මෙතෙක් කතාව
බ්‍රයන්, ජැකා, කස්සා සහ ටොම්බා කොළඹ, හැටේවත්තේ ඉපිද ලොකු මහත් වුණ කොලු ගැටවුන් ය. විවිධ දුක් ගැහැට විඳිමින් ජීවත් වූ ඔවුහු තම වැඩිහිටියන් අනුකරණය කරමින් නොමඟ යති. ඔවුන්ගේ කල්ලියේ නම උකුසු ගැන්සිය යි. මත්පැන්, ගංජා බොන්න පුරුදු වෙන ඔවුහු කුළියට මදාවි වැඩ කරති. තම මවට පොරොන්දු වූ ලෙස සොරකම් නොකරන, කුඩු නොබොන බ්‍රයන් අන් සියලු දුර්ගුණයන්ගෙන් සන්නද්ධ වෙයි. සමාජ අසාධාරණයන්ට මූණපාන ඔවුහු පාතාල ක්‍රියාවල නිරත වෙති. ඔවුන්ගේ ජීවිතවල ආපසු හැරීමක් නැ ත. අද එතැන් සිට…
‘මචං බ්‍රයන්ට පොලිසියත් බයයි බං.’
‘පොලිසිය නෙවෙයි යකෝ ඇමතිත් බයයි!’
‘බ්‍රයන් ලොස් නැතුව වියදම් කරනවා මචං. ’
‘බ්‍රයනා… වැඩ්ඩා. ඌට බස් තියෙනවා. ළඟදි කැස්බෑව පැත්තෙ කඩ කාමරයකුත් සල්ලි දීල ගත්තා. තව ගේකුත් ගත්තා .’
‘ඇයි බං වත්තෙම ගෙවල් පහක් බොසාට තියෙනවනෙ.’ බ්‍රයන්ගේ සහචරයෙක් කීය.
‘ඒ ගෑනිගෙ සල්ලි බං. ඒකි සල්ලි තියෙන පවුලක කෙල්ලෙක් නේ.’
‘උඹ නොදන්න ඒව කියවල උගෙන් කන්න එපා. ඒ කුඩු සල්ලිනෙ යකෝ.’
‘බ්‍රයනයා කුඩුවල නෑ, කවදාවත් නෑ. ’
‘බ්‍රයනයාට අසාධාරණය පේන්න බැ. ’
ආණ්ඩු මාරුවත් සමඟ බ්‍රයන්, ගුණවර්ධනගෙන් ගැලවී දාමරිකයෙකු වූ ප්‍රසන්න සිංහ ඇමති ළඟ සම්බන්ධීකරණ ලේකම් තනතුරක් ලැබුවේ මුළු වත්තම සතුටට පත් කරමිනි. වත්තේ බොහෝ දෙනා ප්‍රසන්න සිංහගේ පාක්ෂකයෝ වූහ. මෙයින් වුණේ ගැන්සිය දෙකඩ වීමය. බලවත්සේ කිපුන ගුණවර්ධන ටොම්බාව තමා ළඟට ගන්නේ අනාගත බලාපොරොත්තු ඇතුවය.
සම්බන්ධීකරණ ලේකම් බ්‍රයන් ඇමති වාහනයකින් එහේ මෙහේ යනු දැකීම සාමාන්‍ය දසුනක් විය. බ්‍රයන්ගේ මවට ආඩම්බර සිතුනි. වත්තේ මිනිසුන්ට උදව් පදව් යහමින් තිබුනි. ගුණවර්ධන සහ ප්‍රසන්න සිංහ ගැටුමේ එක් අදියරක් කෙළවර වූයේ බ්‍රයන්ගේ අතින් ගුණවර්ධන උදව්කරුවකු ඝාතනය වීමත් සමඟය. බ්‍රයන්ව බෙල්ලටම සිරවුණි. ලේකම් තනතුර වාෂ්ප විය. ඇමතියා කිසිත් නොදන්නා බබා උකුං කෙනෙක් විය. බ්‍රයන්ට ඇප ලැබුනේ මාස අටකට පසුය.
මෙවර ඔහුව ඩැහැ ගත්තේ කොටිකාවත්ත පැත්ත නියෝජනය කරන රාජ්‍ය ඇමති කෙනෙකි. ඔහුට තිබූ කැබිනට් ඇමති කෙනෙක් වීමේ සිහිනය සැබෑ කිරීමට බ්‍රයන්ට මහන්සි වී වැඩ කරන්න සිදු විය. එයට පහසු වෙන්නටය බ්‍රයන්ගේ අතට T 56ක් ආවේ.
‘මම කැබිනට් ඇමති වුණම උඹලටත් හොඳයි. වැඩ කිඩ දෙක තුනක් දාන කොට ලොක්කා බයවෙලා ඇමතිකම දෙනවා. ඒවට තමයි ක්‍රම සහ විධි කියන්නේ. ’ රාජ්‍ය ඇමති කීවේ හක හක ගා සිනා සෙමිනි.
බ්‍රයන් හිස් බැල්මෙන් බලා සිටියේය.
‘කරන්න ඕන දේ විතරක් කියන්න බොස්.’
ගණිතයට දක්ෂව සිටි බ්‍රයන් දැන් සිතන්නේ ඔලුවෙන් නොව T 56 නි. බ්‍රයන් ටොම්බාව නැවත තමා ළඟට ගත්තේය. ඔවුන් එකතු වී වැඩ කිඩ දෙක තුනක් නොව කීපයක්ම කරන්නට යෙදුණි. රාජ්‍ය ඇමති ඉගෙන ගෙන තිබුණේ නවය පන්තියට විතර වුණත් මජර දේශපාලනයට සමත් බව පෙන්වමින් ඔහු පවරා තිබුණේ සුපිරි වැඩ කිඩ කීපයකි. කිව්වා සේම ඔහු කැබිනට් ඇමති වුණි.
උකුසු ගැන්සිය වරින් වර වෙන්වී නැවත එකතු වෙයි. ගැන්සිය නිත්‍ය ලෙසම සී සී කඩ වුණේ ජැකා ගිවිසුම කඩ කරමින් කුඩු කල්ලියකට එකතු වීමෙනි. ටික කලකට පසු ටොම්බා ද ජැකාට එකතු විය. බ්‍රයන් ඔවුන්ට තර්ජනය කළේය. මෙයට බයවූ කස්සා ඩුබායි පැන්නේය. බ්‍රයන් තනි වුණි. ඔහුට සිටියේ අලුත් සහචරයන්ය. දෙපිලම බලවත් විය. ඉතා ඉක්මනින්ම දෙපිල අතර පළමු ගැටුම ඇති විය. ඒ කුඩු නොව ගෑනියෙක් මුල් කරගෙනය. මේ වනවිට කිසිවකුට සිහියක් පතක් නොතිබුනි. ඔවුන් සියලු දෙනා වැඩ කළේ අසිහියෙනි. අරක්කු, ගංජා, කුඩු මතිනි. හිස උදුම්මවා ගත් මාන්නයකිනි. යහලුවන් අතර කතාවක් දුර දිග ගියත් කෙළවර වෙන්නේ පිහි ඇනුමකිනි. ඉරිසියාවත් ක්ෂණික කෝපයත් මත උනුන් ඇන කොටා ගන්නා තත්ත්වයට පත්වී සිටි ගණන්කාරයන්ව මෙල්ල කර ගැනීමට පොලිසියටත් නොහැකි විය.
බ්‍රයන්ට අයිති නිවසක පදිංචිව සිටි ටොම්බාගේ බිරිඳගේ නෑයකු කී කේලමක් බහින්බස් වීමක් තෙක් දිගු විය. වටේ සිටි අය ගින්නට පිදුරු දැමූහ. වියරු වැටී සිටි බ්‍රයන් අතින් ටොම්බා වෙඩි කන විට ඔවුන් දෙදෙනාම සිටියේ තිස් දෙහැවිරිදි වියේය. ඉන් නොනැවතුණ බ්‍රයන්ගේ ගැන්සිය ටොම්බාගේ ලාබාල බිරිඳව ද වෙඩි තබා මරා දැමුවේ කුඩා දරුවා අසලමය. ඇය බ්‍රයන්ගේ බිරිඳගේ ඥාති සොහොයුරිය බවවත් අසිහියෙන් සිටි ගැන්සියට නොතේරුනි.
මුළු වත්තම තුශ්නිම්භූත විය. නිහඬ විය. බ්‍රයන් හැංගුනේය. ජැකා ආගිය අතක් නොමැති විය. සාමකාමී කාලයක් උදා විය. බ්‍රයන්ගේ මව නිහඬව ඉකිබින්දා ය. නිහඬතාව පැවතුනේ අවුරුද්දකි.
කිසිවකුට නොදැනෙන්න, නොපෙනෙන්න හැංගී සිටි බ්‍රයන් හිටි හැටියේ පාතාලයෙන් ඔලුව උස්සන්න තීරණය කර තිබිනි. එය වෙනතෙක් ඉතා සීරුවෙන් බලා ගෙන සිටි කෙනෙක් විය. බ්‍රයන් ඔළුව ඉස්සූ පළමු දවසේම ඔහුගේ හිසටම වෙඩි තැබුවේ මෙතෙක් කල් වෛරයෙන් පැසවමින් සිටි ටොම්බාගේ දහඅට වියැති මස්සිනා ය. තම සොහොයුරිය මැරූ පලිය ගනිමියි සපථ කර නිහඬව ඉවසා සිටි ඔහුගේ තුවක්කුව තම හිසට එල්ලවෙනු දුටු බ්‍රයන් බයෙන් සලිතව සමාව යැද්දත් වෛරය බලගැන් වී අහවරය. බ්‍රයන් අත තිබූ පිස්තෝලය අදින්නට උත්සාහයක් නොගත් බව සිද්ධිය දුටු අය පසුව කීහ.
කුඩා කාලයේ ඉගෙනීමට දක්ෂ වූ තම මවගේ අවවාද හිස් මුදුනෙන් පිළිගත් ඒ නිර්භීත කොලුවා වූ මේනක නොහොත් හැටේවත්තේ බ්‍රයන්ගේ අවමඟුලට බොහෝ පිරිසක් ආහ. බ්‍රයන්ගේ අම්මා තම පුතාගේ දේහය අසල සිහිසුන්ව වැටුණා ය. පියා හිරේ විලංගුවේ වැටීණ. අයියා කුඩු මතින් පාවෙන ඇටසැකිල්ලකි. ජැකා බ්‍රයන්ගේ නිසල සිරුර බදා ගෙන බොහෝ වේලාවක් ඇඬුවේය. කස්සා කාටත් නොදැනෙන්න ඩුබායි සිට ඇවිත් බ්‍රයන්ගේ සිරුර දෙස මඳ වේලාවක් බලා සිට නික්ම ගියේ ඒ අසලින් පිත්තලින් ඇඹුනු කුඩා උකුස්සෙකුගේ රුවක් තියාය.
වත්තේ ගණන් කාරයා නික්ම යනු බලා සිටි සෙනඟ අතර කිසිම මැති ඇමති කෙනෙක් නම් නොසිටියහ. ඔවුන් කිසිවකු මෙවැනි කෙනෙක් දැන නොසිටියා මෙනි. නොමඟ ගිය තරුණ ජීවිත අකාලයේ නැති විය. මෙය හැටේවත්තේ බ්‍රයන්ගේ පමණක් නොව සියලු පාතාලයන්ගේ කතාවට සමානය.
බ්‍රයන්ගේ ගණිතය ගුරුවරිය මෙන් සෑම ගුරුවරයෙක්ම තම මෙහෙය කැපවී කළා නම්, තමා මෙලොවට බිහි කරන දරුවන්ගේ වගකීම ඇත්තේ තමන් අත බව දන්නා දෙමව්පියන් සිටීනම්, දුප්පත් අසරණ දරු දැරියන්ට ආදර අනුකම්පා වෙන් සලකන්නට මුළු මහත් සමාජයටම පුළුවන් වුණා නම්, නගරයේ ඇති පැල්පත්, වතු නැති වී ඔවුන්ටත් අපට මෙන් සැප පහසුකම් ඇති නිවසක ජීවත් වන්නට තිබුණා නම්, ඔවුන්ට හොඳ රැකියා තිබුණා නම්, පිස්තෝල, තුවක්කු, වෙඩි උණ්ඩ අප සමාජයෙන් නැති වී යනවා නම්, මජර දේශපාලනය පිරිසිදු වෙනවා නම්!
තව කොයිතරම් දේවල් පතන්න පුළුවන්ද ? මගේ හිත දුකෙන් බරවෙලා, කේන්තියෙන් ඔත්පල වෙලා. අපි හරි අසරණයි කියලා හිතෙනවා. මං කනත්තේ සොහොන් කොත් බේරමින් ඇවිදගෙන ආවා.
‘අම්මේ…’ පුංචි එකෙක්ගෙ හුරතල් හඬ…
‘ඇයි මයෙ පුතේ?’ මවකගේ සෙනෙහබර හඬ.
‘කොහෙද අම්මෙ පාතාලය කියන එක තියෙන්නෙ ?’ අම්මා ලැජ්ජාවෙන් වටපිට බලලා තම ආදර කොලු පැටියා ගේ කට අතින් වැහුවා. ඉන්පස්සෙ ඒ අම්මා මෙහෙම කියනවා මං අහගෙන.
‘ෂ්…. ඒක තියෙන්නෙ පොළව යට මහ නරක තැනක පුතා. ’
මං එහෙමම නැවතුනා…. මහන්සියට පරණ ගරා වැටුණු සොහොන් කොතක් උඩ වාඩි වුණ. සුදු ඇඳගත් අය එක්කෙනා දෙන්නා යනවා. හිතටයි ගතටයි දෙකටම හරි මහන්සියි…
–නිමි–
පන්තක භාතිය සිරිවර්ධන – ශ්‍රී ලංකාව