fbpx
14.6 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ටයිටැනික් සංචාරය – 01 කොටස | විජිත බණ්ඩාර හේරත් | එක්සත් රාජධානිය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

~~ ටයිටැනික් ගිය වරායෙන්ම ගිය දින නවයක නෞකා ගමන ~~

ඒ, මගේ බොහෝ කල් සිට තිබු සිහින තුනක් ම සැබෑ වුණු වසරක්ය. ඒ ඊජිප්තුවට කියුබාවට කළ සංචාර හා බහුදින සුඛෝපභෝගී නෞකාවක (Cruiser) සංචාරයන් ය. මේ තුනෙන්ම,  නාවික සංචාරය විශේෂයෙන් සිත් ගත්තා. ඒ ගැනයි මේ සටහන.

මේ ගමන දින නවයක්. පිටත් වුණේ ඊට අවුරුදු සියයකට පෙර ටයිටැනික් පිටත් වුණු එංගලන්තයේ දකුණු හැම්ප්ටන් වරායෙන්. ගමන් මාර්ගය වුණේ ස්කෑන්ඩිනේවියාව ආශ්‍රිත මුහුද ස්පර්ශ වන උතුරු මුහුද (North Sea) ය. මේ නිවාඩුව වෙනස්. නිවාඩුවේ ප්‍රධාන ඉලක්කය බහුදින මුහුදු අත්දැකීම මිස ලොකුවට රටවල් දැක බලා ගැනීම නොවෙයි.

එක රටක නෞකාව නවතා දිනක් පමණ  ඒ රටේ වරාය අසල ප්‍රධාන නගරය දැක බලා ගන්න කැමති අයට නෞකාවෙන් බැස සංචාරය කිරීමට ලැබේ. ඒ සඳහා සුඛෝපභෝගී බස්රථ වෘත්තීය මාර්ගෝපදේශකයන් සමඟ ලැබේ. කම්මැලි නම් නැවේම විනෝද විය හැක. බොහෝ නහින දෙහින වයසේ සංචාරකයෝ නෞකාවට ම වී සිටීම ප්‍රිය කරන්නෝය.

නෞකාව තරු පහේ හෝටලයක් ද වෙනවා. නවතින අයට නෞකාව ඇතුළත ඉහළම විනෝදාශ්වාදයක් ලබාගත හැකි නාට්‍ය, සර්කස් සංදර්ශන, ලෝක පූජිත චිත්‍රපටි ආදියට පහසුකම සලසා ඇත. සිය ගණනක් වූ භෝජනාගාරවලත් කිසිම අය කිරීමක් නැත. සියලු වියදම් මුලින් අප ගෙවන ටිකට්පතට අඩංගු කර ඇත. අය කිරීමක් කෙරෙන්නේ නෞකාව ඇතුළේම ඇති වීදිවල සාප්පු සවාරිවල දී මිල දී ගන්නා අමතර ඇඳුම්, ආභරණ හා නානා විධ විච්චුරණ ආදියට පමණි. නෞකාව ඇතුළ සම්පුර්ණ නගරයක්. සාප්පුවලදීත් කරන්නේ නෞකාවෙන් නිකුත් කළ සියලු දෙනාගේ කරේ ඇති හැදුනුම්පත තමයි දික් කරන්නනේ. කිසිම ගෙවීමේ පෝලිමක් නැත. සියලු අය කිරීම් ණයට කහින පත්‍රයෙන් (Credit Card) ක්ෂණිකව ගෙවේ. (ගෙදර ගියාම තමයි සීලිමේ වදින්නේ) දැනට ප්‍රශ්නයක් නැත.

සංචාරය කිරීමට නියමිත රටවල් 4කි. පිළිවෙලින්

      • බෙල්ජියම (බ්‍රසල්ස්)
      • ඩෙන්මාර්කය (කෝපන්හේගන්)
      • ස්වීඩනය (හෙල්සිම්බර්ග් වරාය)
      • නොර්වේ (ඔස්ලෝ)

මේවා ප්‍රබල සංස්කෘතිකමය හා නාවික ඉතිහාසයක් සහිත ලොව දියුණුතම හා සමෘධිමත්ම රාජ්‍යයන්. උතුම් රටවල් නෙවෙයි, දියුණු රටවල්.

වෙනත් නිවාඩු මෙන් නොව ඇත්තටම නිවාඩුව ඇත්තේ නෞකාවෙමය. එයත් මුහුදේ ගමන් කරද්දීමය. වෙනස ඒකයි. කාලෙකින් යන ප්‍රියජනක සංචාරයක් බැවින් මං බිරින්දෑත්, එවකට දස හැවිරිදි දියණියත්, සය හැවිරිදි පුතාත් එක්කර ගත්තා.

අපේ උතුරු ලන්ඩනයේ නිවසේ සිට එංගලන්තයේ දකුණු හැම්ප්ටන්  වරායට මහා මාර්ගයේ ගමන පැය දෙකක්.  නාවික සමාගම අපට වරාය වෙත යාම සඳහා ඉතා හොඳ රථයක් ඒවා තිබුණා. නෞකාව පිටත් වීමට පැය දෙකකට කලින් වරායට ළඟා වීමට සිතුවත්, වරායට පැයකට පමණ කලින් සිට මාර්ගයේ පැවතියේ පුදුමාකාර වාහන තද බදයක්. හේතුව විශාල නෞකා පහක් එකවිටම වගේ පිටත් වීමට නියමිතව තිබූ බැවින්. මේවා එකක මගීන් 3000-4000ක් පමණ ගමන් ගන්නා සුවිසල් නෞකාවන්. ඒ කියන්නේ නෞකා පහේ මගීන් 15,000ක්. ඔවුන් ගෙනත් දැමීමට අඩුම ගානේ වාහන 5,000 – 6,000ක් ! එහෙමයි ක්ෂණික වාහන තදබදයක් ඇති වුණේ.

වාසනාවට අපේ එක් වාහනයක් පැදවූ රියදුරා උතුරු හැම්ප්ටන් වරාය ප්‍රදේශයේ වැසියෙක්, උපතේ සිටම. (ඔහුගේ ආදී නෑදෑයන් කිහිපදෙනෙකුම ටයිටැනික් ඛේදවාචකයට ගොදුරු වූ බව පැවසුවේය. මෙය හරි විය යුතුයි, ඇමරිකාව බලායාමට එදින ටයිටැනික් හි ගමන් ගත් වැඩි පිරිසක් උතුරු හැම්ප්ටන් වැසියන්. මෙතන තිබු ටයිටැනික් කෞතුකාගාරයේ ඒ පිළිබඳ බොහෝ විස්තර තිබුණා. නමුත් බ්‍රිතානයේ සියලු නිල වාර්තා 100% ක් නිරවද්‍ය යයි. නමුත් මේ රියදුරා ඒ නෑදෑයන් අහලා මිස දැකලාවත් නැත). ඔහුගේ මෙහෙයවීම මත වාහනය අතුරු පාරවල්වලින් යමින් වරාය වෙත ළඟා වූයේ නියමිත වෙලාවටත් කලින්. ඔවුන් පිටත් වීමේ පර්යන්තය වෙතට ම අපේ රථය ධාවනය කිරීමට සමත් වුණා. ඔහුට දුන්න ටිප් එකද කාරුණිකව ප්‍රතික්ෂේප කළා. හරිම විනීත පුද්ගලයෙක් ඔහු.

පිටත්ව යාමට නියමිත නෞකා පහෙන් ඉදිරියෙන්ම තිබුණේ තට්ටු 15ක් සහිත අපේ දැවැන්ත නෞකාව!

මුළු නිදන කාමර ගණන 1800ක්. අපේ රටේ හිල්ටන් හොටලයේත් තිබෙන්නේ කාමර 300ක්. හිතන්න පුළුවන් නේද නෞකාවේ පරිමාව. මෙහි කාර්යය මණ්ඩලයම 1300ක්…! මුහුදේ වතුර මට්ටමින් යටත් තට්ටු 4ක්. ඒ තට්ටු කාර්යය මණ්ඩලය හා අනෙකුත් සේවා කටයුතු සඳහා වෙන් වෙලයි තියෙන්නේ.  

නෞකාවට මඟීන් ඇතුළත් කරන ක්‍රමවේදය (check in process)ගුවන් ගමන්වලට වඩා වෙනස්. ගුවන් යානයකට ගොඩවෙන ගණන සාමාන්‍යයෙන් 300-400ක්. මේ නෞකාවට ගොඩවෙන ගණන 3500ක්. මේ නිසා දැවැන්ත පර්යන්තයේ ඇතුල් වීමේ පෝලිම, අපේ රටේ හැත්තෑ ගණන්වල පාන් පෝලිම වගේ දිගයි. නමුත් පෝලිම දිගේ ටැබ්, ස්කෑනර්ස් ඇතිව පැමිණි නෞකාවේ ( කාන්ති කඩා හැලෙන ගුවන් සේවිකාවන් ) නිලධාරිණියන් 10-15 දෙනෙක් එක දිගට පුදුමාකාර වේගයෙන් අපව ඇතුල් කළේ. ඔවුන් ළග අපේ සියළු විස්තර තිබුණා. අපේ බැග් තුන පෝටර්වරයෙක් අරන් අතුරුදහන් වුණේ අප අන්දොස් කරමින්. මේ අනුව බලන කොට  ගුවන් තොටවල් කෙතරම් අකාර්යක්ෂම ද කියලා හිතුනා.

අපේ ඡායරූප සහිත හැදුනුම්පත් හතරකුත් හතර දෙනාටම  ඒ වෙනකොටත් සූජානම් කරලා තිබුණේ. අර මූදු ගුවන් සේවිකාවන් සිනාමුසු මුහුණින් ඒ හැදුනුම්පත් අපේ බෙල්ලේ පළඳවා, අප නෞකාව වෙත දොක්කන් යන්න එතරම් වෙලා ගියේ නැහැ.

එය දැවැන්තම නෞකාවක්. මං දැකලා තිබුණෙත් නැහැ මෙවැනි විශාල නෞකාවක් චිත්‍රපටිවල ඇරෙන්න. ඇත්තටම පිස්සු ට්‍රිපල් වෙන තත්ත්වයක්. ඔල්මාදෙන් වගේ එහෙ මෙහ ගිය අපි පොඩි පොඩි කණුවල හැපුනේ කට ඇර ගෙන උඩ බලාගෙන ගිය නිසා. නැව එතරම්ම විශාලයි.කොළඹ ගලදාරි හෝටලය වගේ දෙකක් විතර සයිස්. මේක හදන්න මොනතරම් වියදමක් යන්න ඇති ද? කෙතරම් කාර්මික ඥානයක් යොදවන්න ඇත්දැයි හිතුනා. ඒ අස්සේ මේ දැවැන්ත යන්තරේ මූදේ ගිලෙන් නැතිව යන්නේ කොහොමද කියලත් හිතුනා! පුදුම සීතලක් ඒ අස්සේ. හුළඟත් එක්ක.

නෞකාවේ පහළින්ම වරායේ පොළොවේ සිමෙන්ති වේදිකාවට සම උසින් ඇතුළු වන දොරටුව තිබුණා. එයට ඇතුළු වීමට තිබුණේ  සරසන ලද කුඩා පාලමක්. පාලමට ඇතුළු වන තැන හොඳින් සැරසුණු මේ නෞකාව අයත් බ්‍රිතාන්‍යයේ  “Princess Cruises” සමාගමේ පිළිගැනීමේ නිලධාරිණියන් දෙදෙනෙක් සිනාමුසුව අප පාලම දිගේ නෞකාවට යොමු කළා. මෙහිදී කිසිම ලිපි ලේඛනයක් භාවිතා වුණේ නැහැ, එකම ලියවිල්ල තමයි අපේ කරේ පැළඳි ඔවුන් විසින් නිකුත් කර තිබූ හැදුනුම්පත. අප පිටුපසින් දහස් ගණනක් නමුත් ඉතා ක්‍රමවත්ව ඉදිරියට ඇදෙන පෝලිමක්, අප සමඟම නෞකාවට ඇතුල් විය.

සෙමෙන් නෞකාවට ඇතුළු වුණ සැනින් එය තරු පහේ හෝටලයක් බව දැනෙන්න වෙලා ගියේ නැහැ. යන්තම් එරෙන තත්ත්වේ කාපට්. එළියේ සීතල වෙනුවට උණුසුම් බව වහාම දැනුනා. සුමුදු බටහිර සංගීතය කොහෙන් එනව ද කියලා හොයන්න බැහැ. එතන සිටි තවත් පිළිගැනීමේ නිලධාරිණියන් දෙදෙනෙක් කුඩා ස්කෑනර හරහා අපේ  හැදුනුම්පත විද්‍යුතයව සටහන් කළේ අප හතර දෙනා නෞකාවට ඇතුල් වූ බවයි.

ඔවුන් අපව ඔබ්බෙන් පිහිටි අලංකාර විදුලි සෝපාන හතරකට යොමු කළා.ඉන් එකක නැගී අපි හරතදෙනා අපේ ෆැමිලි කාමරය පිහිටි දාහතර වැනි තට්ටුවට ළඟා වුණේ විනාඩියකින් වගේ, මේ ඉන්නේ නැවක බවත් අමතක කරමින්. අපේ කාමරයට යන කොරිඩෝව කි.මි. භාගයක්වත් ඇති. 

මෙහි කාර්යය මණ්ඩලයේ බොහෝ පිලිපීන ජාතිකයන් සිටියා. පිලිපීනුවන් ලොව පුරා ප්‍රසිද්ධයි ඔවුන්ගේ විනීත භාවයට, විශේෂයෙන් හෝටල් කර්මාන්තයේ. අපේ කාමරය වෙත ඔවුන් අපව ඉක්මනින් කැඳවා ගෙන ගියා. දොර ළඟ තිබුණා පෝටර්වරයා ඉස්සරලා අරන් අතුරුදහන් වුණ අපේ බැග් තුන. දොරේ යතුර තමයි අපේ  හැදුනුම්පත.

ඒකෙන් දොර හැර අප ඇතුළු වූයේ සුවිසල් සාගරය හොඳින් පෙනෙන  විශාල  බැල්කනියක් සහිත suite room එකකට. ඇත්තටම එය ලස්සන කාපට් සහිත තරු පහේ family suite room එකක්. යන්තම් ඇහෙන බටහිර සංගීතය ඇහුනෙ එහි තිබු කුඩා “Bose” ශබ්දවාහිනිය මඟින්. විශාල සුඛෝපභෝගී සයනයන් දෙකක්, කුඩා ශීතකරණයක්, තේ/කොපි පහසුකම, විශාල පැතලි තිර සහිත රූපවාහිනි දෙකක්. ලියන මේසයක්, සුවපහසු සෝෆා සහිත ආලින්දය ක් එහි තිබුණා. (එය හරහා තමයි බැල්කනියට යන්නේ).

එහා මෙහා කළ හැකි විශාල වීදුරු දොරකින් යුත් ආලින්දය සුව පහසු දිවාන් විධියේ පුටු හතරක් සහිත බැල්කනියකට විවෘත වුණා. එහි සිට මහා සාගරය තමයි දර්ශනය (view). මනරම්ම දසුනක්. යුරෝපීය සුඛෝපභෝගී බවේ උපරිමය.

බිරිඳයි දරුවන් දෙදෙනායි එකතු වීම පිළිබඳ මට ඇති වුයේ සතුටක්. දරුවන් දෙදෙනා සුවිසල් සයනයන් මත පිනුම් ගසන්න පටන් ගත්තේ බිරින්දෑ බෑග්වල තිබු ඇඳුම් කැඩුම් විශාල අල්මාරියේ අසුරන්න පටන් ගත්තම. දින නවයක් ජීවත් වෙන්නේ මෙතනනේ. ඒ කාලයට අවශ්‍ය සියල්ල ගෙනවිත් තිබුණා. විශේෂ උත්සව ඇඳුම් ද,  අයත් වුණේ මේ නැව් සමාගමෙන් කළ පුර්ව දැනුම් දීම් අනුවයි.

වෙනත් නිවාඩු පටන් ගන්නේ ඒ ගමනාන්තයට ළඟා වූ පසුවයි. නමුත් මේ නවමු අත්දැකීමේ දි අපේ ගමනාන්තය  නෞකාවමයි. ඒ කියන්නේ දැනටමත් නිවාඩුව පටන් අරන් ඇත.

තව ටිකකින් නෞකාවේ සිනමා ශාලා තුනේ හා නෘත්‍ය ශාලාවේ පැවැත්වීමට නියමිත අත්‍යවශ්‍ය ආරක්ෂක උපදෙස් සංෂිප්තව ලබා දෙන (briefing) ස්ථානයට යා යුතුය. කාමරයේ ඇති ශබ්දවාහිනිය මඟින් සියලුම මඟින් ඇතුල් වූ බවත් ආරක්ෂක උපදෙස් ලබා දෙන ස්ථාන කරා යන ලෙස අපිට දෙනුම් දුන් පරිදි අපිට අදාළ නෘත්‍ය ශාලාවේ උපදේශනයට ගියා. එය විශාල ශාලාවක්. එය තිබුණේ අපට පහළ තට්ටුවකය. දහසකට ආසන්න වූ ආසන සියල්ල පිරි තිබුණා මේ අත්‍යවශ්‍ය ආරක්ෂක උපදෙස් ලබා දෙන එකට. ටයිටැනික්වලට පසුව නාවික මගී ආරක්ෂාව කෙතරම් ඉහළ ප්‍රමිතියකට ඇවිත්ද? එතනත් අපව ඇතුල් කළේ විද්‍යුත්ව හැදුනුම්පත සටහන් කර ගෙන. එනම් මෙයට සහභාගී නොවන මඟින් පිළිබඳ දැනගන්න. මෙතනට නම්   සියලු දෙනා ඇවිත් බව දැනගන්න ලැබුනා.

අත්‍යවශ්‍ය ආරක්ෂක උපදෙස් ලබාදීම පටන් ගත්තෙත් ටයිටනික් කාලේ මෙන් නොව වර්තමානයේ තාක්ෂණය ඉතා දියුණු බැවින් කිසිම විධියකින් එවැන්නක් සිදුවිය නොහැකි බව කියමින්. ලබාදුන් උපදෙස් කෙටියෙන් කිව්වොත්, හදිසි තත්ත්වයක දී කාමරේ ඇතුළෙම තබා ඇති, ජලයේ පාවෙන ජැකට්ටු හැඳ ඒ ඒ මඟියාට දන්වා ඇති නෞකාවෙන් පිටවන ස්ථානයට පමණක් වහාම යා යුතු බව දැනුම් දුන්නා. අන්තිම දැනුම් දීමකින් මිස කිසිම විධියකින් මුහුදට නොපනින ලෙසත්, සියලු දෙනාට දින කිහිපයකට කලමනා සහිත ආරක්ෂක බෝට්ටු වෙන්කර තිබෙන බවත් දැනුම් දුන්නා. මේ උපදෙස් දීම විනාඩි 45ක් වගේ පැවතුනා. (ගුවන් යානයක නම් මෙය විනාඩි 4-5කට වඩා නැහැ. ප්ලේන් එක වැටුනොත් ඉතින් වැඩිය කරන්න දෙයක් ඉතිරි නැති නිසාද මන්දා. )

අපේ නෞකාවේ ගමන් මාර්ගය සැටලයිට් මගින් අධීක්ෂණය කරන බවත්, හදිසියක දී එකිනෙකාට උදව්වට ඒමට හැකි පරිදි ඈත නොවන ගමන් මාර්ගයක සියලු නෞකා ගමන් ගන්නේ සැලසුම් සහගතව බවත් කියවුණා.

මෙයින් පසුව අපි  හතරදෙනාම නැවත අපේ කාමරයට ආවා. බැල්කනියේ අධික සීතල හා හුළං. කාමරය හොඳින් උණුසුම් කර ඇත. උණුසුම් ඇඳුම් ඇඳගෙන අපි බැල්කනියට ආවම දැක්කේ සිය ගාණක් තව බැල්කනිවලට ඇවිත් ඉන්න බව. උදේ 10.30ට ළඟයි. 11ට තමයි නෞකාව පිටත් වෙන්න නියමිත. අපි සියලු දෙනාගේ පළමු නාවික ගමන හරිම ආකර්ෂණී යයි. විශේෂයෙන් ළමයි දෙන්නා. අපි පිටත් වෙන වෙලාව එනකල් කෝපි හදා ගෙන බැල්කනියේ වාඩි වුණේ සැහැල්ලුවෙන්. අනෙක් බැල්කනිවල අයත් විනෝද වීම පටන් අරන්. සමහරු උදේ කියලා බලන් නැතිව බීර තොල ගාන්න පටන් අරන්. අපේ පොඩි පුතා සමහරුන්ට අත වැනුවම ඔවුනුත් සිනාමුසුව අත වනනවා දැක්කා.

කෙමෙන් කෙමෙන් එකොළහට ළං වුණා. කෙමෙන් එන්ජින් ක්‍රියාත්මක වෙනවා දැනුනා. මේ ගමක් වැනි යන්ත්‍රය මෙතරම් බරක් දරාගෙන ඉදිරියට තල්ලු කිරීමට කෙතරම් අශ්වබල ප්‍රමාණයක් අවශ්‍යදැයි  හිතා ගන්නත් බැහැ. කාමරේ රුපවාහිනීවලින් නෞකාවේ විවිධ කෝනවලින් සජීවී දර්ශන පේන්න පටන් ගත්තා. වරින් වර නැවේ ඉදිරියෙන්ම පිහිටි දැවැන්ත නියමු කුටියේ දර්ශනත් එක්ක. ඔවුන් බොහෝ කාර්යය බහුලව සිටිනු දුටුවා.

මේ විශාල නෞකාවේ අණ දෙන නිලධාරියා වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු වයස හතළිස් ගණන්වල අග ඉන්න ඇති කියල හිතෙනවා. ඔහු අතේ තමයි මේ සියළු වගකීම. 3500ක් වන අපේ ජීවිත 1300ක් වන සේවක මණ්ඩලයේ ජීවිත ආදියත් එක්ක. මේ පුද්ගලයා කෙතරම් ඉහළ වෘතිමය නිපුණතාවයක් ඇති පුද්ගලයෙක් ද කියලා හිතා ගන්නත් අමාරුයි. ඔහුගේ ඍජු පාලනයෙන් බැහැරව තිබුනේ හෝටල් කළමනාකරණ අංශය පමණයි. නමුත් එහි ප්‍රධානියා (Hotel Director) ද සිටියේ කපිතාන්වරයාගේ අධීක්ෂණය යටතේ.

දැන් නම් නෞකාවේ සියළුම යන්ත්‍ර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බව අපිට දැනුනා. යන්තම් පොළොව කම්පනය වෙනවා වගේ. බැල්කනියේ සිට උඩ බැලුවම දැවැන්ත දුම්බට 4කින් දුම් දහරාවන් අහසට විදිමින් තිබුණා. හරියටම එකොළහට නෞකාව වරාය වේදිකාවෙන් ඉවතට සෙමෙන් සෙමෙන් ඇදී යන්න පටන් ගත්තා. British timing!

කුමක් හෝ සිරිතක් ද මන්දා පිටත් වෙන විට බ්‍රැ…ම් වැනි හඬකින් නෞකාවේ හෝන් එක දෙවරක් වැදුනා. අනෙක් නෞකා ද එවැනිම හඬකින් හෝන් නාද කළා. සමහර විට කාලයක් තිස්සේ පවතින නාවික ආචාරශීලී සිරිතක් වෙන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ජාතික කොඩිය, නෞකාවේ කොඩිය ඇතුළු සියළුම ධජයන් නෞකාවේ උඩ දැඩි සුළඟට වේගයෙන් ලෙල දෙමින් තිබුණා.

නෞකාව කෙමෙන් කෙමෙන් වේගය වැඩි කර ගන්නවා අපිට දැනුනා. තවමත් නෞකාව ගමන් කළේ වෙරළට එතරම් දුරින් නොවේ. එහි වගා බිම් හා දැවැන්ත මන්දිර ද දර්ශනය වුණා. අවුරුදු සියයකට පෙර අවසන් ගමන පිටත් වුණු ටයිටැනික් පිටත් වෙන්න ඇත්තෙත් මේ විධියට වෙන්න ඕනි කියලා හිතුනා. ඔවුන් ගමන් ගත් අත්ලාන්තික් සාගරයත් අප මදකට ස්පර්ශ කරනවා මේ චාරිකාවේ දී. වැඩිය ඒ පැත්තේ රිංගන්න යන්නැහැ හැබැයි.

දියණිය රූපවාහිනියෙන් දැකලා අපිට කිව්වා නැවේ උඩම තට්ටුවේ මහා උත්සවයක් කියලා. ඇත්තටම අපිටත් මේක අමතක වුණා. එදා බ්‍රිතාන්‍ය මහ රැජිණ ගේ මෞලි මංගල්‍ය සංවත්සරය. එහි උඩ තට්ටුව බ්‍රිතාන්‍ය ධජවලින් සරසා එහි තිබු චිත්‍රපටි තිරයක්වන් සුවිසාල රුපවාහිනියේ සංවත්සර උත්සවය සජීවීව විකාශනය කරමින් තිබුණා. සියලු දෙනාට කුඩා බ්‍රිතාන්‍ය ධජ හා තොප්පි, ෂැම්පෙන් හා අනෙක් බීම ද කාර්යය මණ්ඩලය විසින් නොමිලේ පිරිනමමින් තිබුණා.

අක්කාගේ ඉල්ලීම්වලට පොහොර දාන මලයාගෙත්  ඉල්ලීම මත අපි ඉහළම තට්ටුවට ගියා. ඇත්තටම ආවට පස්සේ තමයි හිතුනේ ආව එක හොඳයි කියලා. සියළු දෙනා උපරිමයෙන් විනෝද වෙමින් සිටියා. උඩ සිට ලස්සනම දර්ශන.

අපගේ පළමු ගමනාන්තය වන නොර්වේ වෙත යාමට කෙමෙන් අපි ගැඹුරු මුහුද වෙත අවතීර්ණ වෙමින් සිටින බව අවබෝධ වුණා. වේගයත් සැහෙන්න වැඩි වී තිබුණා. දැඩි සුළං ආදිය නිසාවෙන් ඔක්කොම කට්ටිය කෙමෙන් කෙමෙන් කාමරවලට චුත වෙන්න ගත්තා. අපිත් ආවා. බැල්කනියේත් දැඩි සුළං. සැහැල්ලු ඇඳුම්වලට මාරු වී කාමරය ඇතුළට වී සිටියේ ටිකකින් සූදානම් වන දිවා ආහාරය ගැනීමට.

රාත්‍රි හතට පූර්ණ ඇඳුම් සහිතව පිටත් වීමේ සම්භාෂණය නියමිතයි.  එතන තිබුණේ පුදුමාකාර උත්කර්ශවත් බවක්. දැඩි අඳුරේ ආලෝකමත්ව මුහුද මැද වේගයෙන් ගමන් කරන සුවිසල් නෞකාවේ ආල්හාදය.

නෞකාව ගමන් ගනිද්දිම රාත්‍රියේ පිටත් වීමේ සම්භාෂණය, ප්‍රථම ගමනාන්තය වු බෙල්ජියමේ සුප්‍රකට බ්‍රසල්ස් වරායට සේන්දු වීම, රාත්‍රියේ නෞකාවේ ගත කිරීම, එහි විනෝදාශ්වාදය සඳහා සංවිධානය කර තිබු දේවල්, බෙල්ජියම ගැන කෙටි විස්තරයක් සමඟ ඊළඟ කොටසින් හමුවෙමු.

By Vijitha Bandara Herath – UK

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.