“ඇල වක්කලමෙන් වේල්ල කඩාගෙන ගිහින් කහටගහ ලියද්ද සේරම පාළු වෙලා.” 

කලකට ඉහතදී, ගමේ ස්කෝලෙ සාමාන්‍ය පෙළ ලියද්දි කියවපු “චරිත තුනක්”, පීතරගේ හිත අස්සට ඉබේම කාන්දු වුණේ, අද උදේ කුඹුර පැත්තෙ ගියාම දැක්ක ඒ අමිහිරි, හිත කීරි ගස්සවන දර්ශණය වරක් නොව කීප වරක්ම මතකයට නැගෙද්දී ඔහුගේ ඇස් කෙවෙණි වලට කාන්දු වුණු, උණුම උණු කඳුළු ටික වම් අල්ලෙන් පිහ දාන අතරතුරයි.

පීතර යනු, හරමානිස් සිංඤෝ සහ සෙදෝ හාමි දෙපලට දාව දැනට පස්තිස් වසකට පමණ ඉහතදී කුළුඳුලේ මෙලොව එළිය දුටු, අලසකම හා ධෛර්යවන්ත කම අතර නිරන්තර ගැටලුවකට මැදිව, උපන් දා සිට කල් ගෙවා පසු කලෙක එක් දරු පියෙක් යන ස්ථාවරත්වය අත් කර ගත්, නිතර පන්සිල් නොරැක්කත් ගමේ කාගෙත් හොඳ හිත දිනූ සාමාන්‍ය ගැමියෙකි.

“ඈ බං පීතර, උඹලගෙ අම්මයි අප්පොච්චයි දෙන්නම හොඳ සිංහල බෞද්ධයො, ඒ වගේම උඹලගෙ පරම්පරාවක එකෙක් වත් පරංගින්ට වත් සුද්දන්ටවත් ලේ නෑකම් කියනව කියල නම් මම අහල නෑ. එහෙව් එකේ කොහෙන්ද බං උඹට සුද්දෙක්ගෙ නමක්?” 

සමහර වෙලාවට ගමේ යාළුවන්ගෙන් හෝ වැඩිහිටි අයෙකුන් ලද මෙවන් උසුළු විසුළුවක් පවා පීතර දුටුවේ මහත් අභිමානයක් ලෙසයි. 

එහෙයිනි, “අපේ අම්මගෙ මාමා කෙනෙක් උන්නලුනෙ ඉස්සර රේල්ලුවෙ වැඩ කරන. එතන වැඩ බැලුව ඉංජිනේරු මහත්තැන්ගෙ නමලුනෙ ඔය මට දාල තියෙනව කියන්නෙ. ඉංජිනේරුවෙක් කියන්නෙ එසේ මෙසේ රාජකාරියක් කරන උත්තමයෙක්ද, රැජිණට මෙහෙ රේල්ලුවෙ විස්තර ඔක්කොම රපෝර්තු කෙරුවෙ ඒ උත්තමයලු,” යනුවෙන් උත්තර බැඳීමට පීතර සැදී පැහැදී සිටියේ. 

පීතර නැති තැන වුවත්, පීතරට නම වැටුණ හැටි එක අකුරක් නෑර විස්තර කිරීමට ගමේ කොල්ලො කුරුට්ටන්ට පවා මෙය කට පාඩම් වී තිබීමෙන් පෙනී යන්නේ, ඒ ප්‍රශ්නය ඇසූ වාර ගාණත් එයට ලැබුණ නොවෙනස් පිළිතුරත් මේ වා තලයට එක් වූ වාර ගාණ අසීමිත බව නොවේද?

“එහෙනම් උඹටත් බැරියෑ දවසක මහ රැජිණ මුණ ගැහිල එන්න යන්න. හැබැයි දැන් නම් ඉන්නෙ ඉස්සර උන්නු රැජිණ නෙමේ ඕං. එයයිගෙ දුව,” යැයි කෙනෙක් කී විට, පීතර එදාට ගෙදර යන්නේ පොළවෙන් අඩියක් නොව දෙකක් ඉහළිනි.

මීගහ කුඹුර, තම අප්පොච්චාගේ ඇවෑමෙන් පීතරට ලැබුණු සින්නක්කර උරුමයයි. පෙරදා කුඹුර අසල, දෙරණත පුරා මුල් විසිරගත් රූස්ස මී ගහක් නිසාවෙන් ඒ නම පටබැඳුණත්, කලක් ඇවෑමෙන් ලෝක ස්භාවයට අවනත වෙමින් ගස මියෑදුණ නමුත්, කුඹුරේ නම ගම්මුන් අතර නොනැසී පැවතියේ ‘භෞතික දෙය නැසී ගියත්, මතකය එලෙස ඉක්මනින් නැසී නොයන වග’ පසක් කරමිනි. පරම්පරාගත කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවූ හරමානිස් සහ සෙදෝ දෙපළ, තම පුතාටත් එම ඉරණම අත් නොවීම පිණිස, ඔහුව දිරි වඩා ඉගෙනීමෙහි යොදවා, අධ්‍යාපනයට යන විය පැහැදම් නොපිරිහෙලා ඉටු කෙරීමට වග බලා ගත් සම්ප්‍රදායික චින්තනයෙන් බැහැර වූ දෙපළක් වූ නමුත්, ගමේ ස්කෝලෙ සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉගැන්වීම් කෙරීමත්, නගරයක කොලීජියකට ගොස් ඉගෙන ගැනීමට පීතර දැක්වූ කුලෑටි හැඟීමත් නිසා, අකමැත්තෙන් හෝ තම දරුවාටත් තමන්ට හුරු කර්මාන්තයම කියා දී පවරා දීමට දෙගුරුන් සිත් සාදා ගත්තා.

පාසල් ජීවිතයට සමුදී, ගත සිත වෙලා ගත් අලසකම ධෛර්යවන්තකම නමැති සලුවෙන් වසා ලූ පීතර, සුරතට හුරු පෑනට පැන්සලට සමුදී උදැල්ල සමඟ ලෙංගතු කම් පෑමට පටන් ගෙන තෙවැනි වසරේදී හරමානිස් මෙලොව අතැර ගියේ සෙදෝ හාමි සහ පීතර මෙලොව තනිකරමින්. පියා නොමැති අඩුව තදින්ම දැණුනත්, තමන්ගේ සහ මෑණියන්ගේ බඩ වියත රැක දෙන මී ගහ කුඹුර, යල මහ දෙකන්නයම අතපහු නොකරමින් අස්වද්දමින් රටට බත සපයන ගොවියෙක් බවට කාලය විසින් පීතරව ඔසවා තබා තිබුණා. අරුණැල්ල පොළව සිඹිද්දී, උදැල්ලක් කරතබාගෙන කුඹුරට යෑම ඔහුගේ දිවියේ අනිවාර්ය අංගයක් වුණා. සිහිල් මාරුතයට අසුවූ ගොයම, සිරි සිරියේ සැලෙන හඬ අසන්නටත්, වක්කඩේ තිත්ත පැටව් අල්ලන්නට එන කොක්කු රෑණ බිය වද්දා, අහසට ඉගිලෙන අයුරු බලා සිටීමටත් පීතර ආශා කලා.

ගමේ කොයි කව්රුත් ගමේ වැවෙන් සිය පවිත්‍රතා ජල සම්පත සපුරා ගද්දී, දෛනික වැඩ කටයුතු නිමවන පීතර තෝරා ගත්තේ, අතිශය සුන්දර පරිසරයකට මැදිව ගල් පොත්තකින් ඇද හැලෙන ජල ධාරාවයි. එවන් සැඳෑවක ඒ ඉසව්වේදී, පාසල් කාලයේ පටන්ම ලෙංගතුව සිටි පොඩිනා මුණ ගැසීමත්, දිය පහර යටදී ඔවුනවුන්ගේ ප්‍රේමාලිංගනයෙන් මුසපත් වීමත්, කාල වර්ණ ගල් තලාව මතින් සුදු පෙණ පිඬු දෝරේ යන බව ඔවුන්ගේ මනසට නිනව් නොවීමත් කරණකොට ඔවුන් දෙපල වැඩි කල් නොයවාම පති පතිනි ලෙස එක වහළක් යටට වී දිවි ගෙවන්නට පටන් ගත්තේ දෙපාර්ශවයෙන්ම ලැබුණු ආශිර්වාද මධ්‍යයේ ය.

අන් සියලුම ගොවීන්ගෙන් මෙන්, පීතරගේ දිවියටද කරදර කම් කටොලු හිඟ නොවීය. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම පරයමින් තම එකම දරුවාට වැළඳුණු, මෙතරම් දියුණු වෛද්‍ය ලෝකයේ තවමත් හඳුනා නොගත් රෝගයක් නිසාවෙන් දෙමහල්ලන්ට නොවිඳිනා දුක් විඳීමටත්, ඉස්පිරිතාල ගාණෙ රස්තියාදු වීමටත්, ඒ සියල්ලටත් වඩා මුදල් හදල් අතින් අන්තයටම වැටීමටත් සිදු විය. එක් පසකින් ඔත්පල වී සිටින, තම ආදරණීය මෑණියන්දෑගෙ උවමනා එපාකම් සරි කරදීමට පවා පොඩිනාට සහ තමාට සිදුවන අතපසු වීම් පවා පීතරගේ සිතට ගෙන දුන්නේ කිව නොහැකි තරමේ දුකක්.

“දරුවගෙ ජීවිතේ බේර ගන්න අපි ලොකු ට්‍රයි එකක් දෙනවා. හැබැයි දරුව ඉන්නෙ නම් අවදානම් තත්ත්වෙක. කොහොමත් අපිට මේ ඔපරේෂන් එක කරන්නම වෙනවා. නැත්නම් දරුවව බේර ගන්න නම් බැරි වෙයි. හැබැයි ඒක රජයේ හොස්පිටල් එකක නම් කරන්න බෑ. මේක කරන්නෙ ලංකාවටම ඒ ප්‍රයිවට් හොස්පිටල් එකේ විතරයි. ලොකු ගාණක් යනව තමයි. ඒත් ඒක ඉක්මනට කරන තරමට දරුවට හොඳයි.” 

මෙවන් වාතාවරණයක සිටියදීය, ඊයෙ රෑ වට අසනි වැස්සෙන්, මෑතකදී කිරි වැදුණු, ගමේ පොලී මුදලාලිට උකස් කර තිබූ මී ගහ කුඹුර පාලු වී තිබුණේ. මෙයින් ලැබෙන වී මුදල් කර, එයින් දරුවාගේ ශල්‍යකර්මයට අවැසි මුදල් උපයා සපයා ගැනීමට පීතරගේ තිබූ සියලු බලාපොරොත්තු ගගන පුරා විසිරි කාල මේ කුළු සොරාගෙන තිබුණා.

“කොහොමත් අපිට මේ ඔපරේෂන් එක කරන්නම වෙනවා. නැත්නම් දරුවව බේර ගන්න නම් බැරි වෙයි.”

කොළඹ මහ ඉස්පිරිතාලෙ ලොකු දොස්තර මහත්තයාගේ වදන්, පීතරගේ සවන් පුරා දෝංකාර දෙද්දී, කුඹුරු වැඩ වලට ගෙනා මැහි තෙල් බෝතලය අතට ගත් පීතර බැද්ද ඇතුළට පිය මැන්නා.

මලිත් චතුරංග සමරසිංහ-ඕක්ලන්ඩ්