fbpx
17.6 C
New Zealand
Tuesday, January 21, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

ස්වර්ණ පවුර 09 – ‘අනාරාධිත සිතුවිලි’ කාව්‍ය සංග්‍රහය : අචලා නෙළුනිකා | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඉතා පුංචි සන්දියේදීම ඇයගෙන් මුල් කවියක් ලියවුණේ ඇයගේ අම්මා ගැනය. එම කවියට ප්‍රථම ස්ථානය පාසැල් තරඟකින් ලැබෙනවිට එම සම්මානය ඇය ලබා ගත්තේ ප්‍රසිද්ධ කලාකරු ලූෂන් බුලත්සිංහලයන්ගේ අතින්ය. එදා එම කුළුඳුල් කවිකාරිය අද යෞවනයේ හද බැඳ ගත් ගේය පද රචකාවියක් දක්වා පැමිණ ඇත. 

මෑත දී දොරට වඩින ලද ඇයගේ කුළුදුල් ‘අනාරාධිත සිතුවිලි’ නැමැති කවි පොතට සුබ පතන්නට නවසීලන්තයේ පළවන ලාංකික සම්භවයක් ඇති එකම පුවත්පත වන ශ්‍රි ලංකන්ස් වෙනුවෙන් අපට අවස්ථාව ලැබීම ගැනත් අපි සතුටු වෙමු. මෙම පුවත්පතේ කතෘ මණ්ඩලයේ ද යූ ටියුබ් නාලිකාවේ ද ඇය විශාල කාර්යය භාරයක් දැනට ඉටු කරමින් සිටින්නීය.

‘ඔබ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂ උපාධියක් ලබාගත් තරුණියක්ය. එම විෂය කොහොමද ගීත රචනයට අදාල වෙන්නෙ?’ මම ඇයගෙන් විමසුවෙමි.

‘මම පුංචි කාලයේ ඉඳලම සිතට එන මියුරු කල්පනා කොපි පොත්වල ලීවා. ඒක මගේ පුරුද්දක් වුණේ මම නොදැනුවත්වම. කොහොමත් කලාවට ආශා කළා. ඒක විෂය පරිබාහිර අත්දැකීම් කියලා මට හිතෙන්නෙ.’ ඇය කෙටි පිළිතුරක් ලබා දුන්නාය.

‘කලාව කිව්වම පුළුල් විෂයක්. නවසීලන්තයේ දී ඔබගේ නර්තන හැකියාව ප්‍රසිද්ධ වේදිකාවලදී අප දැක තිබෙනවා. ඒ වගේම වේදිකාගත වූ නාට්‍යයක ප්‍රධාන චරිතයකට පණ දෙන්නත් හැකි වුණා. ඒ ගැනත් ටිකක් කතා කරමුද?’ මම තවත් ඇය තුළ ඇති හැකියාවන් ගැන හාරා ඇවිස්සුවෙමි.

‘නර්තන කණ්ඩායමක මම පුහුණුවීම් කරනවා. තෝරාගත් වේදිකා ප්‍රසංගවලට සහභාගි වෙනවා. නවසීලන්තයේ තරුණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයකුවන ‍රනුක පෙරේරා  ගිය වසරේ නිෂ්පාදනය කළ ‘අසිරිමත් උමතුව’ නාට්‍යයේ ප්‍රධාන චරිතයකට මාව තෝරා ගත්තා.’ එම කලා කටයුතුවලට සහභාගිවීමට ලැබීම ගැන ඇය ආඩම්බරයෙන් කතා කළාය.

‘ඔබගේ ‘අනාරාධිත සිතුවිලි’ කාව්‍ය සංග්‍රහය කියවන විට අපේ ජීවිත සිදුවීම් එක්ක සංවේදී වෙනවා. විශේෂයෙන්ම හැම කවියකටම හොඳ ලස්සන ඡායාරූපයක් තියෙනවා. පොතේ නිමාවත් උසස්. එවන් කාර්යයක් සිදු කරනවිට ඔබ මුහුණ දුන් අත්දැකීම් අපිටත් කියන්න.’ මම ඇයගෙන් ඉල්ලීමක් කළේය.

‘මම කැමරාකරණයට ආශා කරනවා. ඒක මගේ විනෝදාංශයක්. මගේ කවියට ගැලපෙන පින්තූර මම හිතාමතා වෙහෙසිලා එකතු කරගත්තෙ. පිටකවරය සකස් කළේ තාරුක අශාන්. ඊට පස්සෙ සෝදුපත් කියෙව්වෙ ළහිරු කරුණාරත්න. ඒවගේම පිටු සැකසුම ප්‍රදීත් ලක්ෂාන් තමයි මහන්සි වෙලා කරලා දුන්නේ. මුද්‍රණය ලංකාවේ පිහිටි NEO Graphics අතින් ඉතා ඉහළ ගුණාතමකව කරලා දුන්නා.’ ඇය එම විස්තරය අඩුවක් පාඩුවක් නැතිව කටපාඩමින්ම කියවාගෙන ගියාය.

‘හොඳයි එහෙනම්,  ඔබේ කුළුඳුල් පොත ගැන මොකද හිතන්නේ?’ මම කෙටියෙන් ප්‍රශ්න කළෙමි.

‘මේක වෙනස් කවි පොතක්. ජීවිතේ ගලා යෑම පටුනෙන් විස්තර කරනවා. විශේෂයෙන් කියන්න ඕන කිවිඳියගේම කැමරා ඇසට අසු වුණ ඡායාරූපම නිසා රූපයෙන් කියනදේම කවියෙන් කියවෙනවා. තම තමන්ගේ දවස අනුව කවියක් තෝරාගෙන එය සමග ගැටෙන්න, විඳින්න පාඨකයාට පුළුවන්.’ ඇයගේ වදන්වල විශ්වාසවන්ත බවක් ගැබ් වී තිබුණි.

2020 වසරේ ශ්‍රි ලංකන්ස් පත්තරේ ටිකෙන් ටික දියුණුවෙන කොට 2022 වසරේ දී පමණ වෙලින්ටන් ඉන්න පුවත්පතේ ආරම්භක හර්ෂට විශේෂයෙන්ම අනු වීරකෝන්ට අවශ්‍ය වුණා කතෘ මණ්ඩලයට ක්‍රියාකාරී භාෂා දැනුම ඇති ව්‍යක්ත ලෙස භාෂාව හැසිරවිය හැකි ඒ වගේම සමාජශීලී සමාජ සේවයට ලැදි උගත්කමක් තියෙන කෙනෙක්. නවසිලන්තය පුරා විවිධ නගර හරහා සොයල බැලුවම අහම්බෙන් හමුවුණු යුවතිය තමයි අචලා කියන්නේ.

 

එදා සිට අද වනතෙක් ඇය පත්තරය වෙනුවෙන් ඇප කැප වෙලා කටයුතු කරනවා. පවුලේ දරුවන් දෙදෙනෙකුගේ කාර්ය බහුලත්වය වගේම තම කාර්ය බහුල පුර්ණ කාලීන රැකියාවක් තිබුණත් පත්තරයේ කතෘ මණ්ඩලයේ වැඩට ඇය අඛණ්ඩව සහාය වුණා.

‘ඔබ වැනි සියුමැලි යුවතියක් ලේඛන කලාවට වගේම විවිධ කලා ක්ෂේත්‍ර රැසකම දක්ෂතා පෙන්වලා තිබීම හා කාලය මිඩංගු කිරීම ඉතා සතුටට කරුණක්. ඒත් මට හිතා ගන්න බැරි ඔයා වගේ තරුණියක් ගෙවතු වගාව ගැන ප්‍රායෝගික දක්ෂතා පෙන්වමින් තිබීම. දෙරණ රූපවාහිනී නාලිකාව විසින් ඔබගේ ආදර්ශවත් ගෙවතු වගාව ගැන වැඩසටහනක් පසුගිය දිනක ප්‍රචාරය වෙනවා. කාර්ය බහුල ඔබ, එවැනි කටුක කාලය ගතවන ක්‍රියාදාමයකට කාලය මිඩංගු කිරීම මටනම් පුදුමයට කරුණක්.’ මට ඇය ගැන දැනුනු දේ කියා දැම්මෙමි.

‘ගෙවතු වගාව මම හරිම ආසාවෙන් කරන්නේ. මම එම විෂය දැනුම හොයා ගෙන යනවා. ඒවා ප්‍රයෝගිකව ප්‍රතිඵල ලබනකොට දැනෙන සතුට වෙනස්. දැනට ඒවාටත් ඉල්ලුමක් තියෙනවා. ගෙදරට අවශ්‍ය එළවලු මම වැඩිපුරත් එක්ක හදා ගන්නවා. වැඩි ඵලදාව මිතුරන් අතරේ බෙදා ගන්නවා. ඒක ජීවිතයේ වෙනස් විඳීමක්. ‘ ඇය පැහැදිලි කළේ එලෙසය.

සාහිත්‍ය මාසයට නවසිලන්තයේ එළි දැක්වුණු මෙම කාව්‍ය සංග්‍රහය නම් කෙරුණේ ‘අනාරාධිත සිතිවිලි’ ලෙසය. මව්බිමෙන් එතෙරෙදි පවා කවියට සාහිත්‍යයට ඇල්මක් දක්වන්නන් උදෙසා මෙය වෙනස් කවි පොතක්. ස්වභාව සෞන්දර්ය, ඡායාරූප, සංක්‍රමණික ජීවිතය, ආදරය , තාරුණ්‍ය, අහිමිවීම්, මව්පිය සෙනෙහස, ජීවිතයේ සැඳෑ සමය වැනි වයස් භේදයකින් තොරව රසවිඳිය හැකි පාඨක හදවත ස්පර්ශ කළ හැකි කවි එකතුවක්.

මෙම කවි පොත සැප්තැම්බර් 22 දින  ඕක්ලන්ඩ්හි දී  එළි දැක්විණි.පොතක විකුණුම් මිල නවසීලන්ත ඩෝලර් 30 කි. ඇණවුම් කර තැපෑලෙන් ඔබට ගෙන්වා ගත හැක. ඒ සඳහා පහත දුරකතනයට අමතන්න.

අචලා: +64 204815591

දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.