ලංකාවේ කඳුකරයේ තේ හා කෝපි වගාවන් එකළ අයිති වූයේ සුද්දන්ටය. එහි වැඩ කළ බොහෝ කුලීකරුවෝ ලාංකිකයෝ හෝ ඉන්දියන් දෙමළ ජනතාව වූවෝය. නමුත් ඉඳහිට හෝ කලාතුරකින් ලාංකිකයෙකුට ඉහළ තනතුරක් ලැබුණේ නම් ඒ කංකානම් කමක් වැනි තනතුරකි. ගම්බද ඉඩමක් කඩමක් නැති, වත්තක කුලී රැකියාවක්වත් නැත්නම් ඔවුනට උරුම වුයේ සිඟා කෑමය.
කලවාන නගරයේ එවැනි පරිසරයක් තිබුණේ නැත. එයට හේතුව එම ගම්වැසියන් අතර මැණික් වෙළඳාම, පතල් බැසීම වැනි විවිධ කටයුතුවල ආධිපත්‍ය ස්වදේශිකයිනට අයිතිව තිබුණු හෙයිනි. පතල්වල දවස ගෙවන ජනයාට සූට් කෝට් කාරයෝ නගරයේ වුව ද සුලභ වූහ.
දොස්තර පාලිත රජයේ රෝහලේ සේවය කළේ වේලාවකට කලාවකට නොවේ. සමහර දිනවල උදේ හතර වන විටත් වාට්ටුවල ය. එකළ ග්‍රාමීය රෝහලක සිටියේ බොහෝවිට එකම නේවාසික වෛද්‍යවරයෙක් වීම මෙයට එක් හේතුවකි. එබැවින් බාහිර රෝගීන් බැලීම හවස හතර වන විට නවත්වා පාලිත තම නවාතැනට පැමිනෙන්නේ විවේකයටය. නැවත රාත්‍රී හත වන විට වාට්ටුවලට යාම ඔහුගේ පුරුද්දක් විය. සමහර දිනවල රාත්‍රී එකොළහ වනතුරුත් නේවාසික රෝගීන්ගේ කටයුතු බලා කියා අහවර කර ගත නොහැකි වීය.
කලවාන පළාතේ පතල්වල වැඩ ඉවර වන්නේ හවස් ජාමෙටය. එබැවින් ඔවුන්ට රජයේ රෝහලෙන් බෙහෙත් ගැනීමට වෙලාවට යාම ලෙහෙසි නැත. දොස්තර පාලිත එම පළාතේ ජනප්‍රිය කාරුණික වෛද්‍යවරයෙකි. එබැවින් හවස හතරේ සිට හත වනතෙක් රජයේ රෝහලේ වෛද්‍යවරයාගෙන් පෞද්ගලිකව හමු වී ප්‍රතිකාර ගැනීමට බොහෝ අය පුරුදු වූහ. කාර්යබහුල මිනිසුන්ට එසේ ප්‍රතිකාර කිරීම හැර වෙන විකල්පයක් පාලිතට ඉතිරිව තිබුණේ නැත.
එකල පෞද්ගලික රෝගියෙකු පරීක්ෂා කිරීමට කුමන කාලයක් ගත කළ ද පාලිත ඔවුන්ගෙන් අය කළේ රුපියල් හතලිහකි. සාමාන්‍ය අතමිට නැති අයෙකුට එකළ එය ද ලොකු මුදලකි. එබැවින් දුප්පත් අහිංසක ගැමි රෝගියකු හමු වූ විට එවැනි රෝගියෙකුගෙන් මුදල් අය කර ගැනීමට පාලිතට දිරියක් නොතිබුණි.
බුලත් විටක් කා දත් කහ පැහැති වූ කෙසඟ මිනිසා පාලිත ඉදිරියට නැමි, නැමි යටිබඩ එක අතකින් අල්ලා ගෙන බිතත්තියට වාරු දී ගෙන නොන්ඩි ගසමින් ආවේය. ඔහු දින කීපයකින් ආහාරයක් ගෙන නැත. ඇඳ සිටියේ අත් කොට වෙලෝනා බැනියමකි. සුදු සරම ගමේ අත් මැෂිමක නිපැයු කපු සරමකි. ඔහුගේ දෙපතුල් නිරාවරණය වූ අතර කැළැල් හැම තැනකමය. පෙනුමෙන් වත්තක, ඉඩමක කුලීකරුවකු තරම්වත් අතමිට තිබිය නොහැක. පාලිතගේ හිත උණු විය.
” ලොකු උන්නැහේ මොනවද තියෙන අමාරු ?” වෛද්‍ය පාලිත කාරුණිකව විමසුවේය.
“අනේ සර් දවස් කීපයකින් කෑවේ නෑ. ඇඟට කිසිම පණක් නෑ. එළිවෙනකං නින්දක් නෑ. ඇඟ ඇතුළෙ උණ වගේ. තව..ම්හ්..” රෝගියා ඉවරයක් නැති ලෙඩ ගොඩක් කෙඳිරි ගාමින්ම කියාගෙන ගියේය.
“හරි මම බලන්නම්. ඇවිත් වාඩි වෙන්නකො මේ ඇඳ උඩ.” දොස්තර පාලිත ප්‍රශ්ණ කරමින් ලෙඩා පරීක්ෂා කළේය. අවසානයේ පාලිත මොහොතක් කල්පනාවකට වැටුණේ ය.
“මන්දපෝෂණයට වඩාත්ම පැහැදිලි හේතුව වන්නේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොමැතිකමයි. සමාජ ප්‍රපංචයක් ලෙස දරිද්‍රතාවය ආහාර ප්‍රමාණවත් නොවීම සමඟ එය සමීපව සම්බන්ධ වේ. මේ හේතුව නිසා වඩාත්ම අවදානමට ලක්විය හැකි වන්නේ මෙවැනි අහිංසක දුප්පත් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අයයි. පුද්ගලයෙකුගේ ආහාර රුචියෙහි සැලකිය යුතු අඩුවීමක් ඇති විට, එය සාමාන්‍යයෙන් වෙනත් පිළිකා, මානසික අවපීඩනය, නිදන්ගත ආසාදන, ඇතැම් මානසික රෝග හෝ වකුගඩුවලට බලපාන තත්ත්වයන් වැනි වෙනත් දරුණු රෝගවලට සම්බන්ධ විය හැක. නමුත් මන්දපෝෂණය කියලම ස්ථිර කරගන්න තව හේතු සනාථ වෙන්න ඕන. සමහර විට වෛරස උණක් වෙන්නත් පුළුවන්. මේ කාලේ හැම තැනම උණ…” තම සිත තුළ කැකෑරෙන සිතිවිලි එළියට පිට නොකළ දොස්තර පාලිත තම හඬ අවදි කළේය.
“ලොකු උන්නැහේ අපි බේත් ටිකක් බීල බලමු. දවස් තුනකින් හොඳක් නැත්නම් එන්න. සල්ලි ගැන හිතන්න එපා. එදාට මම අය කරන්නෙ නෑ” පාලිත කීවේය.
” අනේ සර් එහෙම කොහාමද? සර් කරුණාවන්තයි කියල හැම තැනම කියනවා” කෙසඟ රෝගියා වෛද්‍යවරයාට අහිංසකව පැවසුවේය.
” හරි මෙන්න බේත් ටික. ඇඟට ආහාර පොෂණය වැදගත්. මේ කිරිපිටි වර්ගය වටින එකක්, ඒක නිකං. සල්ලි එපා.” දොස්තර පාලිත එසේ කීවේ හද පිරණු අනුකම්පාවෙනි.
“අනේ සර්ට පිං සිද්ධ වෙනවා. මමත් ගිය සතියේ මගේ තේ කෑල්ලෙන් ලැබුණු ගණන අනාථ නිවාසෙකට දුන්නෙ සල්ලි තියෙනවට නෙවෙයි, සර් වගේම පිනට තියෙන සංසාරික පුරුද්දට. යනකොට ගෙනියන්නෙ එච්චර නෙව?” ලොකු උන්නැහෙගෙ කතාවෙන් පාලිතගේ හිතට නැගුණේ සතුටකි.
“බොහොම හොඳයි. ඒත් ලොකු උන්නැහෙ කාලා බීලා ඉන්න ඕනේ. ම්ම්… තේ කෑල්ලක් කීවේ?” පාලිතට නිකමට මෙන් කියවිණි.
“සර් පොඩි ඉඩමක් මම වවලා තියෙනවා. තවම අක්කර හැත්තෑ පහක්වත් ඉවර කර ගන්න බැරි වුණා. හැම මිනිහම පතල්වල. මේ පළාතේ හැම තැනම පොඩි පොඩි ඉල්ලමක් හොයා ගන්න අමාරු නෑ. ඉතිං කුලීයට මිනිස්සු නෑ.” රෝගියාගේ කතාවෙන් පාලිතගේ තොල කට සිඳී ගියේය. දැන් ඩොක්ටර් පාලිතගේ සිත උඩුයටිකුරු විය. ඊළඟට ලොකු උන්නැහෙගෙන් අහන්න ප්‍රශ්ණයක් නැත.
“ඉතිං මැණික් පතල් හෙමත් තියෙනවා ඇති එහෙනං.” අමාරුවෙන් ඊළඟ ප්‍රශ්ණය පාලිත ගැට ගසා ගත්තේය.
“නෑ සර් පතල් නං නෑ. ඒ වුණාට කලවාන කොළඹ දුවන බස් හතරක් මගේ.”
පාලිත මොහොතකට නිරුත්තර වූයේය. ලොකු උන්නැහේ සමුගන්න මුව පුරා හිනාවත් පිං දීමත් අතර කහට බැඳුණු දත් සහිත මුව සහිත මුහුණෙහි ඩොක්ටර් පාලිත දුටුවේ තමන්ට වඩා අතිශයින්ම නිර්වාජ ධනවත් පුරුෂයෙකි.
By Daya Prathapasingha – Auckland