මම 2019 වසරේ ජනවාරි මාසයේ මුලදී
ලංකාවට ගිය පසු උණ සෙම්ප්‍රතිශ්‍යාව සමග නොනවතින කැස්සක් මට වැළඳුනා. උණත් තරමකට තිබුණා.
මගේ ඥාති දොස්තර දියණියට කිවිවම දුන්න උත්තරේ,
‘මාමේ, මේක වෛරස් උණක්,ලංකාවෙ හැමතැනම.’
මාතර ගිය පසු මගේ සහොදරයා සැර වැරෙන්,
‘ඕක බලං ඉන්නෙ මොකොටෙයි, බෙහෙත් ටිකක් ගන්නෙ නැතිව?’ ඒක විධානයක් වගෙයි.
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ළඟට මා රැගෙන ගියා. ඔහු ටිකක් රටතොට ලොව ගැන දන්න අප්ඩේට් වෛද්‍යවරයෙක් බව තේරුණා.හොඳින් පරීක්ෂාකර මගේ වගතුග අසා පිටු බාගයක් විතර රසායනාගාර පරීක්ෂණ ලිස්ට් එකක් දුන්නා. සමහර කීපයක ප්‍රතිඵලත් ආවා. ඉතිරි ප්‍රතිඵල එන්න රෑ වෙනවා. වෛරස් පොසිටිව් කියල තිබුණ නිසා දොස්තර මහතා විශේෂඥ වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් කතා කරල මොනවදෝ උපදෙස් ගත්තා. එවෙලම මිල අධික බෙහෙතක් එන්නත් කිරීමට රෝහල් ගත කළා.
මෙම සියල්ල සිදුවුයේ භයානක වෛරස් රෝගයක් ඒවන විටත් චීනයේ ව්‍යාප්ත වන බව දැනගත් වෛද්‍යවරයාගේ කාරුණික දැනුම බැවිනි. ඊටත් වඩා මම නවසීලන්තයේ ඉඳලා කොළඹට ගියේ හොංකොං හරහා. මම දන්නෙ නැති වුණාට ඒ දිනවල හොංකොං ගුවන් තොටුපලේ රෝගීන් කීප දෙනෙකුම මම එන දිනවලත් ඉඳලා. දොස්තර මහතා ඒ විස්තර දැන ගෙන හිටි එක හරි ගියා. දැන් නං වෛරස් ලෙඩේ වෙන්නම බැරි නැහැ. දොස්තර මහත්තයටත් එහෙම හිතෙන්න ඇති. නැත්තං නෑදෑයො යාළුවො සනුහරේටම බෝ වෙනවා.
මම ඒ ගැන විස්තර අන්තර් ජාලයෙන් හොයා ගන්න තුරු මෙම අරුම පුදුම රෝගය ගැන අබමල් රේණුවක තරං දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒක අමුතුම වෛරස් වර්ගයක්. නම ‘කොරෝනා කෝවිඩ් 19’ හරියටම රෝග ලක්ෂණ කියන්න දන්න කිසිම වෛද්‍යවරයෙකුවත් එකල ලංකාවෙ හිටියෙ නැහැ. ‘එක එක කියපු කතා මම බය කළා එක සැරේටම රෝහල ඇතුලෙ හරිම කලබලයක්, නර්ස්ලා දොස්තරලා මුණු වහගෙන. මටත් වහගන්න උනා කටයි උඩයි ඔක්කොම. දැන් මම ඉන්නේ පාළු කාමරයක. සාත්තු කරන්න ඔක්සිජන්, වෙන්ටිලේට වගේ ඒවා සුදානං. දැං ඉතිං වෙලා තියෙන සංහදිය මට කවුරුත් අලුතෙන් කියාදෙන්න අවශ්‍ය නැහැ.
ලංකාවේ පළමු කොරෝනා රෝගියකු ‘මාතරින්’ කියලා හෙට පත්තරේ වැටෙන හැටි මට මතක් වුණා.
‘බොහෝවිට මරණය තමයි’ කොරෝනා හැදුනම. අන්තර්ජාලයේ මම වගේ එකෙක් දාපු ලිපියක්.’ චීනය, යුරෝපයම කොරෝනාවෙන් මැරෙනවා.’ ඒ ප්‍රවෘත්තියට ඇඟ සීතල වෙලා ගියා.
ඒ අස්සෙ තව දේශපාලකයෙක් තව ලියපු එකක්.
‘කොරෝනාව රට ඇතුළට ආවොත් මහා විනාශයක්. එයාර්පෝට් වහන්න ආණ්ඩුව දැනුත් ප්‍රමාදයි.’ ඔව් ඒකනං ඇත්තනේ කියලා මගේ යටි හිතම මට කියන කොට හදවතට හී පහරවල් වැදි වැදී යනවා වගේ දැනුනා. මුළු රෝහලම වෙනස්වෙලා. මම ඉන්න කාමරයට එන්නෙ අඟහරුලෝකෙට යන්න ඇඳ ගත් අය. දැං ඉතිං මම මැරෙන්න හිත හදා ගන්නවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. එක අතකින් කොහොමත් මැරෙනවා නං අවුරුද්දක් හෝ කීපයක් ඉස්සර වුණා කියලා එච්චරම වැළපෙන්න දෙයකුත් නැහැ. වැළපෙනවට වඩා සතුටින් මරණය වැළඳ ගැනීමයි හරි.
ඒ මට හිතුන හැටි. රාත්‍රී 9.00 පහුවෙන කොට අඟහරු ලෝකෙන් ආපු දෙන්නෙක් මගේ කාමරයට ඇතුල් වුණා.
‘මම physician වෛද්‍යරත්න ‘ කියන කොටම අහල පුරුදු ලංකාවෙ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් මම ඉදිරි පිට.
‘මොනවද තියෙන අමාරු?’
වැඩිපුරත් එක්කම මම අමාරුකම් කියල දැම්මා. නැත්නං දොස්තරලාට මදි.
දෙතුන් සැරයක්ම වාර්තා එකින් එක කියෙව්වා. නැවත නැවත මම හරව හරවා නම නමා පරීක්ෂා කළා.
පැයකට විතර පස්සෙ හෙමින් මිමිනුවා. ‘ඔබට තියෙන්නෙ සාමාන්‍ය උණක් නේ. සෙම්ප්‍රතිෂ්‍යාව. බයවෙන්න එපා ගෙදර ගිහිං හුමාලය අල්ලන්න. උණ බහින කං පැනඩෝල් ගන්න.’
උදේ පාන්දරම බිල ගෙව්වා. එක රැයට රුපියල් ලක්ෂයට පොඩ්ඩක් අඩුයි. බේත් හේත් පරීක්ෂන වාර්තා තොගයටත් එක්කම. එක අතකින් මරණය රුපියල් ලක්ෂයෙන් අහවර වෙච්ච එක ලොකු දෙයක්.
බුද්ධිමත්ව ගැඹුරෙන් මගේ රෝග ලක්ෂණ අධ්‍යයන කරපු දොස්තර මහත්තය හමු නොවුණා නං මගේ ඥාති දොස්තර දියණිය කිව්ව වගේ පැනඩොල් පෙත්තෙං වැඩේ අහවරයි. ඒ වුණාට එහෙම කියන එක මෝඩ කතාවක්.
ඒත් රෝග විනිශ්චය ගැඹුරෙන් කරන බොහෝ වෛද්‍යවරු සමහර රෝගීන් මරණයෙන් බේරගන්න අරගත්ත තීන්දු තීරන දෙස බලනවිට මම ගැන වඩාත් විමසිලිමත්ව මුලින්ම ගැඹුරෙන් සත්භාවයෙන්, මගේ රෝගය අධ්‍යයනය නොකළානං කොරෝනා නොවන බව හරියටම දැන ගන්නට තවත් සතියක් දෙකක් ගතවනු ඇත.
ඔහුට මම කෘතඥවෙමි.
දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්







