තුරු වදුළු කෙලවර
උයන් මගෙහි
නෙතින් නෙත ගැටිණි
ඈ හා
අමයුරු ය ඒ බැල්ම
නිලුපුල් නෙත් සඟල
වල ගැසෙන දෙකොපුල් සරා
සිනාසෙන
හුරු පුරුදු මුව මඩළ
සිහිනයෙන් තොලගෑ මීවිතක් සේ
සරයි හද ගැබ පුරා
මොහොතකට
නැවතිනි
හදවතද
කාලයද
සක්වලමැ
“මේ ඔයාමද?”
“මට ඔයාව හොඳට හුරුපුරුදුයි”
“ඇත්තටම මේ ඔයාමද?”
මා සිහිනෙන් දකින රුව ම ද
*****
ගියද නෙතූ හැමතැනම
සොයන්නේ ඇගේ රුවමය
නිලුපුල් නෙත් සඟල
වල ගැසෙන දෙකොපුල් සරා
සිනාසෙන
සොඳුරු මුව මඩල
මා ගොපලු කොළුවෙක්ය වග
අමතකමැ කොට
පෙම් දම් ගොතන්නී මා හා
ඈ…. ස්වර්ණපාලී….
“මට බයයි සුදූ අපි ගැන.”
“ඇයි අප්පච්චි අකමැති නිසා ද?”
“මට… දීගයක් ලෑස්ති කරලා”
ගිනි වැදිණි
හද මඩළ
බුර බුරා ඇවිළුණි
අහස උසටම
අප දෙදෙන හමු වූ
අවසාන හෝරාව තුළ
රුදුරු විලසට
අත දරා ගිනි අවිය
මානා මා වෙතට
කැප කෙරිණි මා
ම ර ණ ය ට.
“අප්පච්චි එපා…!”
“ස්වර්ණපාලී….!”
අප දෙදෙන මැදට පැන
රුහිරෙන් ම සරසවා ප්‍රේමය
ඇය ගියා මා අතැර
කල් නොගොසින්ම
මා ද එන බව නොදැන
*****
“ස්වර්ණපාලී!”
“නෑ මං රන් සරණි…. ඒත්… මේ ඔයාමද?”
By Asiri Dulip Madhasekara – Auckland