fbpx
11.5 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගරාජයක පටන්ගත් දැවැන්ත මෙහෙයුම… – ඉරේෂ් තෙන්නකෝන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ආලින්දයෙන්, ගෙමිදුලින්, මුළුතැන් ගෙයින්  වැඩ පටන් ගෙන විස්කම්  දැක්වූ හපන්නු  බොහෝ වෙති. ඔහු පටන් ගත්තේ ගරාජයෙනි. ඒ අපේ කෙනෙකි. මේ ඔහුගේ කතාවය.

නවසීලන්තය කියූ සැණින් ඔහුගේ මතකයට නැගුණේ නිල්වන් තණ පිට්ටනි, මනස්කාන්ත කඳු පන්ති ගැවසීගත් සුවදායක පරිසරයක් වූයේය. ලොව හොඳම ගණයේ කිරි පිටි, නවසීලන්ත ක්‍රිකට්, රග්බි පමණක් නොවෙයි, ඔහු කුඩා කාලයේ රස විඳි   රොබින්සන් අන්දරය හා විලියම් ටෙල් වැනි රූපවාහිනී වැඩසටහනුත් මෙහි නිෂ්පාදිත ලොව ජනප්‍රියම වෙනත් වැඩසටහන්වලින් ද නවසීලන්තය ගැන සිහිනයක් ඔහුගේ සිතට තදින් කා වැදුණේ එයර් ලංකා සමාගමේ නිලධාරියකු ලෙස ඔහු  සේවය කරන අවධියේය.

තම කුඩා අවධියේදීම තාත්තා ජපානයේ රැකියවක නිරත වු නිසා මුදල් හා තෑගි  ඔහුට එවූ  අතර වාහන කීපයක් ඒ අතර විය. තමන්ගේ වයස අවුරුදු 13 වයසේදීම අම්මා සමග එකතුවී සංචාරකයින් සඳහා ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ඔහුට සිදු විය. පාසැල් ඉගැනීමෙන් පසු ශ්‍රීලංකා ගුවන් සේවයයේ රැකියාවකට ගිය ද ඔහු තම ව්‍යාපාර අමතක කළේ නැත. නමුත් තම විවාහයෙන් පසු තමන්ට සුන්දර නවසීලන්තය ගැන මැවූ සිහින සැබෑ කර ගනිමින් සියලුම ව්‍යාපාර වලින් සමුගෙන 2008 වසරේ මෙම යුවල නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ පදිංචියට පැමිණීමට සමත් වූහ.

නවසීලන්තය ලොව දූෂණයෙන් අඩු සාමකාමී මනස්කාන්ත රටක් වුවද මෙම යුවලට ජීවිතය පහසු වූයේ නැත. කිඹුලෙකුට වතුරේදී ඇති ජවය ගොඩබිමක දී ලැබෙන්නේ නැති බව ඔහු දැන ගෙන සිටියේය. එබැවින් නවසීලන්තයට ඔහු හුරු විය යුතු බවත් තමන්ට ජවය ලැබෙන්නේ එවිට බවත් ඔහුගේ පිළිගැනීම විය.

මේ සඳහා කෙටි සුමට මාර්ග තිබිය නොහැකිය. ඒ සඳහා දිරිය ඇප කැපවීම දුෂ්කරතා ජය ගැනීම තම අභියෝග කර ගත් ඔහු  එම ගමන් මාර්ගයේ අවුරුදු අටක් ගත කළ ඔහු අවසානයේ එක් සන්ධි ස්ථානයකට පැමිණියේය.

2016  වසරේ  වෘත්තියෙන් දේපල වෙළඳාම්  ඒජන්තවරයකු ලෙස තම වෘත්තිය ආරම්භ කොට අවුරුදු හයක් ඇතුළත තමන් පෞද්ගලිකව අලෙවි කළ ගෙවල් සංඛ්‍යාව 258 ක් විය. එය නවසීලන්තය තුළ සම්මාන රැසක් හිමිකර ගැනීමට තරම් වාසනාවන්ත වූයේය.

ඔහුගේ ඊළඟ කඩයිම වූයේ 2019 වර්ෂයයි. ඒ වන විට තමන් නවසීලන්තයේ හරි හම්බකරගත් මුදලින් තවත් දේපළක් මිල දී ගැනීමට තීරණය කර තිබුණි. නමුත් ඔහුගේ එම ආශාව වෙනස් කිරීමට ඉන්දියානු ජාතික ගැරී ඔහුට උදව් විය. අවසානයේ දේපළක් වෙනුවට ඔහු මිල දී ගත්තේ අභියෝගාත්මක හා අවදානමක් ඇති ව්‍යාපාරයකි. ඒ අනුව ඔවුන්  ලොව ප්‍රධාන පෙළ නිවාස වෙළදාම් ආයතනයක් වන “Century 21″නැමැති ශාඛාවක් නවසීලන්තයේ මිල දී ගත්තේය. එය පවත්වා ගෙන යාමට කාර්යාලයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් මාසයකට විශාල මුදලක් අවශ්‍ය බැවින් ව්‍යාපාරයක් තනිව ආරම්භ කිරීම ශ්‍රී ලාංකිකයෙකුට කොහොමත් දුෂ්කර බව ඔහු වටහා ගෙන තිබිණ. එසේම වසර කීපයක් යන තෙක් තම සමාගම පවත්වා ගෙන යාම ඉතා අසීරු  බැවින් ඊළඟ පියවර ගැන තීරණයක් ගත යුතුව තිබිණ. අවසානයේ එක රැයක නිදි වර්ජිතව තම හිතට වද දුන් එම ගැටළුව නිරාකරණය කර ගත්තේ අලුයම්වෙද්දීය.

නවසීලන්තයේ Trade Me අයිති කරු තම ව්‍යාපාරය පටන් ගත්තේ තමන්ගේ ගරාජයේ. අද එය බිලියන සිය ගණනක් වටිනවා. ලෝකයේ එවන් ව්‍යාපාරිකයෝ ඉන්නවා එහෙම පටන් අරගෙන අද ලෝකයේ බලවතුන් වෙලා. මම මොකටද ලැජ්ජ වෙන්නෙ? මමත් පටන් ගන්නවා මගේ කොම්පැනිය ගරාජ් එකේ. ඔහු අවසන් තීන්දුව ගෙන සුව නින්දට වැටුණේය. අවසානයේ ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා පෙ.ව 8.41 ට කාර්යාලය විවෘත කරන විට සමාගමට අලුතින් බඳවාගත් තවත් වෘත්තීය විකුණුම්කරුවන් හතර දෙනෙකු ද එයට සම්බන්ධ වී තිබුණි.

එදිනම සමාජ මාධ්‍ය  හා ජනමාධ්‍යවල සංසරණය වූ වීඩියෝ ප්‍රවෘත්ති හා තම දැන්වීම්වල ඉතා අනර්ග නිමාවක් තිබීම ඔහුට මහත් ධෛර්යයක් විය. එය කිසිවෙකුටත් මෙම සමාගම ගරාජයක් යැයි සිතීමට ඡායාරූප ශිල්පියා ඉඩ දී තිබුණේ නැත.

නමුත් කාර්යාලයේ සේවකයා ද ලිපිකරුවා ද පිළිගැනීම් නිලධාරියා ද රියදුරා ද පරිගණක නිලධාරියාද වූ ඔහුම ඒජන්තවරයකු ලෙසද එම ඉතා දුෂ්කර කාලය ගෙවා දමා 2020 වනවිට  පැපකුරා නගරයේ අංගසම්පුර්ණ කාර්යාලයක් ආරම්භ කිරීමට සමත් විය. තම සමාගම මෙම අවුරුදු තුනක කාලය තුළ ගෙවල් 300 ඉක්මවා විකිණීමට සමත්විය. එම සමාගමේ  ‘Australasia’ සාගර කලාපයේ පිහිටි රටවල් සියල්ල අතරින් පස්වන ස්ථානයට අවුරුදු තුනක්ම පත් වීමට හැකිවිය. ඊට අමතරව මෙම කතා නායකයා ලෝකයේ පිහිටි සමාගම් අතර හොඳම දේපළ වෙළඳාම් ඒජන්තවරයකු ලෙස පිට පිටම 2020 හා 2021 වර්ෂවල එම  සම්මාන ශ්‍රේණියට අයත් වූයේය. එවැනි සම්මානයක් හිමිකර ගෙන ඇත්තේ 1% ටත් අඩු අතලොස්සකි.

අද තම සමාගමෙහි කාර්ය මණ්ඩලය 25 දෙනෙකුට ආසන්නය. ඔවුන් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමත් තම සේවාදායකයින්ගේ විශ්වාස දිනා ගැනීමත් අද ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙන ඒමට උදව් වූ බව මෙම කතාවේ චරිතය වන ඉරේෂ් තෙන්නකෝන් අප පුවත් පතට හෙළි කළේය.

අප ඔහු හමුවීමට ඕක්ලන්ඩ් නගරයට ඈතින් පිහිටි ඩූරි අනු නගරයක මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන සුඛොපභොගී නව පන්නයේ විශාල නිවස වෙත ගමන් කළේ හවස් වරුවකය. ඔහු ඇඳි පුටුවකට බරවී සැහැල්ලු සිතින් ඈත කුඩාවට පෙනෛන ඕක්ලන්ඩ් නගරයත් නිමක් නැති කොළපාට තණ හා එළවළු ගොවිපලවල් යායවල් දෙසත් බලා සිටියේය. අප එතැනට යනවිට උණුසුම්ව පිළිගත් ඉරේෂ් නිවසට මඳක් ඈතින් යාබදව ඇති තමගේ දෙමහල් කාර්යාලය වෙත අප රැගෙන ගියේය.

ඒ යන අතර තුර මම  ඉරේෂ්ට අපගේ පුවත් පතක් දිගු කළෙමි.

අපේ පත්තරයක් අරන් ආව ඔයාට දෙන්න..

නෑ නෑ අක්කෙ මේ පත්තරේ මම හැමදාම ගන්නවා. කියවනවා. ලංකාවේ සඟරාවක් කියවනවා වගේ මට දැනෙන්නෙ. අනික නවසීලන්තයේ ජීවත් වන ලාංකිකයින් වෙනුවෙන් මෙහෙම එකක් තිබීමත් නොමිලේ බෙදා දීමත් ලෙහෙසි නෑ. අනෙක අපේ අනන්‍යතාවයක් මෙම පුවත් පතේ මම දකිනවා.ඔහු නිරහංකාරව කීවේය.

බොහොම ස්තුතියි ඔබට, මම කෘතඥ වූයෙමි.

එම උප කාර්යාලය ඔහුගේ නගරයේ ඇති ප්‍රධාන කාර්යාලයට වඩා දෙවැනි නැත. නවීන තාක්ෂණික උපාංග වලින් සමන්විත වී ය. ඉහළ මාලයට ඈතින් පිහිටි මනරම් කඳුවැටි මීදුමින් පිරී ඇති සැටි අතිශයින් මනරම් දර්ශණයක් විය. එතැනම පහළ ගරාජයක නවපන්නයේ වටිනා කාර්, ජීප් හා බස් රැසකි. ඒ අතර අවුරුදු සිය ගණනක් පැරණි ඉතාවටිනා තවමත් පණ ගැන්වන කාර් දෙකකි.

මොකද මෙච්චර වාහන ගොඩගහ ගෙන?. මම ඉරේෂ් ගෙන් ඇසුවේ වාහන වෙළඳාමක් පටන් අරගෙන විය යුතු යැයි සැකයෙනි.

නැහැ අක්කේ, පුංචිකාලේ ඉඳලම මම වාහනවලට ආසයි. ඒ නිසා මගේ හිත ඉල්ලන වාහනයක් ගැනීම මගේ හීනයක් වෙලා තිබුණේ. ඉතිං අපි දුක්විඳලා හරි අපේ හීන සැබෑ කර ගන්න ඕන.ඔහු එය කියන්නේ අපටත් ආදර්ශයක් ඉතුරු කරමිනි.

මොකක්ද අර කළුපාට වාහනේ? ඒක ටිකක් ආගන්තුකයි අපිට. මගේ ඇස ගැටී තිබුණේ සුඛොපභෝගී මොටර් රථයකටය.

ඒක බෙන්ස් කොම්පැනිය හදාපු අලුත්ම මොඩලය. ගිය අවුරුදේ ඒ  සමාගම ගෙනාපු පළමු මොඩලය. ඒක මිල දී ගන්න මම මගේ කොම්පැනිය පටන් ගත්ත වියදමට වඩා වියදම් කළා. මගේ ජීවිතේ සමහර දිනවල පැය 12 ක් විතර මම ඉන්නෙ කාර් එකේ. ඉතිං ඒක සැප පහසුව ආරක්ෂාව සෞඛ්‍යය ගැන හිතලා ගත්ත තීරණයක්. ඉරේෂ් තව අපට වැදගත් දේ පැහැදිලි කළ ද ඒවා ප්‍රසිද්ධ කිරීමට අකමැති විය.

ඒක හරි, ඔය හීනවල කෙලවරක් නැහැ නේද? මම ඔහුගෙන් හරස් ප්‍රශ්නයක් ඇසුවෙමි.

අක්කා හරියට හරි. හීන බැඳීම්වල කොටසක්. අපි සසර කෙටි කරගන්න හීන වලින් ඈත් වෙන්න ඕන. දැනටමත් මම ලංකාවේ සුප්‍රසිද්ධ බෞද්ධ ආයතනවලට සම්බන්ධවෙලා උදව් පදව් කරනව. ඊට අමතරව ලංකාවේ සිදුවන ඛේදවාචකවල දී ආහාර සහ සහනදායී භාණ්ඩ ට්‍රක් වලින් බෙදා හරිනවා. ඒවා ප්‍රසිද්ධිය බලන් කරන වැඩ නෙවෙයි,‘ යි  කියමින් ඉරේෂ් අපිව කැඳවා ගෙන ගියේ ඔහුගේ නිවසේ විසිත්ත කාමරයට. ඒ යන විට ඔහුගේ බිරිඳ මධූෂා හා චුටි දුව කයිලී අපට රසවත් තේ මේසයක් සකස් කර තිබුණි.

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසැලේ අධ්‍යාපනය ලැබූ ඔහු තෙන්නකෝන් සහ ප්‍රියදර්ශනී යන දෙපළගේ කණිෂ්ඨ පුත්‍රයා වූයේය.

සාකච්ඡා කළේ – කුසුම් එදිරිසිංහ – ඕන්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.