- නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි – නලියයි හඳුන් දිවි නිය පහුර නලියයි
- ‘විනිසුරු අසුනේ සත්පුරුෂ ප්‍රාණී, කලුරෙද්දෙන් ඔතලා , අපරාදය හෝ ඝාතකයා හෝ විනිවිද නොපෙනේ’ කියලා”
- ‘මුණිවරයා, සමාව දෙන්නේ දෙවියෝ.’ හිස් මිනිස්සු මුණි බණ පසෙකලා , ඊට වඩා පහළ කොට්ටාසයක් වන දෙවියන්ගේ පිහිට පතනවා”.
ප්‍රියානන්ද විජේසුන්දරයන් විසින් රචිත ගීත ගැන ඔහුගේ මතකයන් අවදි කළ ලිපි පෙළේ පළමු කොටස ලියලා ඉවර කරලා හැරෙනකොටම ලාංකේය ගීත ක්ෂේත්‍රයේ තවත් පතාක යෝධයෙකු මුහුණටම හමුවුණා. ඒ කව්රුත් නෙමෙයි මියුරුම මියුරු අරුත්බර ගීත රැසක් ලාංකේය ගීත ක්ෂේත්‍රයට දායාද කළ ලුෂන් බුලත්සිංහල ශූරීන්. ඉතින් අද පටන් මේ පිටුව සරසන්නේ බුලත්සිංහලයන් විසින් රචිත ඔහුගේ ගී හා බැඳුනු මතකයන් ගොන්නක්. සුන්දර සැන්දෑ යාමයක ඔහු සමග දොඩමළු වෙන්න මම මුලින්ම තෝරාගත්තේ ඔහු විසින් චිත්‍රපටයකට ලියූ තේමා ගීතයක්. ඒ උදයකාන්ත වර්ණසූරිය විසින් නිර්මාණය කෙරුණු ගිනි අවි සහ ගිනිකෙළි චිත්‍රපටයේ තේමා ගීතය.
“මේ චිත්‍රපටියට පාදක වුණේ අනුර හොරෙෂෂ් විසින් රචනා කළ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ පොත. උදයකාන්ත දවසක් මට කතාකරලා කිව්වා චිත්‍රපටයක් කරනවා පුළුවන්ද ගීතයක් ලියලා දෙන්න කියලා. ඇත්තටම මම චිත්‍රපට ගීත රචකයෙක් නෙමෙයි. එකට වෙනම හැකියාවක් දක්ෂතාවයක් තියෙන්න ඕන. මම ගීත ලිව්වට ඒ ක්ෂේත්‍රයේ එච්චර සැරිසරලා නැහැ”.
“නමුත් ඔබ සම්මානිත චිත්‍රපට ගීතරචකයෙක්”?
“ඔව්, මම 1988 -89 වගේ කාලේ සිරිමැදුර චිත්‍රපටියට ලියපු ගීතයට සම්මාන හම්බුණා. නමුත් මම නිතර නිතර චිත්‍රපට ගීත ලියල නැහැ, මන් කිව්වේ, කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, ධර්මසිරි ගමගේ වගේ. ඒගොල්ලෝ බොහොමයක් චිත්‍රපටවලට ගීත ලියන, ඒ සඳහා විශේෂිත හැකියාවක් ඇති රචකයෝ. නමුත් මම එහෙම නෙමෙයි. 1989 සිරිමදුර චිත්‍රපටියේ ඔබ ඔය කියන සම්මානය ලැබුණු ගීතය ලිව්වට පස්සේ චිත්‍රපටි ගීතයක් ලිව්වේ 1992 වසරේ විතර, මී හරකා චිත්‍රපටියට. ඊටපස්සේ 97-98 වගේ කාලේ මේ ගීතය. තව එකක් ලිව්වා, ගීතයක්ම නෙමෙයි, සිසිල ගිනිගනී චිත්‍රපටියට කවි කොලයකට කවි. ඒ වගේ කීපවිටකදී හැරෙන්න මම කළා ක්ෂේත්‍රයේ හිටියට චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියේ නෑ”. බොහොම සංයමයෙන් යුතුව බුලත්සිංහලයන් මට පැහැදිලි කළා.

“උදයකාන්ත කිව්වා ගීතයක් ලියලා දෙන්න කියලා, ඊටපස්සේ මොකද වුණේ?”
“ගීතය ලියලා දෙන්න කියලා මට චිත්‍රපටියේ පිටපත දුන්නා. ඒක හරි පිටුවහලක් වුණා ගීතය චිත්‍රපටියට ගැළපෙන විදියට ලියන්න. ගීතය ජනප්‍රිය වෙන්නත්, තවමත් මිනිසුන් අතර රැදෙන්නත් එක හේතු වෙන්න ඇති”.
“අනිත් කාරණය තමයි මේ ගීතයේ සංගීත නිර්මාණය කේමදාසයන්ගේ. සාමාන්‍යයෙන් කේමදාසයන් ගීතයක් වෙනස්කරනවා, වෙනස්කරනවාමයි. මට පොඩි අමිහිරි අත්දැකීමකුත් තියෙනවා ඒ ගැන. සිරිමැදුරේ ගීතයත් වෙනස් කළා. හැබැයි මට කියලා මම ලව්වමයි.
“එතකොට මොකක්ද අර අමිහිරි අත්දැකීම”, මම ටිකක් දෙගිඩියාවෙන් ඇහුවා.
“ආ ඒකද? එක චිත්‍රපටියකට ලියපු ගීතයක් මගෙන් අහන්නෙත් නැතුව සෑහෙන්න ප්‍රමාණයක් වෙනස් කරලා තිබුණා. හැබැයි එතකොට මම කේමදාසත් එක්ක සමීපව වැඩකරලා තිබුණේ නෑ. මේ ගීතය, ඒ කියන්නේ ‘ගිනි අවි සහ ගිනිකෙළි’ ගීතය ලියන කාලය වෙනකොට අපි අතරේ හොඳ මිත්‍රත්වයක් තිබුණා. කොහොමහරි මේ ගීතයේ කිසිම තැනක් වෙනස්කරන්න කියලා මට කිව්වේ නෑ. එකත් ටිකක් පුදුමයක්”. බුලත්සිංහලයන් එහෙම කිව්වේ සිනාවෙමින්.

“ගීතය දෙසට හැරුනොත්, ඔබ මේ ගීතයේදී නපුරු විසකුරු සත්තු කීපදෙනෙක් අරගන්නවා. ගීතය පටන් ගන්නේ දිවිමකුළුවෙකුගෙන්”.
“ඔව්, පිටපත කියෙව්වහම ගීතයට හොඳ අනුප්‍රාසයක් ලැබුනා. අසූව දශකයෙන් පසුව බිහි වී වර්ධනය වුණු පාතාලය ගැන තමයි චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ හා බැඳුනු දේශපාලනය. මේ සිද්ධි මම මුහුණ දුන්නු පෞද්ගලික අත්දැකීම් නෙවෙයි. නමුත් අපිට ඇහැට දකින්න කනට අසන්න තිබුණු දේවල්. ඉතින් අර සත්තු ගැන කිවොත්; දිවිමකුළුව, කියනවනේ ඌ ඇසිපිය ගහන්නේ නෑ කියලා, බොහොම නිසොල්මනේ බලාගෙන ඉන්නවා. අවස්ථාව ආපුගමන් ඇසිපිය ගහනවටත් වඩා වේගෙන් දෂ්ඨ කරනවා. අඳුන් දිවිය, කළු කොටියත් එහෙමයි. ඌව දැක්කහම ගොඩක් බය හිතෙනවා. ගුවන් විදුලියට එන්න පෙර මම අඹේවෙල ඉන්න කාලේ, ඒ කියන්නේ හැත්තෑ ගණන්වල. මට මගේ කාර්යාල හිතවතුන් කියල තිබුණා හවස් කාලයේ තනියම කොහෙවත් යන්න එපා කියලා. ඔය අඳුන් දිවිය ඒ පළාත්වල හිටියා. අදටත් ඉන්නවා. නමුත් විරලයි. වඳවීගෙන යනවා. අඳුන් දිවියත් නියපහුරු විහිදාගෙන ගොදුර එනකම් බලාගෙන ඉන්නවා. නැතිනම් ගොදුරට ළංවෙනවා. ඉතින් මේ වනගත බව, වනයේ ඉන්න නපුරු සතුන් තමයි තෝරාගත්තේ මේ මිනිස් වනාන්තරයේ ඉන්න පාතාලය හදුන්වා දෙන්න. ඒ වචනවලින් ගීතයට තදබල රිද්මයක් එකතු කරන්න තමයි මම උත්සාහ දැරුවේ”.

“එතකොට මහාකළු මෘගයා කිව්වේ?”
“ ‘මෘගයා’ නෙමෙයි ‘වෘකයා’. කිසිම අනුකම්පාවක් නැති, දරුණු , කපටි තවත් සතෙක්. ඒ ලක්ෂණ ගම්‍ය කරන්න තමයි වෘකයා ගත්තේ. ඉතින් මේ වගේ නපුරු අණක් ගුණක් නැති සත්තු වගේම, මේ මිනිස් වනාන්තරයේ ඉන්න අණක් ගුණක් නැති, සමහර විට සතුන්ටත් අන්ත මිනිස්සු, නීතියේ උකුසු ඇසට නොපෙනී උන්ගේ ගොදුරු කරා යනවා. වටිනා ජීවිත් බිලිගන්නවා. ඉතින් චිත්‍රපටියට අවශ්‍ය ප්‍රබල චිත්තරූපය තමයි මේ සතුන්වත්, ඒ හා බැදුණු වචනත් පාවිච්චි කළේ”.
“එතකොට ඇයි මේකට නයි, පොළොන්ඟු වගේ විසකුරු සත්තු ගත්තේ නැත්තේ?”
බුලත්සිංහලයන් ඒකට උත්තර දුන්නේ හිනාවෙලා.
“මෙහෙමයි, ඔය නයි, පොළොන්ඟු, මිනිස්සුන්ව හොයාගෙන ගිහින් සැලසුම් කරලා දෂ්ඨ කරන්නේ නැහැනේ. උන්ව පෑගුනොත්, උන්ට හිරිහැරයක් වුණොත් විතරයි උන් දෂ්ඨ කරන්නේ. අන්න ඒ නිසා තමයි උන්ව ගත්තේ නැත්තේ. මේ මිනිස් වනාන්තරයේ ඉන්න සත්තු නයි, පොළොන්ඟුන්ට වැඩිය බොහොම නපුරුයි”.

“’මොන නීතියද මේ , මිනිස් වනන්තරේ’, ඒ කිව්වේ වනාන්තරයේ නීතියක් නැති බවද?”
“ඔව්, ලංකාවේ සමාජය, විශේෂයෙන්ම අසූවේ දශකයෙන් පස්සේ, ඉතාම පරිහානියට පත්වුණා. නපුරු බියකරු විෂ සහිත සතුන්ගෙන් ගහන තැනක්, වනාන්තරයක් බවට පත්වුණා . බොහොවිට මේ සතුන් දේශපාලකයන්ගේ සුරතලුන් බවට පත්වුණා. ඔය ගීතයේ තැනක කුවේරයා කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ අන්න ඒ වගේ ධනවත්, බලවත් පිරිස හඳුන්වන්න. සල්ලි තියෙනවානම්, බලය වෙනුවෙන් ජීවිතයක් උදුරගන්න මේ මිනිස් වනාන්තරයේ ඉන්න සත්තුන්ට පුලුවන්” .
“ගීතයේ තවත් තැනක ඔබ ලියනවා; ‘විනිසුරු අසුනේ සත්පුරුෂ ප්‍රාණී, කලුරෙද්දෙන් ඔතලා , අපරාදය හෝ ඝාතකයා හෝ විනිවිද නොපෙනේ’ කියලා”.
“ඔව් ඉතින් ඒ තමයි පිරිහුණු සමාජයේ හැටි. විනිසුරු සත්පුරුෂයි. නමුත් ඔහුට විනිවිද දකින්න බැහැ. එතරම්ම ප්‍රබල හස්තයන් අපරාධකරුවන්ව රකිනවා, අපරාධ වහනවා. නීතිය ඉන්ද්‍රජාලයක්. එක එක අයට, එක එක විදියයි. කොහොම වෙනවද කියලා දන්නේ නෑ, එදා සිට අද දක්වා පාතාලයට සම්බන්ධ සිද්ධීන් අරගෙන බැලුවම මේ දේ දකින්නට තියෙනවා. ගීතය ලියලා දශක තුනකට ආසන්න වුණත්, ගීතය අදටත් ගැළපෙනවා”.
“ගීතයේ මට අපැහැදිලි තැනක් තියෙනවා; ‘මුණිවරයා, සමාව දෙන්නේ දෙවියෝ’ ඒ කියන්නේ මොකක්ද?”
“මෙතන මුණිවරයා කියන්නේ බුදුන්. මුනණිවරයෙක් කියන්නේ මිනිස්සු යහමගට ගන්න දේශනා කරන උත්තමයෙක්. නමුත් මිනිස්සු වැරදි කරලා සමාව, රැකවරණය ඉල්ලන්නේ දෙවියන්ගෙන්. වැරදි කරලා මුණිවරු ළඟට යන්න බැහැනේ. ඉතින් දෙවියන්ව තියාගෙන් ඉන්නවා සමාව ගන්න. ඒකත් වාසියට, ධනයට, බලයට දෙවිවරුත් යටයි වහේ අදහසක්. හිස් මිනිස්සු මුණි බණ පසෙකලා, ඊට වඩා පහළ කොට්ටාසයක් වන දෙවියන්ගේ පිහිට පතනවා”.
“මේ ගීතයට පස්සේ චිත්‍රපට ගීත ලිව්වේ නැත්ද?”
“උදයකාන්ත මෑතකදිත් මට ගීතයක් ලියන්න කිව්වා චිත්‍රපටියකට. ඒත් මට ඒක කරන්න බැරිවුණා. මොකද මම මගේ දුව ළඟට ගිහින් කලක් විදේශ ගතව සිටි නිසා. ඇත්තටම ඒ ගැන මට තියෙන්නේ කණගාටුවක්. ලියන්න තිබුනානම් හොඳයි. උදයකාන්තගේ පැත්තෙන් හිතලා මම කිව්වා වෙන කාටහරි දෙන්න කියල”.
“ඉදිරියට ආරාධනා ලැබුනොත් ලියනවද?”
ඔව්, මන්හිතනේ මගේ අතින් තව ගීත ලියවෙයි. කොහොමත් මම කවදාවත් ගීත ලියලා තියාගත්තේ නැහැ. මට ගී පොතක් නැහැ. කව්රුහරි කිව්වොත් ලියලා දෙනවා. මගේ හැම ගීතයක්ම එහෙමයි. ඉල්ලීමකට තමයි ලියලා තියෙන්නේ”.
සන්ධ්‍යාව කෙමෙන් රාත්‍රියට එළඹෙන මොහොතේ දී මේ සොඳුරු ගී සිත්තම්කරු, අපේ පළමු සංවාදයට විරාමයක් දුන්නේ එහෙම කියමින්.
නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි – නලියයි හඳුන් දිවි නිය පහුර නලියයි
උකුසු ඇසට නොපෙනී – මහා කලු වෘකයා – ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ මිනිස් වනාන්තරේ
සඳ එළියේ දිව්‍ය ලෝකෙන් පාවී – කුණු කසළ වැටි වැටී
නිවි නිවී යයි ගිණිදැල් අපායේ – කුවේරයා නිස්සා ගිණි පාතාලේ
විනිසුරු අසුනේ සත් පුරුෂ ප්‍රාණි -කලු රෙද්දෙන් ඔතලා
අපරාදය හෝ ඝාතකයා හෝ – විනිවිද නොපෙනේ
නීති පොතේ ඉන්ද්‍රජාලේ
ඝාතකයා මිනී මරන්නේ තිරිසනා – විනිසුරුවා නඩු අසන්නේ මිනිසා
මුණිවරයා – සමාව දෙන්නේ දෙවියෝ
සාකච්ඡාව කළා – සුරංග දිසානායක – ඩෙනීඩින්







