fbpx
14.7 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සමිත කොඩිප්පිලි ආරච්චි – ‘සෑම් කොඩි’- ‘Smart Advisor’ | කුසුම් එදිරිසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

Sam gained his insight into finance after working in Deutsche, NDB, Marac Westpac, ASB, and Apex Advice Group in Sri Lanka and New Zealand holding his professional and the prestigious University of Houston MBA qualifications. Success of his own financial advisory, ‘Sam Kodi’, now ‘Smart Advisor’ in New Zealand elevated him to be a ‘Top of the Table Member’ of the MDRT, The  Premier Association of  Financial Professionals, USA.

රන්වන් වැලි සහිත වෙරළක් ද රංගිටෝටෝ දූපතේ ප්‍රමුඛ දර්ශන ද ඇති ඕක්ලන්ඩ් නගරය ආසන්නම පිහිටි උපනගර ඇත්නම් ඒ කීපයකි.  සවස් වරුවේ මෙම කඳු මුදුනේ සිට දර්ශනීය හිරු බැස යෑමක් මෙන්ම රාත්‍රී කාලයේ ඕක්ලන්ඩ් නගරයේ තරු යට දිදුලන විදුලි පහන් දර්ශනවලට වශී නොවන  කිසිවෙකු නැත. එවැනි සුන්දර දර්ශන නැගෙනහිර ඕක්ලන්ඩ්හි  ‘බක්ලන්ඩ් බීච්’ (Buckland Beach) වල සුලභය.

‘බක්ලන්ඩ් බීච්හි’ සවස් යාමයේ පෙනෙන මේ අපූරු දර්ශනය නරඹමින් මගේ මිතුරකු සමග තවත් නිවසකට ගොඩවැදුනේ  මූල්‍ය උපදේශක සේවයේ නමක් රැන්දූ තවත් ශ්‍රී ලාංකිකයෙකු මුණගැසීමට ය. ඒ සෑම් කොඩි ය. ඔහු අපව ඉතා උණුසුම්ව පිළිගත් අතර, ආගිය තොරතුරු කතා කිරීමෙන් පසු මම ඔහුගේ මුල් පාසල් කාලය ගැන ඇසුවෙමි.

‘මම මූලික අධ්‍යාපනය ලබා ගත්තේ ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයයෙන්. හයවැනි වසරේ පටන් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තා.’ සෑම් උත්තර දුන්නේ ය.

‘කොයි කාලේ විතර ද නවසීලන්තයට ආවේ?’ මම ඇසුවෙමි.

‘මම මගේ බිරිද චංගා, පුතාල දෙන්නා සන්ජුලයි සවිඳුයි එක්ක නවසීලන්තයට ආවේ 2006 වසරේ. ඒත් ආවේ ඇයි කියලා කියන්න මම තාමත් දන්නෙ නෑ.’ සෑම් කීවේ ය.

‘එහෙම ලොකු තීන්දුවක් ගන්න හේතුවක් නැතිවෙන්න බැහැනේ? හොඳ රස්සාවක් හොයාගෙන එන්න ඇති.’

‘නැහැ, නැහැ, මම ලංකාවේ තෘප්තිමත්ව හොඳ රස්සාවක් කළේ. ලංකාවේ Deutsche  ජර්මන් බැංකුවේ  බැංකුකරුවකු ලෙස ලංකාවේ ප්‍රධානම ව්‍යාපාරිකයින් සමගයි මට ගණුදෙණු කරන්න තිබුණේ. එය ඉතා රහස්‍ය, විශ්වාසය මත රැඳුණු රැකියාවක්.  ඊට පස්සෙ ඉරාන් වික්‍රමරත්න ප්‍රධාන විධායක නිලධාරියා  වෙලා හිටි ජාතික සංවර්ධන බැංකුවේ පුද්ගලික බැංකු අංශයේ ප්‍රධානියා විදිහට සේවයට බැදුනා. ඒ කාලයේ  මගේ කාර්ය සගයා වුණ සනත් ජයසූරි තමයි  බැංකුවේ Business Ambassador. ඒ මගේ ජීවිතයේ හොඳ අඩිතාලමක් වැටුණු කාලයක්.’ සෑම් විස්තර කළේ ය.

‘ඉතිං එහෙනං එහෙම අනාගතයක් නැති කරගෙන මෙහාට ආපු එක එක අපරාධයක් කියල ද දැන් හිතෙන්නේ?’ මා ඇසුවේ කුතුහලයෙනි.

‘එදා දවස මට හරියටම මතක නෑ. බොරැල්ල ආයුර්වේදය ළඟ කොටි එක්ක හමුදාව වෙඩි පිට වෙඩි  තියා ගෙන බෝම්බ ගහන කොට මම එතන පසුවෙලා මොහොතයි. ආපසු හැරිලා බලන කොට වෙඩි වැදිලා මැරෙන අය, මර බයේ සීසීකඩ දුවන අය මම ඇස් දෙකෙන් දැක්කා. තව මොහොතක් ප්‍රමාද වුණා නම් මම අද මෙතන නෑ,’ සෑම්  එදා රට තිබූ තත්ත්වය ආවර්ජනය කළේය.

‘ඒ කියන්නෙ නවසීලන්තයට එන්න රටේ යුද්ධ වාතාවරණය බලපෑවා?’

‘එහෙම කියන්න බැහැ. මම ඊට පස්සෙත් පස් අවුරුද්දක් විතර රස්සාව කළා. කොළඹ මෙන්ම  රට පුරාමත් බෝම්බ බිය තිබුණා. ඒ කාලේ ගොඩාක් අය රට අත හැරලා ගියා තමයි. ඒ වගේම විශාල වශයෙන් ජන ජීවිත අවුල් වෙන්නත් පටන් ගත්තා. ඒත්…’ කියූ ඔහුගේ කතාව අතර මග නතර විය.

‘ඇයි ඒත්… කිව්වේ?’ මම විමසීමි.

‘එක දවසක් මමයි මගේ බිරිඳයි කාර් එකෙන් යන කොට හදිසියේ අවාසානාවන්ත ලෙස දරුණු අනතුරකට ලක් වුණා. එදා මට ජීවිතේ ගැන ආශාව අතහැරී තිබුණා. සමහර විට ජීවිතයේ අස්ථීර බව දැණුනු මට රට ගම අතහැර යාම ගැන කණගාටුවක් ඇති නොවන්න ඇති. එහෙම නැත්නම් මගේ හිත වෙනසක් හොයන්න ඇති.’ සෑම් කතාව අහවර කළේය.

‘ඉතිං සෑම්ට M.B.A එකත් එක්ක බැංකු ක්ෂේත්‍රයේ තිබුණු පළපුරුද්දත් නිසා නවසීලන්තයේ ලෙහෙසියෙන් රැකියවක් ලැබෙන්න ඇති නෙව?’ මම ඇසුවෙමි.

‘අනේ නැහැ… රැකියා කීපයකටම ඉල්ලුම් කළත් මට අන්තිමට ලැබුණේ ප්‍රධානතම රක්ෂණ සමාගමක කාර්යාලයක ලිපිගොනු ක්‍රමානුකූල කිරීම,’ ඔහුගේ මුහුණට සිනහවක් නගා ගත්තේ ය.

‘ඉතින් බරපතල රාජකාරියක් නෙව?’ මම පිළිතුරු ලෙස කීවෙමි.

‘ඔව් ඔව් බරපතලයි තමයි. පහළ තට්ටුවේ ගබඩාවේ ඉඳලා ලිපිගොනු මිටි පිටින්ම උස්සගෙන තට්ටු හතරක්ම මාස ගණනක් හෙට්ටුවෙන්න වුණා. හතරවන තට්ටුවේ ලිපිගොනු එකින් එක බලලා තමයි පිළිවෙලකට කාර්යාලය හැදුවේ. හැබැයි නවසීලන්තයේ වෘත්තීයට අදාළ බොහෝ කරුණු මට කියවා ගන්න හැකි වුණේ මෙම බරපතල වැඩේ නිසා.’ සෑම් සිනහවෙමින් තම නවසීලන්ත ජීවිතයේ ආරම්භය කීවේය.

‘ඉතිං ඊට පස්සේ එම දැනුම හොඳ රැකියාවකට යන්න උදව් වුණා කියලද ඔබ කියන්නෙ?’

‘එහෙමම කියන්න බැහැ. නමුත් නවසීලන්තයට ආවේණික ප්‍රශ්න විසදාගන්නා හැටි හා මූල්‍ය ක්‍රමවේදයන් පිළිබඳව ලිපිගොනුවලින් මම ගොනු කරගත් කරුණු පශ්චාත් උපාධියක නිබන්ධනයක් වගේ මගේ දිනපොත පිරිලා තිබුණා. වටිනා අත්දැකීම් ඊට පසු  සෑම රැකියා සම්මුඛ පරීක්ෂණයකදීම ප්‍රයෝජනවත් වුණා වගේම මගේ වෘත්තියේ දියුණුවටත් උදව් වූණා.’ සෑම් පැහැදිලි කළේය.

‘ඔබගේ වෘත්තිය හා තනතුර අපිට කිව්වේ නැහැනේ.’ මම ඇසුවෙමි.

‘මම  2007 දී නවසීලන්තයේ  Westpac බැංකුවටත් පස්සෙ ASB බැංකුවටත්  බැඳුණා.  2011 දී  ASB බැංකුවේ මූල්‍ය උපදේශක වෘත්තියේ ඉහළම ස්ථානයට පත් වුණා. නමුත් වෙනත් පෞද්ගලික සමාගමක් වඩා හොඳ වැටුප් හා දීමනා සහිතව රැකියා අවස්ථාවකට ආරාධනාවක් ලැබුණා.  එම තීරණය මගේ නවසීලන්ත ජීවිතය උඩු යටිකුරු කිරීමට හේතු වුණා.

‘නව සමාගමට රජයේ අධිකාරිය සමඟ ගැටලු ඇති වුණා. පෞද්ගලික ආයතනයට අනපේක්ෂිත ඉලක්කවලට යන්න බැරි වන විට නව බඳවා ගැනීම් තමයි මුලින්ම නැවැත්තුවේ. අන්තිමට එයාලට එකතු වුණු නිසා මම ගොදුරක් වුණා. මගේ 40 වැනි උපන් දිනයේ උදේ මට රැකියාව නොසිතූ මොහොතක අහිමි වුණා.’ ඔහු කතාව නතර කළේය.

‘බොහොම කණගාටුයි වෙච්ච සිද්ධියට. ඊට පස්සෙද තමන්ගෙ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ?’

‘ඒ සිද්ධිය මම කම්පනයට පත් කළා. අත්තෙන් අත්ත‌ට පනින්න ගිහිල්ලා මට වුණ දේ තමයි ඒක. මම අලුතින් හදපු ගේ විකුණලා, ගෙයි බැංකු ණය උකස ගෙවලා දාන්න වුණා. පුතාව පෞද්ගලික අධ්‍යාපනයෙන් අයින් කරලා ආපහු බිම් මට්ටමේ ඉඳන් පටන් ගන්න මට සිද්ධ වුණා. ඇත්තටම පැදුරටම මම වැටුණා. මට පෙනුනේ ඈත පේන හිස් අවකාශය විතරයි. තවත් කෙනෙකු මත්තේ ජීවත් නොවෙන්න සිතුවිලි වැඩුනේ මෙම දුෂ්කර කාලයේ.’ ඔහුගේ කටහඬට නව පණක් එක් වී තිබුණි.

‘ඉතිං ‘Sam Kodi’ කියලා මූල්‍ය උපදේශක  ආයතනයක් පටන් ගත්තේ ඊට පස්සේ වෙන්න ඇති?’

‘ඔව්. ‘Sam Kodi’ සන්නාමය යටතේ මගේම ව්‍යාපාරයක් ආරම්භ කළා. නවසීලන්තයෙහි ඉහළම මූල්‍ය උපදේශකයෙකු ලෙස එතැන් සිට සෑම වසරකම බොහෝ සම්මාන දිනා ගන්නත් මම සමත් වුණා.’ ඔහු එසේ කීවේ මඳ සිනහවක් ද සමඟිනි.

‘සම්මාන කිව්වේ… ඒ ගැන විස්තර දැන ගන්න ආසයි.’ මම තව දුරටත් විමසිලිමත් වුණෙමි.

‘මම රටවල් 80 ක සමාගම් 700 කට වැඩි ගණනකින් යුක්ත MDRT -Million Dollar Round Table- (The Premier Association of Financial Professionals) කියන ජාත්‍යන්තර  මූල්‍ය හා රකෂණ වෘත්තීයකයන්ගේ සංගමයේ සාමාජිකයෙක්. මෙම සංගමයේ ඉහළම සාමාජිකත්වය ‘Top of the Table’ කියා හදුන්වනවා. ඒ සදහා  ඒ කාලයේ මගේ සේවය ලබාගත් ආයතනවල වාර්ෂික ව්‍යාපාරික පිරිවැටුම ඩොලර් මිලියනයක්වත් වෙන්න  ඕන.  මම ඒ ඉහළම සාමාජිකත්වයේ හොදම 1000 අතරට පත්වෙලා තියනවා. ඒ වගේ ව්‍යාපාරික පිරිවැටුමක් පෙන්වන ආයතන මගේ සේවාව ලබාගන්න නම් මා ගැන හොද විශ්වාසයක් ඇති කර ගන්න ඕනා. වෘත්තීයමය මිමි අනුව මගේ සේවය සැලසිලා තියෙන්න ඕනා. ඉතිං ඒ කාර්යය කරන්නට සමත් වෙලා තියවා කියලා මම සන්තෝෂ වෙනවා.’

ලාංකිකයෙක් විධියට අපිත් ආඩම්බර වෙනවා ඔබගේ ධෛර්යය හා ප්‍රගතිය ගැන. ඉතින් ඔබේ සේවය කවුරු වෙනුවෙන්ද? ඉලක්කය?

‘සෑම් කොඩි සන්නාමය 2022 දී ‘ස්මාර්ට් උපදේශක (Smart Advisor) ලෙස වෙනස් කළා. ඔබේ වත්කම් ආරක්ෂා ගැනීමෙන් පටන් අරන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන තෙක් පියවර හයකින් මූල්‍ය සැලසුම් ආකෘතියක් ගොඩනැගීම ගැන කරුණු මගේ වෙබ් අඩවියේ ඉදිරිපත් කරලා තියනවා. (https://smartadviser.co.nz/).  මේ ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මගේ සේවය සලසන්න මම සූදානම්.’

ඔබගේ සේවාව අපට කොයි ආකාරයෙන් වැදගත් වෙනවා ද?

‘සම්පූර්ණ මූල්‍ය සැලසුම්කරණය පිළිබඳ විශේෂඥතාවක් දක්වමින් තැරැව්කරුවන්, දේපළ වෙළඳාම් නියෝජිතයන්, නීතිඥයින්, ගණකාධිකාරීවරුන් සහ වෙනත් වෘත්තිකයන් සමග  තරඟයක් නොකර ඔවුන්ගේ ගණුදෙනුකරුවන් රැකබලා ගැනිම තමයි මම කරන සේවය.’ ඔහු විස්තර කළේය.

ඉතින් කොහොමද ලෝකය පුරා පැතුරුණු ව්‍යවාසකයින් ඔබගේ සේවය ලබා ගන්නේ? ඒක මහ බරපතල කාරණයක් නේද?

‘ලෝකයේ සෑම වෘත්තීයක් වගේම මූල්‍ය සේවාවද වේගයෙන් අලුත් තාක්ෂණයට යොමු වෙලා. උපදේශක සේවාවත් ඒ වගේ වෙනස් වෙන්න අවශ්‍යයි. මේ වෙනුවෙන් ඉදිරි මාස 3-6 තුළ වෙනම සමාගම් දෙකක්  අපි දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් එකක් ‘ A-.Plan: -‘Face Tomorrow Stronger’ මේක නවසීලන්තයේ  වඩාත්ම ප්‍රවේශ විය හැකි පුද්ගලික සහ ගෘහස්ථ මූල්‍ය කළමනාකරණ විසඳුම් ලැබෙන මෘදුකාංගයක්. අද ලෝකය ඩිජිටල් වෙලා. ඒ වගේම ලෝකය  පුංචිවෙලා. නවපරපුර අන්තර් ජාලය හරහා කටයුතු කරන්න පෙළඹිලා ඉවරයි. ඒ නිසා මෘදුකාංගයක් නවසීලන්තයට පමණක් සීමා වෙන්න බෑ.

අනිත් සමාගම ‘A Perform’.  වැඩි විස්තර මගේ වෙඩ් අඩවියේත්  ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ මාධ්‍යවලත් ශ්‍රී ලංකන්ස් පත්තරේත් ඉක්මනින් පළකෙරෙනවා.’

‘ඔබගේ ජයග්‍රහණයන් ගැන අපි සතුටට පත් වෙනවා. මෙම මෘදුකාංග ඉතා සාර්ථක වනු ඇතැයි අපි අදහස් කරනවා. හොදයි, මොනවද අපේ පාඨකයින්ට ඔබ දෙන පණිවිඩය?’

‘අපේ සහජ දක්ෂතා නවසීලන්තයේ දී කළඑළි බහින්න සංක්‍රමණිකයින් විධියට අපට තිබෙන බාධක හා විසඳුම් හොයාගෙන පළමු පියවර තබන්න. ඒ සඳහා මම ළඟට එන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. පළමුව, හරි උපදේශනයක් නැතිව ගොඩවෙන මාර්ග සැලසුම් කිරීම දුෂ්කරයි යන කාරණය තේරුම් ගන්න.’ ඔහුගේ නිහතමානී ඔවදන වීය.

‘ඉතිං ඔබ මොනවද නවසීලන්ත ලාංකික ජනතාව දැනුවත් කිරීමට කරලා තියෙන්නෙ?’

‘ගොඩාක් දේ කරනවා. උදාහරණයක් විධියට ශ්‍රීLankaNZ පුවත්පත මට ආරාධනාවක් කළා එය පටන් ගත්ත කාලේ. මම කැමති වුණා ලාංකික අනන්‍යතාවයක් ඇති මෙම සමාජ මෙහෙවරට උදව් කරන්න. මම මුළු පිටුවකින් දැන්වීම් අනුග්‍රහය දුන්නා. එදා සිට  අඛණ්ඩවම මම ඒ අනුග්‍රහය දෙනවා. ඒත් මම මගේ ව්‍යාපාරය විකුණන දැන්වීමක් වෙනුවට ජනතාව දැනුවත් වන ලිපි පෙළක් තමයි වියදම් කරලා පත්තරේට දැම්මේ.’

කරන්නට යෙදුන ආගන්තුක සත්කාර  හා අප වෙනුවෙන් වැය කළ කාලය වෙනුවෙන් ස්තුති කරමින් ස්ව උත්සාහයෙන් හා වෘත්තීයමය කුසලතාවයෙන් බාධක ජයත් තවත් ශ්‍රී ලංකිකයෙකුගෙන් හා රංගිටෝටෝ කදුවැටියේ දර්ශනයෙන් ද අපි සමුගතිමු.

By Kusum Edirisinghe – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.