ඩෝල් ඩෝග්
අයි එලිෆන්ට්
කම් ඇන්ඩ් සී මයි ඩාර්ලින්ග්
සාම අමර මාමා ඇවිත්
ඒ මදිවට ඔන්ඩු රෙන්ඩු
පොඩි කාලේම මගෙ ඔලුවත්
හරියට මික්ස් රයිස් එකක්
පාන්දරින් ඉස්කෝලෙට
හවස්වරුවේ පන්ති වලට
පහවසරෙදී කඩඉමක්ලු
ඒකත් පැන්නයි කියමුකො
ඉතින් ඊට පස්සෙන් පහු
කිලෝ අටක් පොත් අරගෙන
ඉස්කෝලෙට ගෑටුවානේ
විද්‍යාවට පන්ති තුනයි
ගණන් වලට තව දෙකකුයි
ඒ මදිවට ඉංග්‍රීසිත්
දෙමළ ටිකත් ඕනෑමලුනෙ
ඉරිදා උදේ දහම් ගැටළු
ක්‍රිකට්, ඇතලටික් මදිවට
කරාටේ, ජුඩෝ පන්තිත්
බාලදක්ෂයෙක් වගේම
කෑම්ප් ගියපු කැඩෙට් කෙනෙක්
දහයේ කඩුල්ලත් පැන්නනේ
ඊට පස්සේ නොවින්ද දුක්
විදින්නෙපා හතුරෙක්වත්
නොකා නොබී ගොඩ දැම්මනෙ
“ඒ” දෙකකුයි, “බී” එකකුයි
අනෙ අම්මපා කැම්පස් එක
නල්ලමලේ ඔහෙ පලයන්
නොගිය ඉලව් පාරක් නැහැ
කාපු වතුර ගානක් නැහැ
අම්මලාගේ පුංචි පුතා
දැන් ලොකු ළමයෙක් වෙලානෙ
සිතුම් පැතුම් හරි ඉහලයි
කතාබහත් හරි ගැඹුරුයි
බැට්න් පොල්ල වදින ගානේ
ලැබුනා මරු පන්නරයක්
බී.ඒ. (ගෞරව) අරගෙන
බර අඩි එක එක තියමින්
ගම්පියසට ඇතුල් උනේ
රටක් රාජ්‍යයක් අරන්
අදට වසර හතක් ගෙවිල
ගතවුන ඒ අතීතයට
එකට තුනට හයක් දාල
මම ඔහෙ ගල් වැලි අනනවා
මගේ ලෙයින් උපන් එකා
අතැඟිලි වල එල්ලීගෙන
අපි ගිය රළුපාර දිගේ
උපාධි ලෝගුව හොයනව
අම්ම පප්පා වාරුනැතුව
කහට එකක් තොලගාමින්
පරම්පරා දෙකක් දිහා
ඔහේ බලාගෙන ඉන්නවා…..
සාගර වික්‍රමසිංහ – මාස්පොත, ශ්‍රී ලංකාව