fbpx
17.1 C
New Zealand
Sunday, October 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

විභාවී – ‘බණ මඩුවේ සංවරය’ට අදහස් | ජගත්සිරි පුෂ්පකුමාර | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

යුද්ධය, සමාජ  හා දේශපාලන බලය යොදා ගන්නා ආගම් කොතෙකුත් ඇතත් බුද්ධාගම සාමය හා එකමුතුව ඇති දර්ශනයක් මත ගොඩ නැගුණකි. එකිනෙකා හා ගැටුම්,වාද විවාද කල-කෝහාල  එහි හරය හා නොගැලපේ. එහෙත් ආගමික මත සාකච්ඡා කිරීමේදී  අද පවතින්නේ මීට හාත්පසින් විරුද්ධ තත්ත්වයක් බව ගියවර කලාපයේ ‘විභවි’ තීරුවේ පළවූ ලිපියෙන් පෙන්වා දී තිබුණි. මේ ඊට ලැබුණු පිළිතුරකි.

පසුගිය 29 වැනි ශ්‍රි ලංකන්ස් කලාපයේ විභාවී යටතේ පළ වූ ‘බණ මඩුවේ සංවරය’ නම් ලිපියේ කතුවරයා දක්වන බොහෝ අදහස් ඔහුගේ අත්දැකීම්වලට සීමා වී ඇතිබව පෙනේ.

සතියකට ගුවන් විදුලි ධර්ම දේශනා දෙකක් තිබූ ඒ කාලයේ, ශ්‍රි ලාංකික ධර්මකාමීන්ට දිවයිනේ ප්‍රවීණ දේශකයන්ගේ සාරවත් ධර්ම දේශනා ඇසීමට අවස්ථාව ලැබුණි. ඒ අනුව එසේ බණ අසන්නා වූ ඔවුන් බොහෝ දෙනෙකුට හොඳ දහම් දැනුමක් ද විය. එකල පළ වූ බුදුසරණ පත්ත‍රය උපාසක උපාසිකාවන්ට දහම් දැනුම නොමදව ලබා දුන්නේය. පත්‍තරය මගින් දහම් පැනවලට නිවැරදි පිළිතුරු ද ලැබුණි. එසේම ප්‍රසිද්ධ ධර්ම දේශකයන් තම විහාරස්ථානයට වැඩම කරවාගෙන ධර්ම දේශනා අසන්නට ද සැදැහැවත්තු  සෑදී පැහැදී සිටියහ. රූපවාහිනිය පැමිණි පසු තම නිවසේ ආලින්දයේ සිටිම ධර්ම දේශනාවලට සවන් දීමට කාටත් හැකි විය.

ලිපියේ කතුවරයා දක්වන පරිදි පසුගිය වසර කිහිපයක සිට සමාජ මාධ්‍ය හරහා ධර්ම දේශනා බෙදා හදා ගැනීම සිදුවීම නිසා බොහෝ දෙනෙකුට ඕනෑම වේලාවක ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබුණි.

නිවැරදි ධර්මය දේශනා කරන දේශකයින් තෝරා ගත යුත්තේ ධර්මය අසන ඒ ඒ අය විසින්මය. ලිපියේ කතුවරයා දක්වන වට්ස්අප්, ෆේස්බුක් මගින් සිදුවන ධර්ම සාකච්ඡා පන්සලක බණ මඩුවේ කරන ධර්මසාකච්ඡාවකට සම කිරීමට හැකියාවක් නැත. මෙසේ සමාජ මාධ්‍යවල කෙරෙන ධර්ම සාකච්ඡා උණුසුම් තත්ත්වයට පත්වන්නේ ධර්ම විරෝධී කරුණු නිවැරදි ධර්මය යයි යමකු විසින් අවධාරණය කරන විටකදීය. ධර්ම විකෘතිකයා ගර්හාවට ලක් කළ යුතු බව දහමෙහිම දැක්වේ.

මා සහභාගි වන වට්ස්අප් ධර්ම සාකච්ඡා අටක් පමණ වේ. ඒවායින් තුනක පමණක් උණුසුම් අවස්ථා දැකිය හැක. එවැනි අවස්ථා ඇතිවන්නේ විකෘති ධර්මය දේශකයන් අනුගමනය කරන අය විසින් ධර්ම විරෝධී කරුණු සහ ශාසන ඉතිහාසයට පටහැනි කරුණු ඉදිරිපත් කිරීමේ දී බව පැහැදිලිවම දැක ඇත්තෙමි. සමහර අධර්මකාමීන් විසින් අනෙකුත් ගිහි සහ පැවිද්දන් හඳුන්වන්නේ බුද්ධාගම්කාරයින්. සම්මත භික්ෂූන් යනාදී ලේබල් අලවමින් අපහාසයෙන්ය.

අප ඉන්නා නවසීලන්තය සලකා බැලුවොත් මා දන්නා (2004 පමණ) කාලයක සිට ඕක්ලන්ඩ් ශ්‍රි ලංකාරාමයේ මාසික සිල් වැඩසටහන්වල කෙරෙන ධර්ම සාකච්ඡා සාර්ථක ඒවාය. එසේම පසු කලෙක ඒ.සී.බී.එල් ආයතනයේ පූජ්‍ය ඇල්ලේ චන්දවිමල හිමියන් විසින් මෙහෙය වූ ධර්ම සාකච්ඡාද ඉතා සාර්ථක වූ බව කිවයුතුය. දැනට අවුරුදු දහයකට අධික කාලයක සිට මාසික භාවනා වැඩසටහන්වලදී ශ්‍රි ලංකාරාමයට පැමිණ පූජ්‍ය වැලිමඩ ජිනාලංකාර හිමියන් විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡා ඉතාමත් සාර්ථක වු අසන්නන්ගේ දහම් දැනුම වඩවන උසස් ධර්ම සාකච්ඡා බව කිව යුතුමය. ඒවාට සහභාගීවීමට තරම් අප භාග්‍යවන්ත බව ධර්ම ගෞරවයෙන් නොසඟවා කිව යුතුයි.

මේ අනුව සළකා බලනවිට ඇත්තෙන්ම අප විසින් කළ යුත්තේ, නිවැරදි ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා තෝරාගෙන උන්වහන්සේලාගේ සාමාන්‍ය ධර්ම සාකච්ඡා හෝ සූම්, යූටියුබ් ආදිය මගින් කරන ඔන්ලයින් සාකච්ඡාවලට සහභාගි වී තම ප්‍රශ්න ඇත්නම් නිරාකරණය කර ගැනීමයි. ප්‍රශ්න නැතත් ධර්ම සාකච්ඡාවලට සහභාගි වීම දහම් දැනුම වර්ධනය කරයි.

වට්ස්අප් කණ්ඩායම්වල ධර්ම සාකච්ඡාවල විනයක් නැත්තේ බොහෝ විට ඒවායේ ඇඩ්මින්ලාට නිවැරදි ධර්මය සහ අධර්මය හඳුනා ගැනීමට බැරිවීමත් විකෘති ධර්මය කථිකයන් කවුරුන්දැයි නොදන්නාකමත් නිසාය. නොඑසේ නම් මුල සිටම නිවැරදි ධර්මය පමණක් ඉදිරිපත් කිරීමට සාමාජිකයින්ට උපදෙස් දිය යුතුය. නිවැරදි ධර්මය තෝරාගෙන පෙන්වා දෙන්නට බැරි කෙනෙක් වට්ස්අප් ධර්මාකච්ඡා මණ්ඩපයක් හදන්නේ හුදෙක් තමාගේ නම ප්‍රචලිත කර ගන්නට පමණක් විය හැකිය. එසේ නැතිනම් ඔවුන්ගේ අරමුණ ද විකෘති ධර්ම ප්‍රචාරණයට ඉඩ සැළසීම වියහැක.

විශේෂයෙන්ම ගිහියන්ගේ ධර්ම සාකච්ඡාවල දී උගත් ස්වාමීන්වහන්සේ නමකගේ සහයෝගය පැතීම අනිවාර්යෙන් කළ යුතුය. නැතිනම් ධර්ම සාකච්ඡා පවත්වනවා නමින් ඔවුන් කරගන්නේ බරපතල පාප කර්මයක් වියහැක.

ජගත්සිරි පුෂ්පකුමාර – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.