fbpx
13.6 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

‘අපේ කම.NZ’ සමග නවසීලන්තයේ කිරි ගොවිපළකට ගියෙමු.

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

හැමිල්ටන්හි, වයිකතෝයි, වයිරෙරි දිය ඇලි දර්ශනය වන  කයිමයි කඳු පාමුල පිහිටි ‘මටමටා’ නිම්නය   අලංකාර ස්වාභාවික පිහිටීම් වලින් යුත් සරු සාර තණ බිම් සහිත ප්‍රදේශයකි. පීටර් ජැක්සන් ගේ Lord of the Ring  හා The Hobbit වල දක්නට ඇත්තේ මෙම පසුබිම් දර්ශනයන්ය.

බොහෝ දෙනෙකු පදිංචියට හා රැකියාවට, වඩා සුව පහසු යැයි සිතන නාගරික පරිසරය තෝරා ගන්නා අතර, මෙම සාකච්ඡාවට සම්බන්ධ වනුයේ, මටමටා ප්‍රදේශයේ  කිරි ගොවිපළක කටයුතු වල නිරත චරිත් වඩුගේ ය. ‘ලංකාවට යවන්නේ නවසීලන්තයේ හොඳම කිරි,’ ඔහු කියා සිටියි.

සාකච්ඡාව මෙහෙය වූ ‘අපේකම.NZ’;  මුහුණු පොත, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, වැනි සමාජ මාධ්‍යය එක්කරගත්  වෙබ් අඩවියකින් සමන්විත අන්තර්ජාලීය සමාජයකි. රචනාකර ඉදිරිපත් කළේ ඕක්ලන්ඩ්හි ඩෙවොන් කුමාරගේ ය.  

නවසීලන්තය කිව්වහම බොහෝ දෙනෙකුට මතක් වෙන්නෙ කිරි ගොවිපොළවල්. ‘අපේකම’, අපි ගියා ඒ වගෙ කිරි ගොවි පොළකට. මේ කිරි ගොවි පොළ තියෙන්නෙ ඔක්ලන්ඩ් වලට කිලෝමීටර දෙසීයක් විතර ඈතින් තියන මටමටා (Matamata) කියන ප්‍රදේශයෙ. අපිත් එක්ක අද සාකච්ඡාවට එකතු වෙන්නෙ, අපේම කෙනෙක්. ඒ චරිත් වඩුගේ.

මුලින්ම, ලංකාවෙ ක්‍රමයට ම ‘ආයුබෝවන්’ කියල ආරම්භ කරමු. චරිත්, ඉස්සෙල්ලම අපට කියන්න පුළුවන්ද මේ වගෙ කිරි ගොවිපළක වැඩ කරන එක කොයි තරම් සුන්දර අත්දැකීමක්ද කියල?

මතු පිටින් පරිසරය ලස්සනට තිබුණට වැඩ කරන කොට ලැබෙන අත්දැකීම හිතන තරම් ලේසි නැහැ. කිරි පට්ටි පාලනය නවසීලන්තයෙ තියන අමාරුම රස්සාවක්. ලංකාවෙ ගොවිපළක ගවයන් දාහක් බලා ගන්න සේවකයන් හැටහතරක් වගෙ ප්‍රමාණයක් හිටියත් නවසීලන්තයෙ එහෙම තැනකට  ඉන්නෙ එක සේවකයයි. සතුන්ටත් පරිසරයටත් ආදරය කරමින් වැඩ කරනවා නම් අමාරුව තේරෙන්නෙ නැහැ.

අද තාක්ෂණයට සකස්වුණ මේ වගෙ කිරි ගොවිපළක වැඩ සිදු වෙන්නෙ කොහොමද ?

ගවයන් ගැන කතා කරන වා නම්, නවසීලන්තය ඊටම අදාළ ගව ප්‍රභේදයක් නිර්මාණය කරල  තියනවා, ‘නවසීලන්ත දෙමුහුන්’ (Kiwi Cross) කිරි දෙනුන්  කියලා. ඒ ප්‍රභේදයෙන් හොඳ වටිනාකමකින් යුතු කිරි නිෂ්පාදනය කරනවා. 

අපේ කාර්‍යය වෙන්නෙ, උදේ පාන්දරම අවදිවෙලා, එළ දෙනුන් කිරි දොවාගන්න අරන් යන්න ඕනෑ. ගෙනිහින් කිරි ගන්න ඕනෑ. දවසට දෙපාරක් කිරි ගන්නවා. කිරි ලීටර 9000-20,000 ගන්න යන්නෙ විනාඩි දහයක විතර කාලයක්.  

https://lh3.googleusercontent.com/HDmpdOtklP2IabobcC3WGevUKDABW-qcmlx08ar-8xodzNSllJ-6wQ2JT5LaRMkwRrNdhryyhainXhIoiVlCAh3mB5s9e9Ofmb48n2woKL8vu-2lXbyouUDnoCEP_A

නසීලන්තයේ ප්‍රධානම කිරි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා ආයතනයේ කිරි ප්‍රවාහන ටැංකි සවස් කාලයේ ඇවිත් ඒව අරන් යනවා. ඒ සමාගම තමයි නවසීලන්තයේ ගොවිපළවල නිෂ්පාදනය කරන කිරි වලින් සියයට හැත්තෑවක් විතර මිලදී ගන්නෙ. කිරි භාර දුන්නාට පස්සෙ මෙම ස්ථානත්, භාජන හා උපකරණ වගේ  දේවලුත් පිරිසිදු කරන්න ඕනෑ .

නවසීලන්ත දෙමුහුන් (Kiwi Cross) එළදෙනුන් කොට්ඨාශය ගැන චරිත් මතක් කළා. ඒ කාරණයේදී අභිජනනය සිදු කරන හැටි කෙටියෙන් කියන්න පුළුවන්ද?

ඔව්. මෙහේ ගොවිපොළවල ඉන්න එළදෙනුන්ගෙන් සියයට හැත්තෑවක් විතර හැදෙන්නෙ Holstein-Friesian  සහ Jersey කියන ප්‍රභේද දෙකේ සංයෝජනයෙන්. මෙ හැම එළදෙනෙකුටම ratings අගයක් තියනවා. වැඩි පුර ratings  තියෙන්නෙ Friesian  වර්ගයේ එළදෙනුන්ගෙ නම් Jersey ශුක්‍රාණුවක්  යොදා මෙයාලට අභිජනනයට යොදා ගන්නවා. අනෙක් අතට, වැඩි පුර ratings  තියෙන්නෙ Jersey වර්ගයේ එළදෙනුන්ගෙ නම් Friesian ශුක්‍රාණුවක්  යොදා ගන්නවා. 

ඉන් බිහිවන පැටියා දෙමුහුන්. ඒ ආකාරයෙන්, ප්‍රෝටීන හා මේදය අතින් ඉහළ,  ගුණාත්මක බැවින්ද උසස්, වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මොකද, Jersey වර්ගයේ ප්‍රෝටීන හා මේදය වැඩි වුණත් ලැබෙන කිරි ප්‍රමාණය අඩුයි. Friesian වර්ගයේ  ප්‍රෝටීන හා මේදය අඩු වුණාට කිරි ප්‍රමාණය  එක වැඩීයි. දෙවර්ගය මිශ්‍ර කළාම  බිහිවන  දෙමුහුන් එළදෙනුන්ගෙන් ගුණයෙන් වැඩි, හොඳ මිලක් තියන කිරි තමා නිපදවෙන්නෙ. 

චරිත්ගේ අත්දැකීම් අනුව, නවසීලන්ත ගොවිපළවල සනීපාරක්ෂාව පවතින්නේ මොන වාගෙ මට්ටමකද?

https://lh4.googleusercontent.com/pxAdAmAfxrHUHb66EJC7TPJRVpO7-kaDeX1Gm4A-Ze25JxC2dNMj0IassrUVu3yHNw2CM3z7HseYRKcy2CrW0MJFjNxT5WxVx2GGDQTHLjVxZ4yQoQoYBEcOlTUDkg

මෙහෙ සනීපාරක්ෂාව සියයට සීයක් තියනවා කියලා මම හිතනව. කිරි ගබඩා කරන ටැංකියෙ ඉදලා කිරි ගන්න උපරණ හැම දෙයක්ම පරීක්ෂාවට ලක් වෙනවා. මේ පරීක්ෂණ වලදී නිකුත් කරන වාර්තා, කිරි අරන් යද්දි දෙන ඩොකට් එකේ සඳහන් කරනවා. Cell count ප්‍රමාණය කීයද, සනීපාරක්ෂාව පැත්තෙන් පවතින දුර්වලතා මොනවාද, බැක්ටීරියා කවුන්ට් ප්‍රමාණය කීයද, වගේ කාරණා සම්බන්ධවෙන පරීක්ෂණ හයක් විතර කෙරෙනවා. පරීක්ෂණයකදී මොනවා හරි අසමත් වීමක් (failure)දකින්නට තිබුණොත්, අපි පීරලා හොයන්න ඕන කොහොමද එහෙම වුණේ කියල. නැත්නම් ගොවිපළට ලොකු දඩයක් ගහනවා.  ඒ නිසා කිසි දාක සනීපාරක්ෂාව සම්බන්ධයෙන් අඩුවක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ. 

චරිත් කියන්නේ නවසීලන්තයේ නිෂ්පාදනය වන්නේ ඉහළම ගුණාත්මක භාවයක් තියන ඉතා සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරන කිරි කියල. ලංකාවට යවන්නෙත් ඒ තත්වයෙම කිරිද?

ඔව්. එක එක නිෂ්පාදන වර්ගයට ඒ ඒ තත්වයෙන් ගැලපීමක් තියන කිරි තමා ගන්නෙ. බටර් වලට අදාල තත්වයෙ කිරි නෙමෙ චීස් හදන්න ගන්නෙ. ෆොන්ටෙරා ආයතනය දන්නවා, ගොවිපළක අවුරුද්ද පුරා පවතින සාමාන්‍යය කිරි වල තත්වය.  ඒ නිසා අදාළ ගොවිපළකට කිරි එකතු කරන්න යවන්නෙ ගැලපෙන නිෂ්පාදන වර්ගයේ කිරි ටැංකිය. උදාහරණයක් විදිහට මම හදන්නෙ චීස් වලට අදාළ කිරි නම් මුළු අවුරුද්දෙම මා ගාවට එවන්නෙ චීස් වලට කිරි එකතු කරන ටැංකිය.

මෙයිනුත්  පිටි කිරි නිෂ්පාදනයට භාවිතා කරන්නෙ හොදම කිරි. ඒ කිරිම තමා ලංකාවටත් අපනයනය කරන්නෙ. 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.