා කරලා කියනවා ගෑණු ළමයෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. සර් ව හම්බවෙන්නම ඕනලු. මං කිව්වා සර් වැඩ, එපොයින්ට්මන්ට් එකක් නැතුව ඇතුලට ගන්න එපා කියලා.’ ලේකම්වරිය කියාගෙන යයි. පාලිත ඇය දෙස බලාසිටින්නේ ඇය කියන දෙය කියා පිටවෙන තුරුය. මෙම ලිපිගොනුව අදම ඉවරයක් කළ යුතුය.
‘මේ ළමයා කියනවලු සර් ට කියන්න කියලා බණ්ඩාරවෙල ඉඳන් ආවේ කියලා කිව්වම එන්න දෙයි කියලා. මං ඒත් කව්ද මේ කියලා බලන්න ගියා Reception එකට. ලස්සන පොඩි කෙල්ලෙක් සර් ! එයාගේ නම නෙත්මිණිලු. අම්මාගේ නම කාංචනා කිව්වා. මේ විස්තර සර් ට කිව්වාම සර් එන්න කියයි කිව්වා. එයාගේ යාලු තව ගෑණු ළමයෙක් එක්ක ඇවිල්ලා ඉන්නේ’ යි කියූ ලේකම්වරිය පාලිත දෙස බලා සිටියි. පාලිතට, කාංචනා යන නම මනසෙහි රෙජිස්ටර් වෙන්නට ටික වෙලාවක් ගියේය. ඉන් පසු ඔහු තිගැස්සුනේය. ඔහු ටික වෙලාවක් බලා සිට;
‘ම්.. එන්න කියන්න බලන්න. මං දන්න කෙනෙක්ගේ දරුවෙක්. මොකද දන්නෑ !’ පාලිතට කිසිවක් ඔලුවට එන්නේ නැත. ඇය සමඟ කාංචනාත් ඇවිත්ද ? ඔවුන්ට මොනවාවත් කරදරයක්ද ?
දොරට තට්ටු කරන හඬින් ඔහු කළ්පනා ලෝකයෙන් මිදී ඇරෙන දොර දෙස බැලුවේය. පාසල් යන වියේ සිටින කාංචනා කාමරයට ඇතුල් විය. පාලිතට පුටුවෙන් නැගිටුනි. ඔහුගේ මුහුණ දෙස බලා දැරිය සිනාසෙයි. ලස්සන ගවුමක් හැඳ කොණ්ඩය පිටුපසට කර බැඳ සපත්තු දෙකක් දමා පැමිණි දැරියට අවුරුදු දහ අටක් පමණ වෙන්නට ඇත. මුහුණ ඇරපු අතක් නැත, කාංචනාමය.ඇස්, කම්මුල්, කොණ්ඩය.. ඒත් කට සහ සිනාව.. ම්ම්..මේ කවුද ?
දැරිය සිනාවේගෙනම ඔහු දෙස බලා සිටී. ඇයගේ මුහුණේ තියෙන්නේ අමුතුම බැල්මකි. එය දුකක්ද සතුටක්ද කියා කියන්න අපහසුය. මේස වටෙන් දැරිය ළඟට පැමිණි පාලිත ඇයට තම අත දිගු කළේය.
‘මට සමාවෙන්න ! කව්රු කියලද මේ දුව කිව්වේ ?’ යි පාලිත ඇසීය.
‘සර් ! මගේ නම නෙත්මිණි ! මගේ අම්මගේ නම කාංචනා ! අපි බණ්ඩාරවෙල. මාත් එක්ක ආපු මගේ යාලුවා එලියේ ඉන්නවා.’ ඇය සියුම් හඬින් කතා කරයි. නමුත් එම හඬ නිරවුල් ය. දැඩිය. පාලිත දැරියව පුටුවක වාඩි කරවා, ඒ අසල අනිත් පුටුවේ ඔහු වාඩි විය. ඇයගේ පෞරුෂය කදිමය. හොඳ අධ්‍යාපනයක් ලබන බව පෙනේ.
‘මං ඔයාගේ අම්මව හොඳට දන්නවා ! මං බණ්ඩාරවෙල ඉන්න කොට ඔයාලගේ ගෙදර ඇවිත් තියෙනවා. ඒත් දුව මොකද මෙහෙම ආවේ ? මුකුත් කරදරයක්ද ?’ පාලිතට කිසිවක් හිතාගන්න බැරිය. මැයගේ පෙනුම…!
‘සර් ! මං මෙහෙම ආවට මට සමාවෙන්න ! අම්මා දන්නේ නෑ මං මෙහෙම එන බව ! මං දැන් පොඩි ළමයෙක් නෙවෙයි. මං AL කරලා විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නේ. කොළඹට. බණ්ඩාරවෙල International School එකක මං ඉගෙන ගත්තේ ’ දැරිය කියාගෙන යයි. ඇයගේ හඬ මඳක් ඇඬුම්බර වේගෙන එයි.
‘හ්ම්.. මට පේනවා දුව හොඳට ඉගෙන ගන්න ළමයෙක් කියලා. ඒත් ඇයි අම්මට නොකිය ආවේ? කාගෙත් එක්කද කොළඹ ආවේ ?’ පාලිතට කුතුහලයක් ඇතිවුනි.
‘මං යාලුවෙක්ගේ ගෙදර ආවා ! එයාලට කොළඹ ගෙයක් තියෙනවා. මං අම්මගෙනුයි, තාත්තගෙනුයි අවසර අරගෙන මෙහේ ආවේ. එයාල අපේ හොඳ යාලුවෝ ! යාලුවගේ තාත්තා අපිව බැස්සුවා. දවල් වෙලා අපිව ගන්න එනවා !’ දැරිය කතා කරද්දී වට පිට නොබලා තමා දෙසම බලා ඉඳියි.
‘හ්ම්ම්…හරි දැන් මට තේරෙනවා ! දැන් එහෙනම් කියමුකෝ ආව කාරණය ?’ පාලිත සැහැල්ලුවෙන් ඇසුවේය. ඇය අධ්‍යාපන වැඩකට උදව්වක් බලාපොරොත්තුව විය යුතුය. මා ගැන කාංචනා යම් හැඳින්වීමක් දුවට කරන්නට ඇත. ඒ අනුව යම් ව්‍යාපෘතියකට අනුග්‍රහයක් ඉල්ලීමට හෝ විශ්වවිද්‍යාලයට යාමට නැවතීම් පහසුකමක්වත් සොයාගෙනද ? නෑ.. එහෙම වෙන්න බෑ. අම්මාටත් Surprise එකක් කරන්නට මෙසේ ආවා විය යුතුය. දැන් හැදෙන තරුණ ළමයි ඉන්නේ බොහොම ඉදිරියෙනි. අප මේ වයසේදී මෙන් ඔවුන් කුලෑටි නැත. දැනුම අතිනුත් වඩා පොහොසත් ය. පාලිතට කෙල්ල ගැන ආඩම්බර සිතුනි.
මතු සම්බන්ධයි.
By Pantaka Bhatiya Siriwardhana – Sri Lanka