මේ සීතල මනරම් වෙල්ලස්සේ
නිල් තණබිම පිපි මල් ගොමුවෙන්
විහිදෙන්නේ
ඒ සීහල විරු දහදිය සුවඳයි…
මේ මුදුපෙන පිපෙනා බදුලු ඔයේ
නීලවර්ණ වූ නිමල දියේ
ගලා බසින්නේ
ඒ සීහල විරුවන් රුධිර යයි…
ගිගුම් දි දී
පුළුන් වළාසේ
ඇදහැලෙනා ඒ
දුන්හිඳ මහ දිය දහරාවේ
දෝංකාර දී
සවන වැකෙන්නේ
ඒ සීහල කාහල නාදයයි …
සුසුදු වළා
සළු උනා දමා
ගුවන අරා
නැගී සිටින මහ නමුණු කුළේ
ඉකිබිඳිමින් අද
බලා සිටින්නේ
ඒ වියැකී යන අභිමානයයි …
By Dr. Suranga Dasanayake – Dunedin