fbpx
20 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නිලබල උඩඑයි. කුලමල යටයයි. | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මාතර සිට පිටවලානට සැතපුමි 40 කට වඩා දුරය. පිටවලාන වැසියන් බොහෝ දෙනෙකු  කිසිම දිනක මාතර නගරය දැක නොතිබුණත් නිකුලස් ආරචිචිරාල මාසයකට වතාවක් එවකට සුදු ඒජන්ත තුමාගේ ලිපිකරු දියෝනිස් හමුවීමට ගියේය. ගමේ ඉඩ කඩමි ආරවුල්, ගෙවල්වල අඹුසැමි ප්‍රශ්ණ වල සිට නීති උපහැරණ අඩුවක් නැතිව ආරචිචිට ලබාදීමට අමතරව අවශ්‍යවන ලියකියවිලි ඔප්පු තිරප්පු වැඩ කටයුතු හා ව්‍යාජ ලියාපදිංචි කටයුතු පවා සිදු කර දුන්නේ දියෝනිස් ය.

දියෝනිස් මැදි වයසේ අවුරැදු 50 ඉක්මවූ දේහදාරී විවාහකයෙකි. රාජකාරි කටයුතු වලට පිටවලානට ඉඳහිට යන ඔහු කිතුල් රා වලින් සප්පායමිවී හීනටි හාල් බත් හා ඌරු මස් සමග ලැබෙන ප්‍රණීත අහාර වේල් වලට අමතරව දින කීපයම විනෝදයෙන් ගත කරන්නේ අවුරුදු 30 ක පමණ වූ එතනා නැමැති අවිවාහක මනා රෑ සපුවක් ඇති ඔනෑම පිරිමියෙකු වසඟයට ගත හැකි කාන්තාව සමගය. 

දියෝනිස් සමග හවුලේ කළ හොර ලියකියවිලි හා ගණුදෙණු නිසා ආරචිචිට ගමෙන් විශාල ඉඩම්  ප්‍රමාණයකට අයිතිවාසිකම් හිමිවූ අතර, එතනා, දියෝනිස් අයිති කරගත් කුරක්කන් කුරුනි 16ක වපසරිය ඇති වල් මුකලානක පිහිටි ඉඩමේ පැලක ජීවත් වූවාය. දියෝනිස් ආපසු මාතර යනවිට සිලිං හත අටක් එතනාගෙ අතට දීමට වග බලා ගත්තේය.

ඒ කාලයේ, රොඩී කුලයේ සිටියේ පහළම, කොන්කළ ජනයා බැවින් ඔවුනට චාරිත්‍ර වාරිත්‍ර අහිමි විය. විවාහ අවාහ සහ දරුවන් වැදීම අවිචාරවත්ය. රැළේ නායකයාගේ නීතියට යටත් නොවන රොඩියන්ට මරණය පවා හිමිවිය. එසේ නොමැතිනම් කටු ඉඹුල් පොලුවලින් පහරදීම දඬුවම විය. මෙබැවින් කිසිවෙක් ගෝත්‍රයෙන් පිටපැනීමට බියවූහ. එනමුදු රාජකීය ලෙයකින් පැවතෙන  රොඩී ස්ත්‍රීහු ඉතා රූබර නැට්ටුක්කාරියෝ වූහ. සමහර රූමත් රොඩී තරුණියෝ ධනවතුන්ගේ ගණිකාවන් ලෙස පසු කාලයක යොදා ගනු ලැබූහ.

එතනාද රොඩී කුලයක කාන්තාවක් වූවාය. රොඩී ගමක් අසල රාජකාරියට ගිය දිනක දියෝනිස් ඇයට වසඟවී රොඩී රැළට හොර රහසේ කරත්තයෙන් කෙලින්ම පිටවලානට පැමිණියේ ය.

ඇය තමන් සමග ඊට දින කීපයකදී රැළේ නායකයාගේ අන පරිදි එකට විසූ ‘ඉලයා’අමතක කර දියෝනිස්ට කැමති වූවාය. නමුත් ඈත එපිට දියෝනිස්ගේ කැලෑබද හේනක ඇය පදිංචි වීමට පැමිණියේ දුක්ඛිත ජීවිතයෙන් ගැලවීමට මිස දියෝනිස්ට තිබු ආදරය නිසාම නොවෙයි. ‘ඉලයා ‘යනු සර්පයා යන අර්ථයක් දෙන රොඩී වචනයකි. එතනාගේ රොඩී නම ‘හිදලු”විය. හිදලු යනු සුදු පාටට කියන වචනයකි. ඇය එතරමිම ලස්සන නිසා එනම පටපැඳිනි. 

ඇයට තම රැළෙන් මිදී පලා යාමට කැමැත්ත ආශාව ඇතිවී බොහෝ කල්ය. ඉලයා වැනි සර්පයෙකුට ඇය කැමති නොවූවාය. මෙම හිදලුගේ පලායාමෙ සිද්ධිය කන වැකුණු ඉලයා සිටියේ පහර කෑ නයකු මෙන් හිදලු  මරා ගෙන මැරෙන්නටය. නමුත් හිදලු ගිය තැනක් ගැන සලකුනක්වත් ඉතිරි කර තිබුණේ නැත.

අවසානයේ තම ජීවිතය නැති කර ගැනීමට ගිනි තබා ගත්තද ඔහුගේ ජීවිතය බේරුණේ රැළේ අය මැදිහත් වීමෙනි. ඉලයා සනීප වනවිට මුහුණ විරූපීවී තිබුණේ  පිච්චුණු කැලැල් නිසාය. එතනාගේ කුලමල දන්නා බැවින් ආරචිචිට අවශ්‍ය ලෙසම දියෝනිස් රාජකාරි ඉටුකර දුන් අතර එම හයිය නිසා ගමේ අණසක ආරචිචිගේ මනාපයට විය. ගමෙ හැඩි දැඩි පිරිමි නරුමයන් නඩයක් කිතුල් රා මැදගෙන කැලයේ සත්තු මරාගෙන කමින් මුළු ගමතුළ තම අණසක පැවැත්වුවද ආරචිචට එම මරුමුස්සෝ බියවූහ. කීකරු වූහ. ආරචිචි විරසක වුවහොත් එම නඩයටම වන්නේ විලංගු වැටී මහඋළුගෙදර හිරබත් කෑමටය. ගමේ යහතින් ජීවත්වීමද සිහිනයකි.

එක් දිනක් එතනා සමග රහස් ආදරයෙන් බැඳනු තරුණ හැඩවසමි ‘ගුරුලා ‘ නමැත්තා පොලුවලින් ගසා මරා දැමිමේ මොවුන්ය. ආරචිචි ගමේ මැරකමි සියල්ල කළේ මෙම නඩය හරහාය. පොලිස් පොතේ අලියකු ගසා ‘ගුරුලා ‘ මැරුණු බව සඳහන් විය. එය ආරචිචි කළ යටිකූටිටු මිනී මැරුමක් බව දැන ගත් පසු ආරචිචිට විරැද්ධව කතා කරන්නට එතනා බිය වූවාය. 

අවසානයේ එතනා ආරචිචිගේද මනදොළ පුරවා ගමේ නායකයා පාලනය කළේ  බළලාගෙන් කොස් ඇට බාගන්නා අයුරිනි. නමුත් කිසිම දිනක දියෝනිස්ට එම රහස එළිවූයේ නැත. එබැවින් ආරචිචි අහමිබෙන් හා රහසිගතව ලැබුණු මෙම සුරෑපී තරැණියට ඇඹලයකු ලෙස ලොල්විය. එතනාට දරැ ගැබක් ලැබුණේ කාගෙන්දැයි හරි හැටි දන්නේ එතනාය. නමුත් ආරචිචි සහ නිකුලස් දෙදෙනාම සිතුවේ එයට වගකිවයුත්තේ තමන් බවය.

අවසානයේ මෝඩ කොලුවකු වන සයිමාට ඇය සමග බින්න බසින්නට සිදු විය. විවාහයට පෙර ඉඩම එතනා නමට ලියා ගත්තේ දියෝනිස් සමග හුරතල් වෙමිනි. ටික කලක් ගතවන විට ලැබුණු දරුවන් දෙදෙනාම නගරයේ පාසැලක බෝඩිං කළේ ආරචිචිගේ කපටි උපදෙස් පිට දියෝනිස්ය. සයිමාට කිසි දිනක රාත්‍රිය ගෙදර සිටීමට ඉඩ නොලැබුණු අතර දිවා රාත්‍රී ආරචිචිගේ ඈත එපිට හේනක් බලා ගැනීමට සිදුවිය. ටික කලකින් සයිමා අතුරු දහන්විය. 

ආරචිචිගේ සහ දියෝනිස්ගේ බලපුළුවන්කාරකම නිසා කලක් යනවිට එතනාගේ නම මැණිකේ වූ අතර ගෙදර අතට පයට වැඩ කරුවෝ හිඟ නොවූහ. හේන මිනිසුන් යෙදවා පුවක් වගා කිරීම නිසා පුවක්වත්ත විය. පොල් ගස් වලින් පිරුණ වත්තට අමතරව ආලින්දය සහිත තරමක් විශාල ගෙයක්ද ඉඩමේ ඉදිවිණි. නිවසට අවශ්‍ය ලී සියල්ල සපයා දුන්නේ ආරචිචි බවට කතා තිබූණි.

ගමේ ජීවත්වූ අයගෙන් වැඩි දෙනෙකු අඩු කුලවල දුප්පත් අය බැවින් එතනා මැණිකේ ඉදිරිපිට 

ගරුසරු දක්වන්නට ඔවුන් කිසිදිනක ගෙය ඉදිරිපසින් පැමිණියේ නැත. ඔවුන් නිවස පිටු පස පිළේ  සිට දෙන දෙයක් කෑවේ  කොලපොතකය. සමහර අඩු කුලවල ගැහැණු  පිරිමි කිසිවෙකු මැණිකේ ඉදිරිපිට උඩු කය ඇඳුමි වෙනුවට රෙදි කඩකින් පමණක් වසා ගත්තා මිස කබායක් හැටිටයක් ඇන්දේ නැත. 

දිනක් රොඩී කුලවලට අයත් පවුල් කීපයක් පිටවලාන ගමට පැමිණ මුකලානක පැල් අටවා ගත්හ. 

ඔවුන් ගෙවල් ගානේ ගොස් හිඟා කමින් නයි නටවමින් මුදල් සොයා ගත් අතර වයසක නමුත් මුහුණ විරූපී මිනිසකු එතනා මැණිකේගෙ ගෙදරට පැමිණියේ නයි නටවා හිඟමන් යැදීමටය. විරූපී රොඩී මිනිසාට එකවරම තමන්ගේ එක පිළේ  නිදා ගත් සැතිරිය හඳුනා ගැනීමට කල් ගියේ නැත. ඔහු මෙතෙක් සොයා පැමිණි ගොදුර අත  ළඟය. ඔහුගේ දෙනෙත් වියරුවී ආවේශ වන හැටි මැණිකේට පෙණින. 

විරූපි මිනිහා තමා අතහැර දමා පලා ආ ඉලයා බව අසීරුවෙන් හඳුනා ගන්නා විටත් ඔහු තම ඉනේ තිබුණු උල් පිහිය මැණිකේගේ හදවත සිදුරුකර අවසානය. බලා සිටිය සැමට සත්‍ය කතාව හෙලි කළ ‘ඉලයා”

තම පිහියෙන්ම සිය දිවි හානි කර ගත්තේ පිස්සකු මෙනි. 

ටික කලක් යනවිට නගරයේ ඉගෙන ගත් ලොකු දුව ඇන්ජලීන් පාසැල්යන කාලයේ ඇති කරගත් පෙම් සබඳතාවයකින් බර්ගර් තරුණයකු සමග විවාහ වී පොල් හා පුවක් සහිත ඉඩමෙ පදිංචියට පැමිණුනු අතර ගම්වල මිනිසුන් වත්තට කීවෙ ‘සුදු මහත්තයගෙ පුවක් වත්ත,’යනුවෙනි.

පුතා එඩිවඩි පාසැලෙන් අස්වී පොලීසියට බැඳුණු අතර සිංහලයකුට හිමිවන ඉහලම සාජන් තනතුර ලැබී මාතර දිසාවට පත්වීමක් ලැබුණේ පසුගිය සතියේය. තම රාජකාරි කටයුත්තක් වෙනුවෙන් පිටවලාන අවට ගමකට පැමිණි සාජන් මහතා අශ්වයා  පිටමත අක්කා බැලීමට පිටවලානට එනවිට දැනට ගමේ ආරචිචිව සිටින නිකලොස්ගේ පුතා පැමිණ ගරුසරු ඇතිව පිළිගත්තේ දොහොත් මුදුන් තබා වැඳ ගෙනය. ගමෙ මිනිසුන් පාරේ දෙපැත්තටවී තම කරේ ඇති සාළුව අතට ගෙන ගරු සරු කළේ පොලිස් සාජන් මහතාගේ ගාම්බීර තේජසයටය.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.