නුහුරුයි අම්මේ අලුත් ඇඳුම මට
එය හරි ලස්සන කහ පාටක්
එනමුදු සතුටින් මා සැරසෙන්නම්
කලකින් ලැබුනේ අලුත් එකක්
කැඩපත පෙන්වන අමුතු මුහුණ දැක
මමද කියා මට සිතෙයි සැණක්
හෙමිහිට පියවර තබා වඩින්නට
ගතවෙයි තව තුන් පොහෝ දිනක්
මගෙ සුදු නංගිව මතක් වෙනව මට
පුරමින් දෑසට කඳුලු බිඳක්
අයිය බලන්නට යමුයි කියනවද
අරගෙන පැණි රස දෝසි මුලක්
සුදු මල් ඉහිරුනු පිච්ච පඳුර යට
සඟවා ඇති කිරි කවඩි මිටක්
කම් නෑ දැන්නම් එය අරගත්තට
සිහිවෙන්නට බැඳි සොයුරු පෙමක්
සිංහල හෝඩියෙ හරබර පදවැල්
හුරු වෙන්නට ටික කලක් ගියා
වෙස්සන්තර කවි පොත කියවන කොට
ඔබ පින්වත් බව දැනී ගියා
සම්මා සම්බුදු හිමි දම් සෙවනේ
ඇති රැකවරණය හැඟී ගියා
අම්මත් අරගෙන නිවනට යන්නම්
ණය නෑ අම්මේ ඔබේ පුතා
By Changa – Auckland