අව්‍යාජ ‘මම’ (Authentic Self)
අපි හැම කෙනෙක්ම උප්පත්තියෙන්ම සුවිශේෂයි (unique). අපි හැමකෙනෙකුටම සුවිශේෂී වූ ඇඟිලි සලකුණු, සුවිශේෂී වූ හැඩරුව, සුවිශේෂී වූ සහජ හැකියාවන් හා සුවිශේෂවූ ගති පැවතුම් පවතිනවා. භෞතික පරිසරයත් මේ වගේම එකිනෙකට ආවේණික වු සුවිශේෂ ලක්ෂනවලින් යුතු ගස් කොළන් සතා සිව්පාවා ගෙන් යුක්ත වෙනවා. මේ සුවිශේෂ බව (uniqueness ) ලැබිලා තියෙන්නෙ කුමටද? එකම එක ජීවියෙකුටවත් තම පැවැත්මට අවශ්‍ය හැම දෙයක්ම තමාටම නිපදවා ගන්න බැහැ. ඒ ඒ අවශ්‍යතාවයන් සදහා ඒ ඒ දේවල් නිපදවීමට සුවිශේෂ හැකියාවන් තියන පුද්ගලයන් ඉන්න ඕන. හැම ජීවියෙක්ම තවත් ජීවීන් රාශියක් මත රදා පවතින්න ඕන තම පැවැත්ම සදහා.
ඒ නිසා ස්වභාවධර්මය විසින් හැම පුද්ගලයෙකුම සුවිශේෂ කරලයි මේ ලෝකෙට එවන්නෙ. හැම පුද්ගලයෙකුගේම සුවිශේෂ වූ සේවය සමස්තයේ පෑවැත්ම සදහා අවශ්‍යයයි. සමස්තය හොදින් පවතින්න නම් සෑම පුද්ගලයෙක්ම තම තමන්ට ලැබී ඇති සුවිශේෂ හැකියාවන් සමස්තයේ යහපත පිණිස කැපවීමෙන් යුතුව යොදවන්න ඕන. සැම කෙනෙක්ම තමා සමස්තයෙන් වෙන්වුණ ස්වාධීන පුද්ගලයන් ලෙස නොව සමස්තයට අයිති, සමස්තයේ යහපත පිණිස පවතින, සමස්තයේම කොටස් වශයෙන් සමස්තයේ යහපත සදහා කටයුතු කරන්න ඕන.
ඒ ඒ පුද්ගලයාට ලැබී තිබෙන සුවිශේෂීත්වයන්ගෙන් ඒ ඒ පුද්ගලයාට සුවිශේෂ වූ අනන්‍යතාවයක් (identity) ලැබෙනවා. මෙම අනන්‍යතාවය අවශ්‍ය යයි සමස්තයේ පැවැත්මට. පුද්ගලයා තම අනන්‍යතාවය ගැන කතා කරන විට ‘මම’ ‘මගේ’ කියලා තමාව හදුන්වනවා. ඒ මගින් මම (self) යන අදහස, හැඟීම උපදිනවා. නමුත් මෙහිදී මම අනිකාට වඩා උසස් හෝ පහත් යන අදහසක් ඇතිවන්නෙ නැහැ. ඒ නිසා මෙම ‘මම’ යන සංකල්පය සමස්තතයේ සාමකාමී පැවැත්මටත්, පුද්ගලයාගේ සතුට සහ සැනසීමටත් හානිකර නැහැ. එය හදුන්වනවා ‘අව්‍යාජ මම’ (authentic self) වශයෙන්. එය ‘මම’ යන සංකල්පයේ ‘අව්‍යාජ’ තත්ත්වයයි. මෙම අව්‍යාජ තත්ත්වයේ ‘මම’ තම සුවිශේෂ වූ හැකියාවන් හැමවිටම පාවිච්චි කරන්නෙ සමස්තයේ යහපත වෙනුවෙන්. එය සමස්තය කේන්ද්‍ර ගත වූ චින්තනයක්.
හැම කෙනෙකුගේම මෙන් ළමා කාලයේ දී මෙම ‘මම’ යන සංකල්පය මෙම අව්‍යාජ තත්ත්වයේ පවතින බවත් ඒ නිසා කුඩා දරුවන් තුළ පරාර්ථකාමී චර්යාවන් පවතින බවත් ඒ පරාර්ථකාමී චර්යාවන් ඔවුන් වැඩිහිටියන්ගෙන් ඉගෙනගත් ඒවා නොවන බවත් ඒවා ඔවුන් තුළින්ම ස්වාභාවිකවම පැනනගින චර්යාවන් බවත් කුඩා දරුවන් යොදෙගෙන කරන ලද පර්යේෂණ මගින් සොයාගෙන තියනවා.
මමත්වය
මෙම ‘මම’ යන අදහස ‘මමත්වය’ බවට පත්වන්නේ කුඩා දරුවන් වැඩිහිටියන් බවට පත්වන විට. එවිට ‘මම’ අන්‍යයන්ට වඩා උසස් හෝ පහත්, හරි හෝ වැරදි, ලස්සන හෝ කැත ආදී වශයෙන් සංසන්දනාත්මකව හිතා තමා පිළිබදව සුවිශේෂ වූ ප්‍රතිරූපයක් නිර්මාණය වෙනවා. මීට අමතරව එකිනෙකා ගොඩනගා ගන්නා තම තමන්ට සුවිශේෂ වූ ‘කැමති’ හා ‘අකමැති’ දේවල්, කැමති හා අකමැති පුද්ගලයින්, කැමති හා අකමැති අදහස්, සහ කැමති හා අකමැති මතිමතාන්තර ද ‘මම කැමති’ හා ‘මම අකමැති’ වශයෙන් ලයිස්තු ගත වී තම ප්‍රතිරූපයට ඇතුල් වෙනවා. මෙම කැමති හා අකමැති දේ අතර දේශපාලන පක්ෂ, විවිධ ආගමික මතවාද, ආර්ථික න්‍යායන් හා දේශපාලන මතවාද ආදිය තියෙන්න පුළුවන්. කැමති දේවල් තමාගේ කරගෙන ඒවාට ඇලෙන ප්‍රමාණයට සාපේක්ෂව ඒවාට ප්‍රතිවිරුද්ධ දෙවල් සමග ගැටෙනවා.
ඒ සමගම ‘මම කැමති දේ හෝ මම ‘මගේ’ කරගත් දේ ‘අන්‍යයන් කැමති දේ’ හෝ අන්‍යයන් ගේ දේට වඩා හොදයි, උසස්, නිවැරිදියි හෝ ලස්සනයි ආදී වශයෙන් පහල වන සිතිවිලි සහ ඇති කර ගන්නා නිගමන, අදහස් හා ආකල්ප මගින් “මමත්වය” තවත් ශක්තිමත් වෙනවා.
ශක්තිමත් වන මමත්වයෙන් අව්‍යාජ වූ ‘මම’ යටපත් වෙනවා, අක්‍රීය වෙනවා. දැන් පුද්ගලයා දුවවන්නෙ තමන් කැමති දේ ලබාගැනීමට ඇති ආශාවත් කැමති දේ නොලැබේ යයි ඇතිවන බියත් මගින්. එවිට පුද්ගලයා නොදැනුවත්වම ළමා කළ තිබුණ සමස්තය කේන්ද්‍රගත පරාර්ථකාමී චින්තනය, මමත්වය කේන්ද්‍රගත ආත්මාර්ථකාමී චින්තනයක් බවට පත්වෙනවා. අව්‍යාජ මම (authentic self) යටපත් කරගෙන ව්‍යාජ මම (inauthentic self) කෙනෙක් මතුවෙනවා.
මමත්වය ගොඩනැගුන තැන් සිට කෙනෙක් තම ජීවිතයේ වැඩි කාලයක් ගතකරන්නෙ තම මමත්වය නඩත්තු කරන්න, තම ප්‍රතිරූපය තවදුරටත් අන්‍යයන් අභිබවා ඉහළ නංවන්න, මමත්වය ආරක්ෂා කරන්න, පෝෂණය කරන්න. මෙය සිදුවන්නෙ තමන් නොදැනුවත්ව. සත්‍යතාවය තමන් විසින් කවදාවත් ගවේෂණය කොට ප්‍රත්‍යක්ෂ කර නොගත් සමාජය විසින් තමා මතට පටවා තිබුණ නිසාම තමා අන්ධයෙකු ලෙස පිළිගෙන තමාගේ කර ගන්නා ලද විවිධ මතිමතාන්තර, අදහස්, න්‍යායන්, විශ්වාස, සිරිත් විරිත්, ආගම් හා සංස්කෘතීන් ආරක්ෂා කරන්න, නඩත්තු කරන්න තමන්ගෙ මුළු ජීවිතයම කැප කරනවා. ඒවා තමන්ගේ කරගත් නිසා ඒවා තම අනන්‍යතාවයේ කොටස් බවට පත් වෙලා. ඒ නිසා ඒවට හානියක් වීම හෝ අගෞරවයක් වීම තමන්ට හානියක් හෝ අගෞරවයක් වීම වගේ දැනෙනවා. ඒවා වෙනුවෙන් ගහමරාගන්නවා.
මමත්වය අතික්‍රමණය කිරීම
කොහොමද මේකෙන් මිදෙන්නෙ? මිදෙන්න කරන්න පුළුවන් හොදම ක්‍රමයක් තමයි තමන් මේ නඩත්තු කරන දේවල් දෙස විවෘත මනසින් විවේචනාත්මකව පරීක්ෂා කර අවධානයෙන් බැලීම(Self Reflections). එවිට තමන්ටම තේරෙනවා ඒවා නඩත්තු කිරීමට තම කාලය, ශ්‍රමය, සම්පත් හා තම ජීවිතයම කැපකිරීම කොපමන අනුවණකමක් ද කියලා. ඒ වගේම තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා තමා නඩත්තු කරමින් තමාගේම කරගෙන ආරක්ෂා කරන මේ දේවල් තමාටත් හොරෙන් තමාව පාලනය කරන ආකාරයත් ඒ නිසාම තමාගේත් තමා වටා සිටින අන්‍යයන්ගේත් සතුට, සාමය හා සැනසීම නැතිවන බවත්.
එවිට තමන්ට වැටහෙන්න පටන් ගන්නවා තමා නිර්මාණ වී තිබෙන්නේ සමස්තයට අයිති වූ, සමස්තය වෙනුවෙන් කැප වූ, සමස්තයේම කොටසක් වශයෙන් ජීවත් වීමට බවත් එසේ ජීවත් වන්නේ නම් තමාට උරුම වූ සාමය, සතුට හා සැනසීම ලැබෙන බවත් තමාට උරුම සාමය සතුට හා සැනසීම නොලැබෙන්නේ නම් එයට හේතුව තමා ඒ ආකාරයට ජීවත් නෙවීම බවත්. එවිට තමන්ට මානසික දුකක් ඇති වන විට තමන් ඒය දකින්නේ ස්වභාවධර්මය විසින් තමාට කරන මතක් කිරීමක් හැටියට. ඒ මතක් කිරීම තමයි තමා ජීවත් වෙන්නෙ වැරදි ආකාරයට බවත් වහාම තමා නිවැරිදි විය යුතු බවත්.
මෙම සත්‍යය තමා තුළින්ම තමාට ප්‍රත්‍යක්ෂ වන විට තමා මෙතෙක් තමාගේ කරගෙන තමාගේ ලෙස නඩත්තු කරගෙන සිටි එහෙත් තමාටම දුක ගෙනදෙන දේවල් ටිකෙන් ටික තමාටත් නොදැනීම තමාගෙන් ගැලවී යනවා. නිකම්ම අත්හැරෙනවා. එතකොට ටිකෙන් ටික තමාට දැනෙන්න පටන් ගන්නවා තමාට උරුම වූ, තමා තුළම මෙතෙක් තිබුණ, නමුත් තමාට විදින්න නොහැකි වුණ සාමය, සතුට හා සැනසීම.
ඒ වගේම, තමන්ම මෙතෙක් කල් අරක්ගෙන සිටි, තමාව අයිති හා තමාව කොටසක් වූ සමස්තයෙන් තමාව වෙන්කොට තබාගෙන සිටි, ‘ව්‍යාජ මම’, මමත්වය ටිකෙන් ටික බල රහිත වන විට තමාට නැවතත් (ළමා කාලයේ දැනුනාට පසු) ටිකෙන් ටික දැනෙන්න පටන් ගන්නවා තමා සමස්තයට අයිති වූ සමස්තයේම කොටසක් බව. මමත්වය නඩත්තු කිරීම වෙනුවට සමස්තයේ යහපත සදහා තම කාලය, ශ්‍රමය හා තමා සතු සියලු සම්පත් වැය කරන විට තමා තුළ තිබුණ එහෙත් මෙතෙක් තමාට විදීමට නොහැකි වූ සාමය, සැනසීම හා සතුට දැනෙන්න පටන් ගන්නවා. එතකොට තමන් නොදැනුවත්වම තම චින්තනය ටිකෙන් ටික සමස්තය කේන්ද්‍ර ගත වෙනවා ළමා කාලයේ තිබුණ විදියට. මේ ක්‍රමය ඕනෑම කෙනෙකුට තමා තුළින් අත්හදා බලලා තමාටම ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්.
—
By Dr. Rohana Ulluvisheva