බෞද්ධ දර්ශනයේ මූලික අභිප්‍රාය වන්නේ මෙලොව ජීවිතය වඩාත් යහපත් අයුරින් ගත කිරීමත් එනිසාම පරලොව සුගතිගාමීව අවසානයේ නිවන් අවබෝධය සිදුකර ගැනීමයි. මෙලොව ජීවිතය යහපත්ව ගත කිරීමේ දී ඒ සඳහා අධ්‍යාපන ක්‍රියාවලිය ප්‍රබල මෙහෙයක් ඉටු කරනු ලබයි. ‘අධි’ යන උපසර්ග පදය හා එක්වන ‘ආපන’ නාමපදය අධ්‍යාපනය යනුවෙන් ප්‍රකාශවේ. අධි යනු ඉතා විශිෂ්ඨ,ප්‍රබල, සුපිරි යන අදහස ලබා දෙන්නෙකි. ආපන යනු ආහාරයයි. එනිසා සමාජ පැවැත්ම සඳහා සුපිරි ආහාරය වන්නේ අධ්‍යාපනයයි.
අධ්‍යාපනයේ මූලික කොටස් දෙකකි. ඒවා සාරධර්ම සහ කුසලතා ලෙස හඳුනාගත හැක. මෙම සාරධර්ම හා කුසලතා අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින අතර එකිනෙකට බලපෑමක් ද සිදුකරනු ලබයි. හුදෙකලා සාරධර්මවලින් හෝ කුසලතාවලින් සමාජ ක්‍රියාවලිය වඩාත් යහපත් අන්දමින් ගොඩනංවන්නට නොහැක. යහපත් සමාජයක් නිර්මාණය වීමට මෙම කරුණු දෙකම සම සමව අවශ්‍ය බව සමාජ විද්‍යාවේ ඉගැන්වෙන අතර එය ලොව ප්‍රායෝගික අත්දැකීම ද වේ.
සමාජ පද්ධති න්‍යායට අනුව ආගම දහම සිරුරේ අපිරිසිදු වන වාතය පිරිසිදු කරන ක්‍රියාවලියට සමාන වූවක් සිදු කරනු ලබයි. නොඑසේනම් බුදු දහම සමාජ ක්‍රියාවලිය වඩාත් යහපත්ව පවත්වා ගෙන යාම සඳහා මිනිසාගේ සිතුවිලි පවිත්‍ර කරනු ලබයි. සිත එකඟ කිරීම, පිරිසිදු කිරීම, ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය අවබෝධය ලබා දෙන භාවනා ක්‍රම බුදු දහම උගන්වයි. මෙය ඉතා සෘජුවම අධ්‍යාපන ක්‍රියාවලිය තුළ සිදු වන්නකි.
මිනිසාගේ පැවැත්ම සඳහා සිදුවන පාරිභෝගික හා පාරිභෝජන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සේවා හා නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ මිනිසා විසින්මය. මේ සඳහා මානවයාට අවශ්‍ය අවබෝධය නොඑසේනම් ඒ සඳහා වූ මුවහත් බව ලබා දෙන්නේ අධ්‍යාපන ක්‍රියාවලියයි. ඒ සඳහා ක්‍රියාකාරීවන සියලුම දෙනා බුදු දහමට අනුකූලව ඉගැන්වෙන සියලුම සාරධර්ම මත පිහිටිය යුතුව ඇත. එසේ නොවූ තැන්හි සේවා හා නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම ඊට අදාළ ආනුශංගික තත්ත්වයන් සියල්ල විකෘතිව පවතී. එනිසාම මිනිසාගේ පාරිභෝගික හා පාරිභෝජන කටයුතු සියල්ල ද අකර්මණ්‍ය වේ. එමගින් සමාජය පුරාම නොසන්සුන් බවක් ඇතිවෙයි.
අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් සමස්ත සේවා හා නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය මානව සම්පත නිසි පරිදි සකස් නොවූ කල්හි විශ්ව නියතිය උල්ලංඝනය වේ. එවිට සමස්ත සමාජයම බිඳවැටේ. අප වර්තමානයේ ඒ සඳහා මුහුණ පා සිටින්නෙමු. මානව පැවැත්මට අදාළ සේවා,නිෂ්පාදන මෙන්ම පාරිභෝගික හා පාරිභෝජන ක්‍රියාදාමය කුමන ක්‍රමයකින් හෝ විකෘති වන විට එහි බලපෑම සමස්ත සමාජයේ සියලුම උප අංශයන් කෙරෙහි ඇතුළු වේ. ඒ සඳහා මිනිසා හිමිකම් කියන සිතුවිලි අදහස් අන්තර් පුද්ගල සබඳතා සියල්ලම අකර්මණ්‍ය වෙයි. ඉවසීම, දයාව, කරුණාව, අනුකම්පාව, මෛත්‍රිය, කළගුණ සැලකීම සියල්ල මිනිසාගෙන් ඈත්වෙයි. මෙසේ ඈත්වන විට අන්තර් පුද්ගල සබඳතා ඉතාමත් අශෝභන අයුරින් දුර්වර්ණ වෙයි. අනාගත යහ සමාජය සඳහා අවශ්‍ය පසුබිම්ගත කරුණු ද දුබල වෙයි.
අනාදිමත් කලක සිට ශ්‍රී ලංකාව බුදු දහම මුල්කරගත් අධ්‍යාපන ක්‍රියාවලියකින් පෝෂණය විය. එහෙත් විදේශීය ආක්‍රමණ සමඟ බටහිර අධ්‍යාපන ක්‍රමය නිසා අධ්‍යාපන ක්‍රියාවලියට අයත් සාරධර්ම කොටස ඌනතාවයට පත්විය. මේ හේතුව සැලකිල්ලට ගත් බෞද්ධ නායකත්වය දහම් පාසල් ආරම්භ කර ඇත. එහෙත් එමගින් මානවයාට අවශ්‍ය සාරධර්ම කෙතරම් දුරට ග්‍රහණය වනවාද යන්න විමසා බැලිය යුතුය.
“Britannica” නම් ඉංග්‍රීසි ශබ්දකෝෂය අධ්‍යාපනය යන්නට විවරණයක් සපයමින් කියා සිටින්නේ මිනිසුන්ගේ ආකල්ප අදහස් ජීවිත ක්‍රියාවලියට අදාළ සියලුම දේ නැතහොත් සංස්කෘතිය පරපුරෙන් පරපුරට ගෙන යන්නේ අධ්‍යාපන ක්‍රියාවලිය බවයි. ශ්‍රී ලංකාව පිළිබඳ සලකා බලනවිට 70% ක් බෞද්ධ ජනයා වෙසෙන නිසා ශ්‍රී ලාංකික සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියකි. ඒ බව අනෙකුත් සුළු ආගම් සියල්ල ද පිළිගනී. ප්‍රබුද්ධයන් බුද්ධිමතුන් හා සැබෑ බෞද්ධයන් අතර ආගමික විවාදයක් නැත. මෙයින් අප හඳුනා ගන්නේ සමාජය පවත්වා ගෙන යාමට අවශ්‍ය පෝෂදායි ආහාරය වූ අධ්‍යාපන ක්‍රියාවලිය පූර්ණ වශයෙන් බුදුදහමේ ඉගැන්වෙන සමාජ සාරධර්මයන් මත පදනම් වී ඇති බවයි.
By Dr. Wimal Dissanayake – Sri Lanka
ආචාර්ය විමල් දිසානායක
ග්‍රාම සංවර්ධනය, ප්‍රජා සංවර්ධනය, දිලිඳු බව පිටුදැකීම, ක්ෂුද්‍රමූල්‍ය ක්‍රියාවලිය, ප්‍රජා සංවිධාන හා කුඩා කණ්ඩායම් ක්‍රමවේදය මෙන්ම සහභාගිත්ව සංවර්ධනය හා සමාජ සජීවිකරණය පිළිබඳ පුහුණු හා පර්යේෂණ නිලධාරියකු සහ ජේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස දශක පහකට ආසන්න කාලයක් කටයුතු කර ඇත. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පුහුණු හා පර්යේෂණ ආයතනයක් පවත්වාගෙන යන අතර කාර්යබද්ධ පර්යේෂණ ක්‍රමවේදය තුළ ප්‍රධාන පෙළේ කාන්තා සංවිධාන ගණනාවක්ද දකුණු පළාතේ බිහිකර ඇත.
සංවර්ධනය හා කාන්තාව පිළිබඳ මෙන්ම කාර්යබද්ධ පර්යේෂණ පිළිබඳ දේශීය විදේශීය සරසවි කිහිපයක උසස් අධ්‍යාපන නිබන්ධන උපදේශකවරයකු වන ආචාර්ය විමල් දිසානායක ජ’පුර සරසවියේ බාහිර ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි.