fbpx
14.7 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ… | අචලා නෙළුනිකා | ඕක්ලන්ඩ්

Must read

අද ගීතයට අරුතක් තුළින් අප ප්‍රියානන්ද විජේසුන්දරයන් සමග සාකච්ඡා කරන්නේ පියකුගේ සහ දුවෙකුගෙ අතර ඇති ඇල්ම ගැන සංවේදී ආකාරයට ලියැවුණු ඉතාමත් ප්‍රසිද්ධ ගීතයක් වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා අකුරු කළ රත්තරන් දුවේ ගීතයයි.
————————————————
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කළේ
ගියදා පටන් ඉගිලා කුරුලු කූඩුවෙන්
සන්තෝෂයක් නෑ සිතේ

ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්නනේ
ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ

නැවත එන්න පියඹලා දුවේ
ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරන්
හනික එන්න පියඹලා දුවේ
ඇවිත් යන්න එන්න සුදු දුවේ

ගායනය: රෝහණ වීරසිංහ සහ නන්දා මාලනී
පද රචනය : කාලෝ ෆොන්සේකා
සංගීතය: රෝහණ වීරසිංහ

——————————————————————

“මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍යවරයෙක්, ඔහු වෛද්‍ය වෘත්තියට අමතරව කලා ක්ෂේත්‍රයට ඉතාම සම්බන්ධ කෙනෙක්. ඔහු හොඳ කලාකරුවෙක් වගේම, අගය කළ යුතු තැනදී කලා නිර්මාණ නිහතමානීව අගය කරන හොඳ රසිකයෙක්. ඒ වගේම වෛද්‍ය වෘත්තියේ නියැලෙමින් කලාකරුවන්ට කරන්න පුළුවන් සේවාව උපරිමයෙන් කළ මහාචාර්යවරයෙක් හැටියට දකින්න පුළුවන්” කලා කටයුතුවල දී ඔහු කලාකරුවෙක් ලෙස මිස ප්‍රවීණ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු නොකළ නිහතමානී කෙනෙක් හැටියට ප්‍රියානන්ද විජේසුන්දරයන් ඔහුව දකිනවා.

ගීතයේ පද රචනය ගැන කතා කරනවා නම් ශ්‍රී ලාංකික ගැමි පරිසරයේ ව්‍යවහාරයේ තියෙන කියමනක් මතකයට අවදි වෙනවා.” තාත්තගේ දුව සහ අම්මගේ පුතා” යන කියමන. පියවරු සහ දියණියන් අතර විශේෂ ඇල්මක් තියෙනවා කියලා අපි කවුරුත් අතීතයේ පටන් විශ්වාස කරනවා. මෙය අප රටට පමණක් නොවෙයි ලෝකෙටම පොදු දෙයක්.

පියකුගේ උරතලය තරම් ආරක්ෂා තියෙන තැනක් දියණියකට මේ ලෝකෙ නැති තරම්. දියණියකට පියෙක් කියන්නේ ආරක්ෂකයෙක් ඇයට පෙම්වතෙක් හෝ සැමියෙක් හමුවන තුරුම. පිය-පුතු සම්බන්ධතාවය අප සමාජය තුළ අපි අසා තිබෙනවා. ඇතැම් විට පිය පුතු අරගලය ලෙස, සිංහබාහු කතාවේ පටන් පැවත එන දෙයක් මෙය. ඒත් අපි කවදාකවත් අසා නැහැ පිය – දියණි අරගලය කියා දෙයක් ගැන.
අපි විවාහ උත්සවවල දී පවා දැකලා තියෙනවා දියණියන් වෙන්ව යනකොට වැඩිපුරම හැඟීම්බර වෙන්නේ පියා.

මහාචාර්ය කාලෝ ෆොන්සේකාටත් මේ සංසිද්දිය මෙලෙස දැනෙන්න ඇති කියා මම හිතනවා. 1988-1989 වකවානුවේදී තමයි මෙම ගීතය රචනා වුණේ. අපි දන්නවා ඒ සමයේ ශ්‍රී ලංකාව තුළ අරගලයක් ඇති වුණා. ඒ කාලෙදි එතුමාත් ත්‍රස්තවාදී තහනමට වගේම අනිත් පැත්තෙන් රාජ්‍ය තහනමකට ලක් වුණා. මේ අරගල සමයේ මරණීය තර්ජන හමුවේ ඔහුට සහ ඔහුගේ සිය පවුලට ලංකාවෙන් බැහැරව ඉන්දියාවට යාමට සිදුවෙනවා. ආරක්ෂක හේතූන් මත. මේ කාලේ ඔහුගේ දියණිය දරු ප්‍රසූතියකට සූදානම් වෙමිනුයි සිටියේ. ඔහුගේ දියණියත් සැමියාත් පමණක් ලංකාවට නැවත පැමිණෙනවා. මේ දරු ප්‍රසූතිය වෙනුවෙන්. එහෙත් ඔහුට දියණිය ළඟ රැඳෙන්නටවත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ මොහොතේ. මහාචාර්යවරයෙක් විදියට ඔහුට ඕනම රෝහලකට ඕනම වෙලාවක ඇතුළු විය හැකි වුණත් ඇයට මේ අවශ්‍යතම අවස්ථාවේදී ඔහුට පියා ලෙස ළඟ ඉන්නට බැරි වෙනවා. ඒක ඉතාම සංවේදී දරා ගැනීමට අමාරු මොහොතක් පියෙක්ට. ඉතින් මේ කාලවකවානුවේදී තමයි ඔහු මෙම ගීතය රචනා කර තිබෙන්නේ.

තවත් අපූරුම කාරණයක් නම් මෙහි තනුවත් කාලෝ ෆොන්සේකා මහත්මයාගේම තනුවක්. මේ ගීතය වගේම ඔහු ලියූ බොහෝ ගීත වල තනු නිර්මාණය කළේ ඔහු විසින්මයි. ඔහු රෝහණ වීරසිංයන්ට වැඩිපුරම මතු කරලා තියෙන්නෙ මේ ගීතයේ තනුව ගැන. හැබැයි සංගීතය (melody) රෝහණ වීරසිංහන්ගෙ.

තවදුරටත් මෙම ගීතයේ පද රචනය ගැන කියනවා නම් මෙම ගීතය ඉතාම කෙටි ගීතයක්. බොහොම ගීතවල ගීතයක ස්ථායි කොටස සහ අන්තරා කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. මේ ගීතයේ තියෙන්නේ එක අන්තරා කොටසයි. එම කෙටි ගීතයේ කියන්න තියෙන දේ කෙටියෙන් කියලා තියෙනවා.

“ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ”

මේ පද පේලිවලින් ඔහු අදහස් කරන්නට ඇත්තේ අලුත උපන් බිළින්දා සමඟ ඔහු ඉන්න තැනට පැමිණෙන්ට කියායි. ඒත් විවිධ බාධක නිසා පියාට මෙලෙස වෙනත් රටක ජීවත් වීමට සිදු වෙනවා.

මේ ගීතය ලංකාවේ බොහෝ විවාහ මංගල්‍යය උත්සවවල අපට අසන්නට ලැබෙනවා. මේක මම හිතන්නේ ගොඩක් නොදැනුවත්ව කරන වැඩක් කියලා. බොහෝ ගීතවල හරි තේරුම දන්නැතුව තමයි ගීත විවිධ අවස්ථාවන්වලදී යොදා ගන්නේ. ගොඩක් වෙලාවට අද පරම්පරාව ගීතවලින් මගහැරිලා වගේම වැරදි විදියට යොදා ගන්නවා. මංගල උත්සවයකට මෙම ගීතය යොදා ගැනීම සම්බන්ධයෙන් මම හිතන්නේ මෙහි අර්ථය ගැලපීමක් නැහැ. එවන් අවස්ථාවක යොදා ගැනීමට විවාහ මංගල්‍ය වලදී යොදා ගැනීමට සුදුසුම වෙනත් ගීත තිබෙද්දී වචන පිළිබඳව සහ මෙම ගීතය අර්ථය පිළිබඳ නොදැනුවත්ව තමයි මම හිතන්නේ ගොඩක් විවාහ මංගල්‍යය වීඩියෝ පටවලට පවා මෙම ගීතය යොදා ගන්නෙ. ඇතැම් විවාහ මංගල්‍යයවල විවාහ යුවල තවමත් ශාලාවේ රැඳී ඉන්න කොට තමයි මෙම ගීතය ගායනය කරන්නෙ. එහෙත් මෙම ගීතයේ සඳහන් වෙන්නේ ‘ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරන්’ යන අර්ථයක්.

මෙහි පද රචනය ගැන නැවත හැරී බැලුවොත්, “ඉඟිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්, නැවත එන්න ” මින් අදහස් කරන්නේ පියෙකුගේ ආදරයේ ඇතැම් විට දක්නට ලැබෙන ආත්මාර්ථකාමී ගතිය. නැවත පවුල අරන් එන්න මගේ ගෙදර ඉඩ තියෙනවා ,මගේ දුවට වගේ අදහසක් දෙන පණිවිඩයක් එක. මගේ පෞද්ගලික මතය නම් වෙනමම පවුලක් ලෙස වෙන්වූ පසු නිදහසේ ජීවිතය ගත ගතකරන්න දරුවන්ට ඉඩ දෙන්න ඕනේ කියන එක. සමහර වෙලාවට දෙමාපියන්ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම නිසා අලුත් පවුල් සංස්ථාව විනාශ වෙන අවස්ථාවලුත් අපි දැකලා තියෙනවා. මම හිතන්නේ අපි බාහිරව ඉඳගෙන කැදැල්ලට උදව් කරනවා මිසක් කැදැල්ල අරගෙන නැවත එන්න කියන එක නෙමෙයි කළ යුත්තේ.

මේ ගීතයේ පද රචනය කාලෝ ෆොන්සේකා මහත්මයා ඉන්දියාවේ සිට ලියූවක්. ඒ නිසා කල්පනා කරන්න ඇත්තේ නැවත ඉන්දියාවට පැමිණෙන්න කියලා දුවට ඇරයුම් කරන අදහසක්. මොකද විවිධ ආරක්ෂක හේතූන් මත ඔහුට නැවත ලංකාවට පැමිණෙන්න පුළුවන් කමක් තිබුනේ නැති නිසා. මෙම හේතුව නිසා ඔහුගේ මෙම පද රචනයෙහි වැරැද්දක් මම දකින්නේ නැහැ.

මෙම ගීතයට සංගීතය මුසු කළ රෝහණ වීරසිංහයන්ගේ සංගීත භාවිතාව ගැන කතා කළොත් ලංකාවේ මෙතෙක් බිහිවූ මධුර තනු නිර්මාණ ශීල්පීන් අතර රෝහණ වීරසිංහයන් අග්‍ර නිර්මාණශීලීයෙක් ලෙස ඉහළින්ම ඉන්නවා. මගේ බොහෝ ගීතවලටත් ඔහු සංගීතය නිර්මාණය කරලා තිබෙන නිසා මම පෞද්ගලිකව දැකලා තියෙනවා ඔහු සංගීතය නිර්මාණ කරනවා. ඔහු උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ගැලිලා හිටියෙ නැහැ, බටහිර සංගීතයත් එලෙසමයි. ඔහු සැමවිටම ගීතයට අවශ්‍ය සංගීතය තම දැනුමෙන් සහ අත්දැකීමෙන් නිර්මාණය කළා.

අවසාන වශයෙන් සඳහන් කරනවා නම් මේ ගීතයේ මුළුමනින්ම කියවෙන්නේ තාත්තගේ දුව, දුවගෙ තාත්තා යන කියමන. එය හරි අපූරුවට විදහා දැක් වූ අති සාර්ථක නිර්මාණයක්.

අප සමඟ මෙම හරවත් සාකච්ඡාවට එකතු වී ඔබගේ දැනුම සහ අත්දැකීම් බෙදා දුන්නාට ප්‍රියානන්ද විජේසුන්දරයන්ට SrilankaNZ ස්තූතිය.

Interviewed By Dimuthu Wijesooriya – Wellington
Article by – Achala Nelunika – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.