ඇළ, දොළ, ගඟ, වෙල්යාය පිස හමා ආ ගැමි සුවඳින් සුවඳවත්ව විකසිත වු ගැමි දිවියකට උරුමකම් කියන මා, සොඳුරු බවින් හා ලබැඳියාවෙන් පිරි ගම සිහිපත් කරන්නේ උතුරා යන සොම්නසිනි. විදෙස් රටක ජීවත් වුවත් නිවාඩුවකට ගම රට බලා යන මා පසුගිය දශක කිහිපය තුළ දුටු අප ඇස් ඉදිරියේම වෙනස් වී ගිය ගම හා ගැමියන් තුළ තිබූ සාරධර්ම පිළිබඳ ඇත්තේ හද පිරි සංකාවකි.
නව සහශ්‍රයක අළුත් අපේක්ෂාවන් සමග ගම විශ්වගම්මානයට ගෙනයාම, පාරම්පරික සාරධර්මයන්ගෙන් පෝෂිත ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමයට කෙසේ බලපානු ඇත්ද? මා ජීවත් වුණු සුන්දර ගම්මානය අර්ධ නාගරිකරණය හා නවතාක්ෂණික මෙවලම් මගින් විනාශ වී ඇති ආකාරය දකින මා මේ පිළිබඳව සිතන්නට හා ආපසු හැරී බලන්නට සිතුවෙමි.
නූතන තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියට ගියත් තවමත් ලංකාවේ බහුතරය ගැමියෝ ය. ඉතිහාසය දෙස බැලුවත් ශ්‍රී ලංකාව ගම්වලින් සමන්විත රටකි. සංස්කෘත භාෂාවෙන් ග්‍රාම යනුවෙන් ද පාලියෙන් ගාම යනුවෙන් ද සිංහලෙන් ගම යනුවෙන් ද අපේ ගම්මාන හඳුන්වා දී ඇත. ගමක පාලකයා ග්‍රාමණී ගැමුණු හෝ ගාමණී යනුවෙන් සඳහන්ව ඇත. විශ්ව සාධාරණත්වයට අනුව ඕනෑම භෞතික වස්තුවක් වෙනස්වෙයි. නමුත් මේ වෙනස්වීම මානව සම්බන්ධතා හසුරු වන සාරධර්මයන්ට බලපාන්නේ කෙසේද? ගමක වෙනස්කම් අතරට කරත්තය වෙනුවට වායුසමීකරණය කළ වාහන ද පණිවිඩකරුවන් වෙනුවට ජංගම දුරකථන ද පන්මලු, වේවැල් පෙට්ටි වෙනුවට පොලිතින්මලු ද රෙදි, හැට්ට වෙනුවට ඩෙනිම් කලිසම්, ටිෂර්ට් ද ගමට යන අපට දැක ගන්නට ඇත. මේ හැර ඉරිදා පොල වෙනුවට සුපිරි වෙළඳසැල් ද නිවාස සංකීර්ණ ද තට්ටු ගෙවල් ද ඉදි වී ඇත. කුස්සියක දර ලිපක් මැටි වළඳක් කළගෙඩියක් දකින්නටවත් නැත. ළිඳේ වතුර වෙනුවට බොන්නේ බෝතල් වතුරය.
අප කුඩා කාලයේ රංචු ගැසී ගිය ගමේ ඉස්කෝලෙ වෙනුවට අර්ධ නාගරිකරණයට හසුව ඇති ගම්මුන් තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කිරීමේ තරගයක යෙදී ඇත. බණමඩුවේ බණ කියු හාමුදුරුවන් වෙනුවට, රූපවාහිනියේ බණ කියන හාමුදුරුවන් ගැමියන් අතර වඩා ජනප්‍රිය ය. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් සරල ගැමියා විශ්වගම්මානයේ පුරවැසියන් කර හමාරය.
සිංහල ගැමියෝ නෑදෑයින්ට මහත් ගෞරවයක් හා ආදරයක් දැක්වුවෝය. අකුරු කියවීම, දැරියක වැඩිවිය පත්වීම, මගුල, අවමගුල ගැමියන් තම නෑ සබඳකම් අලුත් කරගන්නා අවස්ථාවන් ය. ගම්මුන් අසල්වැසියන් සමඟ අත්තමට, කයියට, බුලතට තම සහයොගීත්වය බෙදාහදා ගත්තන් විය. පන්සලේ පිං කුඹුර එකට එක් වි වගාකර දුන්නෝය. පන්සලේ හාමුදුරුවන් හා දායකයින් අතර ද ගුරු ගෝලයන් අතර ද මවුපියන් හා දු දරුවන් අතර ද සහෝදරයින් අතර ද සියා, ආච්චි, නැන්දා, මාමා හැමදෙනෙක් අතරම තිබුනේ ආදරණීය ගෞරවනීය සබඳතාවකි.
විශ්වගම්මානයයට තල්ලු වු ගමට සිදු වූ අහිතකර දේ අනන්තය. ගමක සදාචාරාත්මක ගුණධර්ම පිරිහීයාම නිසා ගැමියා තුළ තිබු සරල බව අවංකකම හා නිහතමානීකම සාධාරණත්වය විශ්ව ගම්මානයේ වටිනාකමක් නැතිව වැළලී ගොස් ඇත. මත්ද්‍රව, මත්කුඩු ගම බිලිගෙන ඇත. මවුපියන් වැඩිහිටියන් නොසැලකීම තුළ නව පරම්පරාව වල්මත් වී ඇත. මේ හැම දෙයක් දෙස ආපසු හැරි බලන විට පුද්ගල ජීවිත යහපත් කරගත හැකි සදාචාර පිළිවෙතක් අවශ්‍යය ය.
බිඳ වැටෙන සමාජ සාරධර්ම රැකගෙන යහපත් සමාජයක් ගොඩනගා ගැනීමට බුද්ධිමත් වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍යය. මෙය මුළු මහත් රටේත් ජනතාවගේත් සුභ සිද්ධිය සඳහා ඉවහල් වනු නොඅනුමානය.
By Rani Kirimetiyawa – Auckland