(1 කොටස – බල්ලා ගැන රචනාව ගිය වාරයේ පළ වී ය.)
මගෙ පුතාගේ වාක්‍ය රචන ප්‍රශ්නය ගැන කල්පනා කරන අතර ඒ පරම්පරාවේ දෙමව්පියන් වශයෙන් අප වෙනම ක්‍රමයකට දරුවන් ලොකු මහත් කළ යුතු බව වැටහින. එකල තාක්ෂණය එතරම් දියුණු නූනත් හෙමින් එසේ වෙමින් පැවතින. වර්තමාන පරම්පරාව අපි ‘නව පරම්පරාව( New Generation ) ලෙස හඳුන්වමු . ඔවුන් බොහෝ දෙනා ඒ දියුණු තාක්ෂණය සමග ජීවිතය ඉදිරියට ගෙනයාවි. අප වැනි වැඩිහිටි පරම්පරාවේ දෙමව්පියන්ට එහි හොඳ සහ නරක පැති පෙනුණත් ඒවායින් ප්‍රයෝජනයක් ගෙන තම දරුවන් යහමගට යැවීමට දරන ප්‍රයත්නයන් අවම වීමට අවකාශ තිබේ.
මම මෑතකදී කියවන ලද කථාවක් දෙමව්පියන් වෙත යොමු කරමි. මෙයින් අපට යමක් ඉගෙන ගත හැකිද?
‘එක් රාත්‍රියක කාන්තාවක් සහ ඇගේ ස්වාමිපුරුෂයා රාත්‍රී ආහාරයෙන් පසු, කාර්ය බහුල දවසක වෙහෙස මහන්සිය නිවා ගනිමින් සාලයේ අසුන්ගෙන සිටියහ. මෙම කාන්තාව ප්‍රාථමික පාසල් ගුරුවරියක් වූ අතර ඇයට තම සිසුන් සඳහා නියම කළ ශ්‍රේණිගත කිරීමේ පැවරුම් ලකුණු කර අවසන් කිරීමට සිදු විය. එම පැවරුමේ නියමය පරිදි කැමති මාතෘකාවක් තෝරාගෙන රචනයක් ලිවීමට නියමිතව තිබිනි. ඇගේ ස්වාමිපුරුෂයා තම ‘ස්මාර්ට්’ ජංගම දුරකථනය අතැතිව ඇය අසල අසුන්ගෙන සිටියේය.
අවසාන රචනය නිවැරදි කර අවසන් කළ පසු ඇය තවත් රචනයක් ලකුණු කිරීමට ඇති වග දුටුවාය. ඇය ඒ රචනය කියෙව්වා ය.
‘මගේ පැතුම‘ස්මාර්ට්’ජංගම දුරකතනයක් වීමයි.’
‘මගේ අම්මයි තාත්තයි එයාලගේ ෆෝන් එකට විතරක් අවධානය දෙනවා. සමහර වෙලාවට එයාලට මාව අමතක වෙනවා.
මගේ අම්මයි තාත්තයි වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එනකොට එයාලගේ ෆෝන් එකත් එක්ක කාලය ගත කරනවා මිසක් මා සමග ගත් කරන්නට වෙලාවක් නොමැත. මගේ අම්මා හෝ තාත්තා වැදගත් දෙයක් කරන විට පවා ඔවුන්ගේ දුරකථනය එක් වරක් හෝ නාද වුවහොත්, ඔවුන් වහාම එය අතට ගනී. ඒත් මම ඇඬුවත් ඔවුන් මා කෙරෙහි අවධානය යොමු නොකරති.
මගේ අම්මයි තාත්තයි සෙල්ලම් කිරීම ජංගම දුරකථනය හරහා ගේම් එකක් වශයෙන් කළ ද මාත් සමග සෙල්ලම් කරන්න කාලය යොදවන්නේ නැත. ඔවුන් යමෙකු සමඟ දුරකථනයෙන් කතා කරන විට මම යමක් ගැන කලබල වී ඔවුන්ට පැවසීමට අවශ්‍ය වුවද ඔවුන් මාව නිහඬ කර මට යන්න කියනවා.
ඒ නිසා මගේ පැතුම තමයි ‘ස්මාර්ට් ෆෝන්’ එකක් වීම. මොකද එතකොට මගේ අම්මයි තාත්තයි එයාලගේ ෆෝන් එක තරමටම මට ආදරෙය කරන බැවිනි’.
කාන්තාව කඳුළු සලමින් රචනාව කියෙව්වාය. ඇගේ ස්වාමිපුරුෂයා කාරණය කුමක්දැයි විමසූ අතර ඇය ඔහුට රචනාව පෙන්වූවාය. ඔහු එය වහා කියවූ පසු ඇයගෙන් විමසුවේ මෙතරම් දුක්බර රචනාවක් ලියා ඇත්තේ කවූරුන් ද කියාය. මෙම “අතිරේක” රචනය පැමිණියේ කොහෙන්දැයි කාන්තාව තේරුම් ගත්තේ එවිටය.
“එය ලිව්වේ මගේ ශිෂ්‍යයෙක් නොවේ,” කාන්තාව පිළිතුරු දුන්නාය. “ඒ අපේ පුතා.”
මේ කතාව කියවන විට එය මට තදින් හිතට දැනුණි. නමුත් මගේ දරුවන් වැඩී ඇති නිසාත් මට කවදාවත් එවැනි ප්‍රශ්න ඇති නොවූ නිසාත් එය මට එතරම් කරදරයක් නොවීය.
කාල වකවානු දෙකක ලියවුනු රචනා දෙකක් අපට යමක් කියාදෙයි. එක යුගයක දරුවන්ගේ නිර්මාණාත්මක මෙන්ම යමක් විසදා ගැනීමේ කෙටිම ක්‍රමයක් සොයා යෑම රචනය හරහා මතු වෙද්දි අනෙක් රචනාව දෙමව්පියන් දරුවන් අතර සම්බන්ධතාව ගැන මැසිවිල්ලක් කියනු දැනේ.
කෙසේ වෙතත් දෙමව්පියන් වශයෙන්, අපගේ දරුවන්ගේ හැඟීම් පිළිබඳව අප දැනුවත් විය යුතුය. ඔවුන්ට සතුටු වීමට හා සදාචාරව හැදී වැඩෙන්නට හොඳ පරිසරයක් නිර්මාණය කළ යුතුය.
මෙලෙසම ‘ස්මාර්ට් ෆෝන්’ තියෙන ළමයින් සහ දෙමව්පියන් දෙගොල්ලොම මෙය කියවනවා නම් මතක තබා ගත යුත්තේ ඔවුන් දෙගොල්ලන්ම එකිනෙකාට සංවේදී විය යුතු යන්නයි. දරුවන්ට අද අවශ්‍යව ඇත්තේ ඔබේ කාලය සහ ආදරය වග දෙමව්පියන් මතක් තබාගත යුතුය. එලෙසම දරුවන් මතක් තබාගත යුත්තේ ඔය ‘ෆෝන්’ එකෙන් ගහන ගේම් එකේ අණට මෙන්ම දෙමව්පියන්ගේ අණට ද අවනත වීමට තරම් විනීත විය යුතු බවය. එසේ වුවහොත් දෙපැත්තටම ලැබෙන වාසීන් එමටය.
By Lalith Gunaratne