ගමේ ඉඩම් උගස් තියලා
ඒජන්ට්ලට සල්ලි පුදලා
ඩොලර් හොයන හීන එක්ක
සාම අමර මෙහෙට එනවා.
හැම් බේකන් චීස් මැදට
අඹ ඇඹුලක් පොලොස් ටිකක්
ටින් ඇතුලින් එකතු වෙනවා
කැවුම් කොකිස් මුං අලුවා
වැරදි වැරදි වතගහනවා ගම
ගෙදරින් ගෙනා බතික්
හැඩට වැඩට පටලවගෙන
අවුරුදු කුමරිය හොයනවා.
ඇස් ඇති අන්ධයෝ රෑනක්
කණා මුට්ටි බිඳ හෙලනවා
ලංකාවෙන් නැකත් බලලා
කන් විදිනවා, බත් කවනවා
ඒ මදිවට හත් ඉලව්වෙ
මල්වර මගුලුත් ගන්නවා
අකුරු කියන තැන වැඩහිඳ
සරස්වතිය හිනාවෙනවා.
බේකින් කොළ වටේ කියලා
කෙසෙල් කොලේ බත් බදිනවා
අත්හරින්ඩ පුරුදු කරන පන්සල් ටික මෙහෙ හදනව
සාදු සාදු බෙර තලමින් කඨින චීවරය වඩිනවා.
ඒ මදිවට ගජරාමෙට
දන්සැලකුත් පවත්වනව
රටක් රාජ්ජෙක හිටියත්
ගමේ සුවඳ මතක් වෙනව
හොර රහසේ ඉගිල්ලිලා
ගමට වදින්නට හිතෙනව
අම්මගෙ ඇදුමක් පොරවන්
හීන්සැරේ තුරුලට වී
වහලේ ඇති සිදුරු තුළින්
එබෙන හිරුගෙ රැස් දකිනවා
සාගර වික්‍රමසිංහ – මාස්පොත