වස්සාවසානයෙන් පසු නවසීලන්ත බෞද්ධ විහාරස්ථානවල කඨින පූජා පිංකම් ඔක්තෝබර් හා නොවැම්බර් දෙමස ඇතුළත සිදු කෙරුණි. විවිධ රටවලින් සංක්‍රමණය වී සිටින බැතිමතුන් විසින් තම තමාගේ රටවල පවතින බෞද්ධාගමික සම්ප්‍රදායන්ට අනුව මෙම පූජා උත්සව පවත්වන ලදී. ශ්‍රී ලාංකිකයක් වැඩිමනත් දෙනා සම්බන්ධකම් පවත්වන්නේ ථෙරවාද සම්ප්‍රදානුකූල විහාරස්ථාන සමගය.
ඕක්ලන්ඩ් – ශ්‍රී ලංකාරාමය
ඕක්ලන්ඩ්, ශ්‍රී ලංකාරාම කඨින උත්සවයට පෙරාතුව සිරිත් පරිදි පවත්වන සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනාව ඔක්තෝබර් 18 දින රාත්‍රිය පුරා ඔටාහුහු ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දී සිදු කෙරුණි. අනතුරුව ඔක්තෝබර් 19 දින මහා සංඝරත්නය විෂයෙහි මහා සාංඝික දානමය පිංකමක් කරන ලදී. වල්ගම ශ්‍රී මුනින්ද්‍රවංශ නායක හිමිපාණන් ශ්‍රී ලංකාවට වැඩමකර සිටි බැවින් විහාරස්ථාන වාසී පූජ්‍ය වල්ගම රේවත හා උඩගල්දෙනියේ යසස්සී යන ස්වාමීන්වහන්සේලාගේ මූලිකත්වය හා අනුශාසකත්වය සහිත වූ කඨින චීවර පූජා කටයුතු යොදාගෙන තිබුණේ ඔක්තෝබර් මස 20 දිනටය. විහාරස්ථාන භූමියේ සිට සධාතුක කරඬුව සහිත කඨින චීවරය රැගත් කඨින පෙරහැර පූජා උත්සවය පැවැත්වූ ෆෙයාබේන් විදුහල් ශාලාව දක්වා ගමන් කළේය. ඉන් අනතුරුව විශාල ගිහි පැවිදි සහභාගිත්වයකින් යුතුව උත්සව කටයුතු සිදු කෙරුණි. ඔක්තෝබර් 27 වන දින කඨිනානිශංස ධර්මදේශනයක් පැවැත්වින.
නෝත්ෂෝ ථෙරවාද බෞද්ධ විහාරස්ථානය
ඕක්ලන්ඩ් නෝත්ෂෝ ථෙරවාද බෞද්ධ විහාරස්ථානයේ පසුගිය ඔක්තෝබර 20 වැනි දින 113, ෆොරස්ට්හිල් මාවතට ගෙන යනු ලැබිණ. ඉන් දින හතකින් පසු එනම් 2024 ඔක්තෝබර් මස 27 දිනට විහාරස්ථානයේ කඨින උත්සව කටයුතු නෝත්ෂෝ, මරේස් බේ ක්ලෙමන්ටිස් ඇවනිව්හි අංක 18, මරේස් බේ ප්‍රාථමික පාසල් ශාලාවේ දී පවත්වනු ලැබිණ. කඨින පෙරහැර කටයුතු පෙරවරු 9.00ට ආරම්භ වූ අතර ගරු තල්පත්විල සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නවසීලන්ත ථෙරවාදී විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාගේ ද සහභාගිත්වයෙන් චීවර ප්‍රධාන උත්සව කටයුතු පෙරවරු 10.00 සිදු කරන ලදී. ලැබෙන පුණ්‍යමය ආධාරවලින් අවශ්‍යම වියහියදම් පියවූ පසු යම් ඉතිරියක් වේ නම් සියල්ල ගොඩනැගිලි අරමුදලට එක් කරමින් විහාරස්ථානය සතු නිවහනකට යාමේ උනන්දුවකින් හා උසස් අපේක්ෂාවකින් දායක දායිකාවෝ කටයුතු කරති.
බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රය-පෙන්රෝස්
පෙන්රෝස්හි පිහිටි ඕක්ලන්ඩ් බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයෙහි මෙවර කඨින උත්සව කටයුතු ඔක්තෝබර් මස 25 හා 26 දෙදින තුළ විහාරාධිපති ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් විහාරස්ථාන ශාලාවේදී පවත්වනු ලැබිණ. 25 දින සවස් කාලයේ සෙත්පිරිත් සජ්ජාවනයක් පවත්වන්නට යෙදුණ අතර කඨින චීවර පූජා කටයුතු 26 දිනට යෙදී තිබුණි. අපවත් වී වදාළ පූජ්‍ය ඇල්ලේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ සිහිකරමින් පින් අනුමෝදන් කරන්නට ද යෙදුණි.
මහමෙව්නාව භාවනා අසපුව. රෙමුරා, ඕක්ලන්ඩ්
ඔක්තෝබර් 26 දින සවස් වරුවේ මවුන්ට් ඇල්බට් යුද අනුස්මරණ ශාලාවේ පවත්වන ලද පිරිත් දේශනයකින් පසු කඨින චීවර පූජාව ඔක්තෝබර් 27 දින, පූජ්‍ය රත්නපුරේ ආනන්දවිමල ස්වාමීනවහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. මේ සම්බන්ධයෙන් මහාචාර්යය අසෝක සෙනෙවිරත්න මහතා එවූ ලිපියක සාරාංශයක් මෙසේය.
සුදු ඇඳුමින් සැරසී බෞද්ධ කොඩි, සේසත්, මල් රැගෙන දහම් පාසල් දරු දැරියන් පැමිණි පෙරහැරේ ඉදිරියෙන්ම සිටියේ සම්ප්‍රදායික උඩරට නර්තන ශිල්පීන්ය. අමතරව තවත් සංස්කෘතිකාංග රැසක් ද දක්නට ලැබිණි.
මනරම්ව අතින් නිමැවූ කඨින චීවරය, රන් හංසය රුවක තබා ගෙන යනු ලැබිණ. මුළු සන්දර්ශනයම උද්යෝගිමත් විය. පෙරහැර අවසානයේ වූ බුද්ධ පූජාවෙන් පසු මහා සාංඝික දානය වීය. අනතුරුව ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේ නම විසින් පවත්වන ලද බෞද්ධ ධර්ම දේශනාවකි.
මෙම කඨින පූජෝත්සවයට ඕක්ලන්ඩ් මහමෙව්නාව අසපුවේ නිත්‍ය බැතිමත්තු 500කට අධික පිරිසක් සහභාගි වූහ. බැතිමතුන් විසින් සපයනු ලැබූ මූල්‍යමය හා ද්‍රව්‍යමය මෙන්ම ශ්‍රමයෙන් ද වූ කැපවීම උත්සවය සාර්ථකව නිම කිරීමට හේතු වූ ප්‍රධාන සාධකය විය.
විමුත්ති ආරණ්‍ය සෙනසුන -පපරාටා
පපරාටා විමුත්ති ආරණ්‍ය සෙනසුන නවසීලන්තයේ වසන විවිධ ජාතීන් සම්බන්ධවන වන වඩාත් තායි ආරණ්‍ය සම්ප්‍රදායට පවත්වාගෙන යනු ලබන බෞද්ධ විහාරස්ථානයකි. එහි මෙවර කඨින පිරිකර පූජාව 2024 ඔක්තෝබර් 26 වැනි දිනට යෙදී තිබුණි. පිරිස පන්සිල් ගැනීමෙන් පසු දන් පිළිගැන්වීම සිදු කෙරුණි. චාරිත්‍රයක් වශයෙන් භික්ෂූන් වහන්සේලා පිංඩපාතයේ වඩිති. සෙනසුන පිහිටා ඇත්තේ බැතිමතුන්ගේ පදිංචි ස්ථානවලින් බැහැර විශාල වන භූමියක බැවින් බැත්මත්තු සූදානම් කරගත් දානය විහාරස්ථානයට ගෙන ගොස් එළිමහන් කොටසේ ස්වාමීන් වහන්සේලාගේ පැමිණීම අපේෂාවෙන් බලා සිටිති. සම්ප්‍රදායිකව පිංඩපාතයේ වඩින්නාක් මෙන් උන්වහන්සේලා පිළිවෙලින් වැඩම කරන අතර බැතිමත්තු සකස් කරගෙන ආ දන් පැන් පූජා කරති.
දානමය කටයුතු වලින් පසු ධර්මානුශාසනාවක් හා පිරිකර පූජාව සිදු කෙරුණි.
වෙලින්ටන්-ධම්ම ගවේසී භාවනා මධ්‍යස්ථානය
වෙලින්ටන් ධම්ම ගවේසී භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍යෝත්සවය පසුගිය
නොවැම්බර් දෙවැනි සෙනසුරාදා දින පැවැත්විය. නොවැම්බර් පළවෙනි සිකුරාදා සවස
අටවිසි බුදුවරුන් උදෙසා බුද්ධ වන්දනාවක් පැවැත්වීය. ඊට අමතරව බුදු මැදුරේ ඇති
පිළිම වහන්සේ උදෙසා අලංකාරවත් ලී කැටෙමින් යුත් රැස් වළල්ලක් ද එදින පූජා
කරන්නට යෙදුණි. සෙනසුරාදා හීල් දානය සහ දහවල් දානය භික්ෂූන් වහන්සේලා උදෙසා
පූජා කළෝය. මෙම පින්කම සඳහා අවට විහාරස්ථානවල මෙන්ම ඕක්ලන්ඩ්, හැමිල්ටන්
ක්‍රයිස්චර්ච් ආදී ශ්‍රී ලාංකික විහාරස්ථානවල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා
වැඩම කළෝය.
හැමිල්ටන්- වයිකාතෝ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය
හැමිල්ටන් වයිකාතෝ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ කටින පූජා උත්සව කටයුතු 2024 නොවැම්බර් මස 03 වැනි දිනට යොදාගෙන තිබුණි. මෙවැනි වටිනා පුණ්‍ය කර්මයකටම සුදුසු නිහඬ සාමකාමී පරිසරයක් සහිත හැමිල්ටන් උද්‍යානයේ එක් දිසාවක සිට ඇරඹි කඨින පෙරහැර පෙරටු කර ගෙන චීවරය වැඩම කරනු ලැබින. ඕක්ලන්ඩ්, ක්‍රයිස්වර්ච්, ඕක්ලන්ඩ් හා වෙලිංටන් පන්සල්වලින් වැඩම කළ ස්වාමීන්වහන්සේලාගේ සහභාගිත්වය ද සහිතව විහාරාධිපති පූජ්‍ය දුනුවිල මෙත්තෙයිය ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් උද්‍යාන උත්සව ශාලාවේ උත්සව කටයුතු සිදු කෙරුණි. ඕක්ලන්ඩ්වලින් මෙන්ම රොටරුවා, තවුපෝ වැනි දුර පළාත්වලින් ද මහත් උනන්දුවෙන් ශ්‍රද්ධා පෙරදැරිව පැමිණ සිටි බැතිමතුන්ගෙන් විශාල උත්සව ශාලාව පිරී ගොස් තිබිණ.
ක්‍රයිෂ්චර්ච්
ක්‍රයිෂ්චර්ච්, රෝලස්ටන්, මැඩිසන් පාරේ සමාධි බෞද්ධ විහාරස්ථ ශාලාවේදී කඨින උත්සවය පවත්වනු ලැබිණ. එය මුල් කරගෙන 2024 නොවැම්බර් 8 දින ප.ව. 7.00 සිට පවත්වන ලද බුද්ධ වන්දනා හා ගිලන්පස පූජාවෙන් පසු සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවක් පවත්වනු ලැබිණ. කඨින චීවර පූජා පිංකම නොවැම්බර් 10 වැනිදින උදය 7.30 සිට විහාරාධිපති පූජ්‍ය මකුල්දෙණියේ සෝමරතන ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වීමට යෙදුණි. චාරිත්‍රානුකූලව චාම්ව පැවැත්වූ කඨින පෙරහරට අනතුරුව මහාසංඝයා වෙත කඨින චීවර පූජාව සිදුකරනු ලැබිණ. දහවල් දානමය පිංකමින් පසු මහා සංඝයා විෂයෙහි අනෙකුත් පිරිකර පූජා කරනු ලැබිණ.