අවසාන හමුවීම… (භද්‍ර යෞවනයෙකුගේ ශෝකාලාපයක අවසාන කොටස).
ආදරය කරන යෞවනයෙකුට විඳීමට සිදුවන වේදනා බර අමිහිරිම අත්දැකීම දහසක් කඳුලු සුසුම් මැද විඳ දරාගත් මම ඒ මතකයේ වෙලී හුදකලා වෙමි. සඳෙන් කිරි ඉල්ලා හඬන දරුවෙකුසේ මගේ හදවත ද තාමත් වැළපෙනුයේ මළා වූ ඇගේ ප්‍රේමය වෙනුවෙනි. ඇය කෙදිනක හෝ නැවත මා වෙත පැමිණේවි යයි විටෙක මට සිතේ. කිසිදිනක ඉටුනොවන ඒ බලාපොරොත්තුව දවසේ විසි හතර පැය තුළම මා ජීවත් කරවයි.
කුරුල්ලනි පියාඹන නිබඳ වන පෙත පුරා,
දුටුවාද මා සොයන රුවැත්තිය ලෝ පුරා,
සත්තමයි ඇගේ රුව මලක් මෙනි මදාරා,
දනී නම් කියාපන් ඇගේ නම – – -.
සියල්ල කඳුලින් කෙළවර වූ පසු ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලීමට මම වෙර දැරුවෙමි. එකල්හී, මට ජීවිතය මරණයක් විය.
ජීවිතය මරණයකි.
පිණි වැටෙන රාත්‍රියේ සිහිනයන් සුන්දරයි,
සඳ නොමැති නුබ ගැබේ තාරුකා නිදිකිරයි,
ඔබ වටා මා වටා අසිරිමත් සියළු දෙය,
මවාලූ ඉඳු දෑල අසත්‍යයේ මිරිඟුවයි
පලා යමි ලෝකයෙන්
අසත්‍යය පිරිපුන් වු
සොයායමි ජීවිතයෙ
මා නොලද විවරණය
හිරු නැගින සඳු නැගින
අතීතය මිය ගොසින
එළැඹ ඇති වත්මනද
ශුන්‍යතාවයක්මය
කල්පයක් ගත වුව ද
නොදුටුවෙමි ජීවිතයෙ
මියෙන්නට මරණයක්
හැර වෙනත් අරුමයක්!
දයාබරය, දයාබරිය. පත් ඉරු පුරා ලියැවුණු මෙය කවියක්ද? මම නොදනිමි. නමුදු, මගේ ආත්මය දෙදරු කළ එක්තරා දුක්බර සිදුවීමකින් පැණ නැගුනු කල්පනාවලියක් බව නම් මම පිළිගනිමි.
විසි වසරක ජීවිතය මට බොහෝ දෑ අහිමි කළෙහිය. එහෙත්, සැබෑ ආදරය නොමියෙන වග මම දනිමි. එය වතුරේ ඔබන්න තැත් කරනා රබර් බෝලයක් සේ නැවත නැවතත් මතුවේ. තව කී දොහක් හෝ මා ජීවත් වෙන තුරාවට ඒ ආදරය පෙනී නොපෙනී, දැනී නොදැනී, යට වී නැවත ඉස්මතුවේවි මගේ මතකයේ ජීවත් වන වග නම් මට සහතිකය.
නිමි.
By Chrishantha Wevita – Wellington