fbpx
12 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පුංචි තරු අහසේ දීප්තියට දිලෙනවා… – අනූ වීරකෝන් වෙලින්ටන්

Must read

පුංචි තරු  අහසේ දීප්තියට දිලෙනවා. ඇතැම්විට තරු පෙනී නොපෙනී යනවා. තරු කඩා වැටෙනවා. වාගේම වළාකුළු  පිරුණු අහස තරු ටික මුවා කරනවාතරු ලස්සනට අහසේ දිලෙන්න  නම් පැහැදිලි කළුවර අහසක් වගේම තරුවලට දීප්තිය ලැබෙන සඳ එළියත් තිබිය යුතුමය

අද මේ තරු ගැන කතා කරන්නේ ඔබ දකින අහසේ පායපු දීප්තිමත් තරු ගැන නොවෙයි.  ඕක්ලන්ඩ් නගර මධ්‍යයේ නැංගුරම් ලා ඇති අරුම පුදුම තරු පිරි නැව ගැනයි. ස්වේත වර්ණයෙන් නිමවුණු, විවිධ මහල් විවිධ වර්ණවලින්  හැඩ ගැන්වුණු අලංකාර වූ ‘Starship’ ළමා රෝහල ගැන ඔබ දන්නවාද? ජීවිතේ සමඟ පොර බඳින පුංචි පැටවුන් වෙනුවෙන් නවසීලන්තයේ  රජයත් රාජ් නොවන ආයතන හා සංවිධානවල එකතුවෙන් පවත්වාගෙන යන මේ ළමා රෝහල  ඕක්ලන්ඩ් නගර මධ්‍යයේ ඉහළම වාණිජමය  වටිනාකමක් සහිත භූමි භාගයක ඉදි වී ඇත. රෝහල නෞකාවක ආකෘතියකට ගෘහනිර්මාණ ශිල්පීන්ලවා නිමවා ඇති අතර එය මුළු නවසීලන්තයට ඇති එකම විශේෂඥ ළමා රෝහල යි.

Starship යන නම ඇසූ පමණින් නවසීලන්ත ජාතිකයන්ට මේ රෝහල හුරුපුරුදු වුවත් සංක්‍රමණිකයන් වන අප වැන්නන්ට එය තරමක් නුහුරු ඇතැයි මට සිතේ. මදකට ඔබේ මතකය ලංකාව වෙත ගෙන ගියොත් බොරැල්ල මංසන්ධියට යාබදව ඇති ආර්යා ළමා රෝහල මෙවැනි රෝහලකි.

ගොඩනැගිලි නිර්මාණයේ සිට පරිපාලනය දක්වා විශාල වශයෙන් ම ගුණාත්මක එමෙන්ම ඵලදායි   ස්ථානයක්  ලෙස පවත්වාගෙන යෑම අරමුණු කරගෙන ඇති වග මෙහි සේවය ලබාගත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැක.

මෙහි දී නිර්මාණාත්මක භාවය ගැන කතා කළොත් විවිධ සේවා ස්ථානගත කර ඇති ආකාරය ගැන කිව යුතුමය. දරුවෙක්  රෝහල්ගත වූ විට දෙමව්පියන් සහ ඔවුන් හා බැඳුණු පිරිසගේ මානසික සෞඛ්‍යය පිළිබඳව දැක්වූ අවධානය කෙතෙක් ද කිවහොත් සියලු දරුවන්ට වෙන්වුණු කාමර පිහිටා ඇත්තේ ඉතාමත් අලංකාර ලෙස ඕක්ලන්ඩ් නගරය පෙනෙන ලෙස ය. එම දසුන මොහොතකට හෝ එම දෙමව්පියන්ට අස්වැසිල්ලක් ගෙන දෙන බව ඔවුන් විශ්වාස කළා විය හැක. සියලු වෛද්‍යවරුන් සහ හෙදියන් වෙනුවෙන් කාමර පහසුකම් සහ සේවා ස්ථාන මුහුණලා ඇත්තේ ගොඩනැගිල්ලේ ඇතුළු පැත්තටය.

දරුවන් සමග රෝහලේ සිටින දෙමව්පියන්ට නොමිලේ ආහාර සැපයීමට වෙනම ස්ථානයක් මෙම රෝහලේ පිහිටා ඇත. එය ලාභ නොලබන සංවිධානයක් වන Ronald Macdonald සංවිධානය මගින් පරිපාලනය වේ. ඉතාමත් ක්‍රමවත් එමෙන්ම පහසුකම් සහිතව පවත්වාගෙන යන මෙම ස්ථානය විශාල වීදුරු සහිතව අවට පෙනෙන ආකාරයෙන් ඉතා හොඳින් සූර්යාලෝකය ලැබෙන ලෙසත්  සෞම්‍ය වර්ණවලින්  නිමවා ඇත.   මෙම ස්ථානය දවසේ දහවල්වේ වරුවේ සිට රාත්‍රිය දක්වා පවත්වාගෙන යන අතර එහි දී ආහාරයට සුළු කෑම   වර්ගයන් ද එසේ නැත්නම් තේ කෝප්පයකින් හෝ කෝපි කෝප්පයකින් විඩාව නිවා ගන්නට පහසුකම් සලසා ඇත.

එහි සෑම මහලක්ම විවිධ විශේෂඥ රෝග සඳහා වෙන් වී ඇති අතර ඒ සඳහා වෙන් වෙන් වූ වර්ණයන්ගෙන් එම මහල් වර්ණ ගන්වා ඇත. එම වර්ණ ගැන්වීම් තුළින් කුඩා දරුවන්ට තමන් සිටින මහල පහසුවෙන් හඳුනා  ගැනීමට හැකි වන අතර එය බොහෝවිට දෙමව්පියන්ට ද මග සොයා ගැනීමට පහසුවක් ගෙන දේ.

බිම්මාලය  පහලින් භූගතව පිහිටි මහල් දෙකක් වෙයි. මෙය විශේෂයෙන්ම යොදා ඇත්තේ ල්‍යයකර්ම, MRI,  CT Scan වැනිදේ කිරීමටය. එම කාමර ඉතා අලංකාර ලෙස දරුවන් ඇද බැඳ තබාගන්නට හැකි වෙන පරිදි නිර්මාණය කර ඇතතුන්වන මහල පිවිසුම් මහලයි. මේ රෝහලේ සියලුම  බාහිර රෝගීන්ට මෙන්ම එහි පැමිණෙන ආගන්තුකයන්ට වාගේම සමාජමය සත්කාරවල යෙදෙන පුද්ගලයන්ට අවශ්‍ය සේවාවන් සදහා වෙන් වී ඇත.

නේවාසිකව දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පවත්වාගෙන යන කුඩා පාසලක් මෙම තුන්වන මහලේ  දැක ගන්නට හැක. ආහාර ලබා ගනීම සදහා ආපන ශාලා කිහිපයක් මෙහි විවිධ ස්ථානවල ඇත.

ගොඩනැගිල්ලේ ඇතුල් පැත්තට වන්නට ඉතා කාර්යබහුලව උඩ පහළ යන විදුලි සෝපාන සියලු දරුවන්ගේ සිත් ගත් ස්ථානයකි. වීදුරුවලින් නිමවා ඇති එයට විදුලි බල්බ යොදා ඇති අතර රාත්‍රියට එය ඉතා අලංකාර මෙන්ම දහවල් කාලයට එම වීදුරුවලින් වටපිට ඉතා අලංකාරව දැකගත හැක. එම නිසා දරුවන් විවිධ මහල්වලට පර්යේෂණ සදහා ගෙන යාමේ දී මෙම සෝපානයේ යාම තුළින් එම කර්තව්‍යයේ භයානකකම දරුවන්ගේ මනසින් මදකට නික්ම යනවා යැයි මට සිතේ.

මෙලෙස ගෘහ  නිර්මාණකරණයේ ඉතා අගනා නිර්මාණයක් වන Starship රෝහල සැබැවින්ම විශාල ආකල්පමය හා චින්තන ක්‍රමවේදයකට නිමවූවකි.

පුංචි තරුවලට අහසේ  දිදුලන්න වලාකුළුවලින් තොර පැහැදිලි අහසක් තිබිය යුතුය. එය එසේ ලබා ගැනීමට වළාකුළු එන අහස යළි පැහැදිලි අහසක් කරන්නට වෙහෙසෙන්නාක් මෙන් මේ කුඩා දරුවන් ආරක්ෂා කරන්නට පැය 24 පුරාවට වෙහෙසව කැපවන කාර්ය මණ්ඩලයක් සිටීති. එම කාර්ය මණ්ඩලය තුළ මනා ශික්ෂණයක් සහ මානුෂිකත්වයක් සේවාවේ ගුණාත්මක භාවයට අමතරව පිහිටා ඇත.

ඔවුන් අතර ප්‍රධානමවන්නේ රෝහලේ හෙද හෙදියන් ය.  ඔවුන්ට ඉතා අලංකාර නිල ඇඳුම්ක් ඇත. සද තරු අහසවලින් මුද්‍රිත නිල් පැහැයෙන් යුක්ත ඔවුන්ගේ නිල ඇඳුම ඕනෑම දරුවෙකුට ප්‍රියජනක වේ. රෝහල පිරිසිදුව තබාගැනීමට දිවා රෑ කැපව වී වැඩ කරන සේවක පිරිසක් ද වේ. දරුවන්ගේ ජීවිතවල තියෙන අවදානම් ස්වභාවයන් දැන හඳුනගෙන බොහෝ ම වගකීමෙන් මේ පිරිස ඉතාමත් උසස් අන්දමින් තම කාර්යය සිදු කරති.

මෙම රෝහලේ දෙවැනි මහලේ විශාල කොටසක් වෙන් වී ඇත්තේ එළිමහන් රංග පීඨයකට . විවිධ අයුරින් දරුවන්ට විනෝදාත්මක ආශ්වාදයක් ලබා ගැනීමට නාට්‍යය, සංගීත වැඩ සටහන් මෙම එළිමහන් රංග පීඨයේ සිදුවේ. ඒවාට  සහභාගි වීමට දරුවන් රැගෙන යාම බොහෝවිට දෙමව්පියන් හෝ හෙදියන් විසින් සිදුකෙරේ.

සවස් යාමය වන විට විවිධ තරුණ කණ්ඩායම් දරුවන් වෙනුවෙන් විනෝදාස්වාදය ලබාදීම සඳහා වැඩ වැඩසටහන් රාශියක් සංවිධානය කරති. එළිමහන්  වේදිකාවේ දී මෙය බොහෝ විට සිදු වන අතර දරුවන් එම ස්ථානයට ගොස් එය නැරඹීමේ යෙදේ. එහෙත් තම රෝගී තත්ත්වයන් නිසා කාමරයෙන් පිටතට පැමිණිය නොහැකි දරුවන්ට විනෝදාස්වාදය ලබාදීමට විවිධ ක්‍රමවේද  ඔවුහු භාවිතා කරති.

රෝහලේ කාර්ය මණ්ඩලයට අමතරව ස්වේච්ඡාවෙන් තමන්ගේ කාලය ශ්‍රමය වැය කරන  කණ්ඩායම් ද  මේ Starship රෝහල සමග සම්බන්ධ වී ඇත. අතර විශේෂ කණ්ඩායමක් වන්නේ රෝහල ගැන දරුවන්ට දෙමව්පියන්ට හඳුන්වා දෙන්නටත් ඔවුන්ගේ සුවදුක් බලා ගන්නටත් යෙදෙන  විශ්‍රාම වයසේ සිටින පිරිසය. මේ පිරිස් ඉතා කරුණාබර වදන් වලින් සිනාමුසු මුහුණෙන් රෝහල පුරාවට තමන්ගේ සේවය සපයති. මොවුන්  දෙමව්පියන් සමග කටයුතු කරන්නේ එම කාර්යයේ තියෙන වටිනාකම් ගැන තියෙන මනා අවබෝධය නිසා .   ඔවුන්ගෙන් අතින් හැදෙන තේ කෝප්පයක් හෝ කෝපි කෝප්පයක් සමග කරන සංවාද රෝගීව රෝහල්ගත වී සිටින දරුවන්ගේ දෙමාපියන් මහත් අස්වැසිල්ලකි.

මේ ස්වේච්ඡා කණ්ඩායමේ තවත් පිරිසක් රෝහලට අනුබද්ධව පවතින පහසුකම් සහ එහි බාහිරව ලබා ගත හැකි පහසුකම් පිළිබඳ දෙමව්පියන් දැනුවත් කරති. බොහෝවිට පිළිවෙලකට සාදා මුද්‍රණය කළ පත්‍රිකා හරහා මේ දැනුවත් කිරීම දෙමව්පියන්ට කරනු ලැබේ. දීර්ඝකාලීනව රෝහල්ගත වී සිටින විට ආහාරපාන සහ විවිධ අවශ්‍යතා සපයා ගන්නට භාණ්ඩ මිල දී ගැනීමට රෝහල වෙත පැමිණෙන බස් රථයක් ඇත. එය වෙළඳ පොළට සතියට දෙවතාවක් යන අතර රෝහල් ගත වී සිටින දරුවන්ගේ දෙමාපියන්ට තමන්ගේ අවශ්‍යත සපුරා ගන්නට මෙම පහසුකම ඉතා වටිනාකමක් ගෙන දෙයි.

පාට පාට විහිදුණු මේ අලංකාර  තරු පිරි නැව අප සියල්ලන්ටම සිතන්නට යමක් කියා දෙනවාදරුවන් යනු රටක  අනාගතය යිමුදලට ලංසු තියන සමාජයක් තුළ වාණිජමය වටිනාකමකට හැමදේම යටවෙන වකවානුවක මෙවැනි සත්කාරයක් නවසීලන්තයේ පවත්වාගෙන යාම ලොවට ආදර්ශයක්

 

මේ සත්කාරයට ඔබටත් සහභාගි විය හැක. ඔබගේ කාලය,ශ්‍රමය,මුදල මේ ගමන දිගටම පවත්වාගෙන යාමට උදව්වනු ඇත . එමෙන්ම අපගේ මව්බිම වන  ශ්‍රී ලංකාව වෙනුවෙනුත් මෙවැනිම සත්කාරයක් කිරීමට අපට  හැකි දැයි සොයා බැලීමට  විදේශගතව ඉන්න අප වැන්නන් අතින් සිදුවිය යුක්තක් ලෙස මට සිතේ.

Anu Weerakoon – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.