fbpx
10.9 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඇය සතුටින් සිටියාය | දයා ප්‍රතාප්සිංහ

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

විමලෙ ගෙදර එන බව දැනගත් සිරියා කඩිනමින් ගෙය අස් පස් කළාය . ඔහු යුද්ධයට ගොස් කැළෑ-කඳවුරුවල සති මාස ගණන් සිටිමින් විඳින්නේ දහදුකකි. ඔහුට තම ආදරණීය බිරිඳටවත් දුරකථනයෙන් කතා කිරීමට තරම් පහසුකම් මහ කැළෑව  තුළ දී ලැබෙන්නේ නැත. එබැවින් ඉඳහිට නිවාඩුවකට සටන් බිමේ සිට යාපනය නගරයට පැමිණි විටක ඔහු තම ජංගම දුර කථනයෙන් ඇයගේ සැප දුක් විසීමට පුරුදුව සිටියේය.

එදා තම දරුවන් දෙදෙනාම පාසැල් ගොස් ගෙදර පැමිණියේ සවසය. සිරියා ඔවුන්ට තාත්තාගේ පැමිණීම ගැන කීප වරක්ම පැවසුවද දරුවන්ට ගානක් නැත. මාස ගනං රට ජාතිය වෙනුවෙන් තම දරු පවුල්වල ආදරය අහිමි කරගනිමින් ජීවිතය පරදුවට තබා දිවා රාත්‍රී නිදි වරමින් ඇප කැප වෙන මෙවන් ආදරණීය පියෙකු වෙනුවෙන් දරුවන්ට  සෙනහසක් නොදැනීම කරුමයක් මිස අරුමයක් නොවේ. එබැවින් තම දරුවන්  ගැන දැඩි කලකිරීමක් ඇයට ඇතිවී ය.

පසුගිය වසර කීපයකටම ඔහු ගෙදර පැමිණියේ කලාතුරකිනි. සමහර දිනක දරුවන් උදේ නැගිටින විටත් විමලේ රාත්‍රී පැමිණි ජීප් රථයෙන්ම ආපසු පිටත්ව ගිය හැටි සිරියාට හොඳට මතකය. මෙවන් සිදුවීම් නිසා ඔවුන්ට තම තාත්තා ගැන ඇති බැඳීම අඩුවීම ගැන සිරියා කනස්සල්ලට පත් වූවාය. නමුත් සිරියා නම් නින්දෙන් පවා ඔහු දකින වාර ගණන අනන්තය.

මීට පෙර දිනක ගොම්මන් වැටෙන වෙලාවක විමලේගේ රුව ඇය ඉදිරිපස මැවී පෙණුන හැටිත් ක්ෂණිකවම එය මැකී ගිය හැටිත් ඇයට තවම හොඳින් මතකය. හවස විපුල ලොකු මාමා ගෙදරට පැමිණිවිට දරු දෙදෙනාම ඔහු වටකර ගෙන රහසෙන් නොනවතින කතාවක යෙදුණේ ය. ඔවුනට තාත්තා හෙට පැමිණීම ගැන වගක්වත් නැත. නමුත් ඔවුන් තාත්තාට වඩා ඇල්මක් ආදරයක් තම ලොකු මාමාට තිබීම ගැන ඇය උරණ නොවූයේ විපුල තම එක මව්කුස උපන් වැඩිමල් සහෝදරයා නිසා විය හැක. නමුත් පුංචි කාලයේ දරුවන් දෙදෙනාට තම තාත්තා ගැන තිබූ ආදරය උනන්දුව අද දක්නට නැතිවීම ගැන ඇය නිතරම කණස්සලු වුවාය. එකල තාත්තා ගෙදර එනවිට සෙල්ලම් බඩු ටොපි චොකලට් ගෙන ආ හැටිත් දවස් ගණන්  තාත්තා ගැන කියමින් ඇඟිලි ගැන්න දරුවන්ට අද ඔහු ගැන ගානක් නැති ගානය. ඔහුගේ උණුසුමට පොරකෑ අපේ දරුවන්ට අද එයද මතක නැත.

ඒ ගැන සිරියාගේ සිතට දැනුනේ මහත් වදයකි.  නිවාඩුවට පැමිණෙන විමල් එක්කරගෙන ඒමට පසුවදා තමා එන බව ආපසු පිටත් වීමට පෙර ලොකු අය්යා, විපුල  ඇයට දන්වා සිටියේය.

‘හෙට උදේ අපි ගාල්ලට යන්න ඕන. නංගි සූදානම් වෙලා ඉන්න. අපි එනවා හෙට උදේම. ‘ විපුල අයියා එසේ කියන විට සිරියාගේ දෙතොලට සිනහවක් මතු විය.

‘හරි අයියේ බුදු බව අත්වෙන්න ඕන අයියට. මේ කරදර කාලෙ මේ පැටව් වෙනුවෙන් කරන උදව්වට. හොඳයි මම හෙට උදේම ලේස්ති වෙන්නංකෝ.’ ඇය කීවාය.

‘එහෙනං බුදු සරණින් නංගී ප්‍රවේසමෙන් නිදා ගන්න. මම ගිහිං එන්නං.’ දරුවන් සමග තවත් ටික මොහොතක් කතා කළ අයියා පිටත්ව යන තෙක් සිරියා තද සිතිවිල්ලකට වැටුණා ය.

‘එහෙනං දරුවො තාත්ත හෙට එන එක ගැන ඔක්කොම විස්තරේ අයියට කියල. අපරාදේ ළමයින්  ගැන මම වැරදියට හිතුවෙ. තාත්තා එන එක ගැන  එවුන් නොයිවසිල්ලෙන් ඉන්න එක පුදුම නෑ. උං පව්, උං තවමත් එහෙනං තාත්තට ආදරෙයි. හෙට ගාල්ල ස්ටේෂන් එකට තමයි විමලෙ එන්නෙ. ලොකු අයියා එක්කම ගිහිල්ලා විමලේ එක්කං එන එක හැම අතින්ම මට ලෙහෙසියි.’ ඇ තනියම සිතුවාය.

‘දරුවනේ බලා ගනිංල අම්මව. අපි යනවා එහෙනං.’ අයියාගේ හඬ සිරියා පියවි ලෝකයට රැගෙන ආවේය.

රාත්‍රී ලොකු මාමා ගෙනවිත් තිබූ රතු බත් සහ ව්‍යාංජන ආහාරයට ගත් ළමුන් දෙදෙනා අම්මාගේ පංගුව බෙදා ඇය ළඟටම ගෙනත් දුන්නේ ආදරයෙනි. වතුර ටික පවා ගෙනත් දුන් ඔවුන් ඇය නිදි ඇඳට රැගෙන ගියේද බොහොම ආදරයෙනි. එක අතකින් මෙහෙම දරුවන්  ගැන දැන්  ඇයට මහත් ආඩම්බරයක්ද දැණුණි.

විමලේ තම දරු පවුලට දක්වන ළෙන්ගතු කම ඇය තරම් කිසිවකු දන්නේ නැත. මාසෙ මුල් සතියේම ඔහුගේ මුළු වැටුපම සිරියාගේ බැංකු පොතට ලැබුණේ ය. දරු දෙදෙනාට අවශ්‍ය හැම දෙයක්ම ඉටු කෙරෙන්නේ විමලේගේ පඩියෙන් බව සැමවිටම ඔවුනට සිරියා විසින් එමට කියාදී තිබුණි.

පසුදා උදේම ලොකු අයියා ඔහුගේ මිතුරාගේ කාරයක් රැගෙන තම බිරිඳ සමග සිරියාගේ ගෙදරට පැමිණියේ ය. ‘අනේ අයියා අක්කත් එක්කම ඇවිත්. කාර් එකක් ගෙනාපු එක නං හොඳයි. විමලෙගෙ බෑග් එහෙම අරගෙන එන්න පුළුවන් නෙව.’’  කියමින් සිරියා මිදුලට බහින ගමන්ම තම ලොකු අයියා පිළිගත්තාය.

‘හොඳයි හොඳයි නංගී ලේස්ති වෙලා උදෙන්ම.’ අයියා කිව්වේ ය.

‘නැතුව ලොකු අයියේ, මම දැන් කී දොහක් ද ඇඟිලි ගැන ගැන?’  සිරියා කාරයට නගින ගමන්ම පිළිතුරු දුන්නාය. එදින රාත්‍රී ඇයට විමලේ කීප වරක් හීනෙන් කතා කළ බව ඇය සියල්ලන්ටම කිවා ය. ‘එයා අර එනව මේ එනව වගෙයි කියල මට පාර දිහාත් බැලුන.’ කියමින් ඇය සිනාසුසණා ය.

‘දරුවෙ දැනගන්න ඕන තාත්ත  කොහාම කෙනෙක්ද කියල තමන්නෙ පඩිය සතයක් ගන්නෙ නැතුව ඔක්කෝම බැංකුවට එවන්නෙ… යුද්දෙ නිසා උඹල බලන්න එන්න බැරි වුණාට රත්තරං මනුස්සය.’ ඒ ගැන ඇය කිවා ය.

‘ඒකනෙ කෝ මේ ළමයි?් ලොකු අය්යා වැඩ කඩිනම් කරවී ය. ‘හරිද මං කියපු බඩු ටික?’ඔහු දරුවන්  සමග තවත් මොන-මොනවා හෝ කතා කළේ ය. දරු දෙදෙනා අම්මා කාරයට නැගීමෙන් පසුව කුඩා බෑග් දෙකක අහුරන ලද බඩු කාරයේ ඩිකියට ප්‍රවේශමින් දැමුවෝ  ය.

විමලෙ වෙනුවෙන් දානයක් පිරි නැමුණු ගිය ඉරිදා සිට ඇය සිටියේ පැරණි මතකයන් කියවමින් මහත් කම්පනයකින්ය. ඇයව  එදින ලොකු අයියා ඇය කාරයෙන්ම රැගෙන ගොස් ගාල්ල උණවටුන පිහිටි මානසික රෝහලට ඇතුල්කරනු ලැබීය.

විමලේ  යුද්ධයෙන් මියගොස් අවුරුදු  තුනක් පසු වූයේ ගිය ඉරිදාය. ඇයගේ ගිණුමට වැටුප ලැබුණේ සැමියා මියගිය පසු බිරිදට ලැබෙන විශ්‍රාමිකය බව තේරුම් කර දෙන්නට ඇයගේ ලොකු සොහොයුරා හෝ වෙන අයකු ඉදිරි පත් නොවූයේ ය. ‘සිහි ඇතිව විඳවනවට වඩා  සිහින ලෝකයෙ හරි සංතෝසෙන් ඉන්න එක එකක්.’ ලොකු අයියා තම ඥාතින්ට පැවසුවේ ය.

*** *** ***

By Daya Pratapsingha

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.