ඕක්ලන්ඩ් පැන්මුවා කඩවීදියේ දි හමු වූ මගේ මිත්‍ර නීල් මා අත පත්තරයක් තැබීය. ‘අපේ පත්තරයක්. ලියන්න කවියක් කතාවක්,’ කියා ඔහු කීවේ ය. ඒ 2020 මාර්තු පිටවූ ‘ශ්‍රී ලංකන්ස්’ පළවැනි කලාපයය. මුල් පිටුවේ වූ ගසක් සහිත ජල තටාකයක නවසිලන්ත දර්ශනය මට ඇති අනෙක් ලස්සනම රටේ මින්නේරිය වැව සිහි කරවි ය. ‘අපේ වෑයම ඔබගේ දස්කම් ලොවට පෙන්වීමටයැයි.’ පත්තර මුල් පිටුවේ වූ වැකිය මගේ සිතට තදින්ම කා වැදුණි. වැලිමඩ ස්වාමීන් වහන්සේගේ ලිපිය ඊළගට වීය.
ලිපි, මාතෘකා ගැන අලුත් කෝණයකින් බලා ලියා තිබුණි. මා මෙන්ම සබකෝලකාරයෙකුයැයි සිතිය හැකි නවසීලන්තයට හැඩගැසිමේ සටනක යෙදුන නේහාන් මුණසිංහගේ ලිපිය මට සිහිපත් කළේ සුදු ඩ්‍රිල් කොටකලිසම හා අත්කොට කමිසය හැඳගෙන සබකෝලයෙන් වෙවුලමින් එදා ගුරුතුමියට පැටලි පැටලි උත්තර දුන් මාවය. පංචමී ධර්මදාස කෑමට ගන්නා ආහාර ගැන ලියා තිබුණි. ආයෝජනය හා දේශගුණ විපර්යාසය ගැන බුද්ධිම වික්‍රමාරච්චි ලියා තිබුණි. වෙද නලාව නැති දා, අපට හිතන්නට යමක්, සතිපාසල හා හරස් පද ප්‍රහේලිකාව තවත් සංග්‍රහ කිහිපයකි.
වෙළීංටන් මුද්‍රණය වන පත්තරේ ආරම්භක කතෘ වූයේ පසන් වික්‍රමතිලක මහතාය. මේ අතර කෝවිඩ් නිසා පාර තොට, කඩ සාප්පු වැසිණ. ගමන බිමන නැවතිණ. එහෙත් දෙමාසයකට වරක් පත්තරය ආවේය. නවසීලන්තයේ මෙතරම් කවි-කතා කාරයන් සිටින බවක් මීට පෙර මම දැන නොසිටියෙමි. කලාප තුන හතර ලැබෙන විට මටත් කතාවක් ලිවිමට ඇත්නම්යැයි කල්පනා වුණි. එහෙත් මට තිබූ ප්‍රධානම ගැටලුව වූයේ පරිගණකයෙන් සිංහල ටයිප් කිරීම ය. ම මගේ දුක් ගැනවිල්ල පත්තරයේ වැඩකරන මිත්‍රයෙකු අල්ලාගෙන කිව්වෙමි.
‘සිංහල යුනිකෝඩ් වලින් ගහන්න. අපි ඒෆ් ඒම් අභයට හරව ගන්නම්.’ මට ලැබුණූ පිළිතුරය.
මම, අකීකරු කී බෝඩ් එක සමග මාස ගණනක් ඔට්ටු වී කතාවක් ලිව්වෙමි. එහෙත් න-ණ- න-ල- ළ ගැන මගේ මතකය තිබුණ තැනකවත් නැත. ඒක වවන, බහු වචන, උක්තාඛ්‍යාතය හදන්නේ කෙසේදැයි මට තේරුමක් නොවී ය. යාළුවකුගෙන් සිංහල ව්‍යාකරණ පොතක් ඉල්ලා ගත් මම මගේ භාෂා අඩු පාඩු සාදා නැවත පත්තරේ වැඩකරනවායි කියූ මිතුරා හා කතාවට වැටුණෙමි.
‘මගේ ව්‍යාකරණ හොඳ මදි. භාෂා යෙදුම් අමතකත් වෙලා.මගේ කතාව හොද මදි නම්?’ මම ප්‍රශ්
‘ලියපු දේ තේරෙනව නං ඒක තමයි ව්‍යාකරණෙ.’ මට ලැබුණ උත්තරය වී ය. ‘අංගසම්පූර්ණ කතා කාටවත් ලියන්න බෑ. ඇන්ටන් චෙකෝෆ්ටත් වැරදිලා තියෙනවා. ඉතිං අපි කවුද?
‘නිර්මාණයක් තියෙන්නම් එතන කතාවක් තියනව. නෝබෙල් තෑග්ග ගත්ත ස්ටෙයින්බර්ග් භාෂාව හදාගන්න බැරුව පාර පුරා දිව්ව කියන්නෙ. අපි කාගෙත් භාෂ දැනීම එක වගෙයි. බලන්න අපට ලැබෙන කවි. වචනයක් දෙකක් වැරදුණාට කොච්චර ලස්සණ සංකල්පනා තියනවද? අපි ගණන් ගන්නෙ එහෙමයි. Perfect කතා හොයන්නත් බෑ. ඇත්තතේ නෑ. මාර්ටින් වික්‍රමසිංහගෙ වැරදි කී දෙනෙක් කිව්වද?’
කෙසේ වෙතත් මගේ කතාව ලියන්නට තව වසරක් ගතවී ය. කතාව යැවූ පසු එය පළනොවන බව ස්ථීර කර ගත් මම නැවත පත්තරය සොයා නොගියෙමි. එහෙත් ටික දිනකින් පත්තරෙන් මට ඊමේලයක් ලැබුණි. ‘ඹබේ කතාව මේ වාරයේ අපට ලැබුණ නොම්මර එකේ කතාව.’ එහි සාරාංශය වී ය. එක හුස්මට පැන්මුවා ලක්දිව් සුපර්මාට් වලට ගිය මම පත්තරය ගෙන පෙරලා බැලුවෙමි. පත්තරයේ පිටු තුන්කාලක් පුරවන්නට තරම්, මා පිළිගත් පුද්ගලයෙක් වී ඇත. මගේ කතාව හා පිංතූරය එහි වි ය. මා තුළ ලේඛකයෙක් සිටිතියි යන ආත්ම විශ්වාශය යළි ඉස්මතු වී ය.
ඉන් පසු මා ලියූ කතා කිහිපයක් පළවූ අතර මගේ මිතුරෙකු පත්තරේ පළකළ තමාගේ කතා එකතු කර පොතක් ගහන්නට යන බව ද දැන ගතිමි. මේ වනවිට කවි කතා ලියන කියන අය රාශියක් පත්තරය වටා එකතු වි සිටියහ. පත්තරය අපේ ප්‍රජාව අතර ඇති කළ ප්‍රබෝධය අගය කළ යුතුය.
මේ හාස්කම කරන කාර්ය මංඩලය ගැන මම සොයා බැලුවෙමි. අධ්‍යක්ෂක, මාධ්‍ය ස්මබන්ධීකරණය, කතෘ මණ්ඩලය වැනි හතර පස් දෙනෙකුගෙන් පටන් ගත් පත්තරේ අද ඊට අමතරව, වෙබ් හා තාක්ෂණික කටයුතු, සමාජ මාධ්‍යය, අලෙවිකරණය, දැන්වීම් සම්බන්ධීකරණය හා සම්මුඛ පරීක්ෂණ කරන්නන් වගෙ සංඛයාව තිහක් විතර සිටින බව දැන ගතිමි. මුද්‍රිත පත්තරේ සංස්කරණයක් අන්තර් ජාලයේ ද පළවෙයි. අපේ කවි කතා වෙබ් අඩවියේද පළවෙයි. පත්තරේ පේස්බුක් ඇසුරු කරන සංඛ්‍යාව 27,000ක් වී ඇත. පත්තරේ පළවන ඉන්ටර්විව් වල වීඩියො යූටියුබ් වලද පළවෙයි. මේසේ විසි තිස්දහසක සහෘදයන් සංඛ්‍යාවක් බිහිවුණාය කියන පත්තරේක වරින් වර වර කතාවක් දෙකක් ලියන ‘ලේඛකයෙක්’ කියා මම ආඩම්බර වෙමි.
ඊටත් වඩා, නිතිපතා කියවන කියවන්නෙක් වෙමි. මට දැනගන්නට ලැබුණ පරිදි පත්තරේ මාස්පතා පළ කිරීමට අදහසක් ද ඇත. එවිට ලියන කියන අයට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. පත්තරයකට ලියන කියන අය, කියවන අය වගේම අනුග්‍රහය දක්වන ව්‍යාපාරික ප්‍රජාව තමා ඔය වගේ දේක සාර්ථක භාවය පිටිපස තියන ශක්තිය.
මා හිතන්නේ මට වඩා අලුත් තාලෙට හිතන පරිගණකය පරිහරණය කරන ඔබට මට වඩා හොද ලේඛකයෙක් හා කියවන්නෙක් වෙන්න පුළුවන්.
ශ්‍රී ලංකන්ස් ප්‍රජාව වෙනුවෙන් කරන පත්තරයට එහි තුන්අවුරුදු ගමන් මග සිහි කරමින් මම සුබ පතමි.
By G. S. Perera – Auckland